2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

මම ධර්මානුකූල ගැහැනියක්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 312

යකඩ පෙට්ටියක් ඇතුළේ හිරවෙලා, පොඩිවෙලා එහෙට මෙහෙට හැප්පි හැප්පි එකට ගියත්... දුම්රිය පොළෙන් එහා ජීවිතය මීට වඩා සංකීර්ණයි... කෝටියක් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවිතේ ගොඩදාගන්න අපි හැමෝටම වෙන්වෙච්ච හුදකලා ගමනක හැල්මෙ දුවන්න වෙලා... ඒ ලේසි පහසු එකක් නෙමේ...

තවත් එක් කාර්යබහුල දවසක අපි ගම්පහ දුම්රිය පොළේ...

අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක්... ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්... ඇදී එන්න ඒ මොහොතේ...
මට මේ ගී පද මතක් වුණේ එකපාරට නම්  නෙමේ... ගී පදවල අයිතිකාරිය දුම්රිය පොළේ ඈත කෙළවරක...
තරග කරන මිනිස්සු එක්ක ඇය නම් මොහොතකට නතරවෙලා...

ආයුබෝවන්...

ඇය දැක්ක ගමන් මට ඇගේ තවත් ජනප්‍රිය ගීතයක් මතක් වුණා...
ආදරය සුන්දර වරදකී.... කිසිදා සමාවක් නම් නැති...

මොනතරම් යථාර්ථවාදී වචන ටිකක්ද... ඇගේ නිර්මාණ එච්චරටම රහයි... ඒ රසය තුළින් මිනිස්සුන්ගේ හදවතයි ඇය ස්පර්ශ කරන්නෙ.... ජීවිතය ගැන සරලව මැද තැනක ඉඳන් විඳින ඇය යමුනා මාලනී පෙරේරා... ඇය විඳපු නිර්මාණයක් ගැන මොහොතක් නතරවෙලා කතාකරන්න කාලෙක ඉඳන් හිතන් හිටියත් අද තමයි ඒකට වෙලාව ආවේ...

මෙච්චර වෙලා හිටගෙන හිටිය මම ඇයගෙන් ආගිය තොරතුරු අහන ගමන්ම බංකුවෙන් වාඩිවුණා...

සාමාන්‍ය විදියට සැහැල්ලුවෙන් කාලය ගතවෙනවා... පහුගිය දවස්වල කෙටිකතා එකතුවක් කළා සේයා පාරන මායා නමින්.. ලිපි එකතුවක් ලිව්වා ගංදෑලේ සිත කියලා..  තව කවි පොතකුත් මුද්‍රණයේ පවතිනවා... අලුත් ගීපද රචනා කීපයක් කරලා දුන්නා, කරුණාරත්න දිවුල්ගනේට, චන්දන ලියනආරච්චිට, ජානක වික්‍රමසිංහට, දයාන් විතාරණට තව මගේ ලොකු දුව ප්‍රතිභා ප්‍රභා ඇතුළු නවක ගායක ගායිකාවන් කීප දෙනෙකුටම... ගීත කිහිපයක් ඉදිරියේදී ලියලා දෙන්නත් තියෙනවා...  මගේ  පාසල වන ගාල්ල සංඝමිතාවේ ඉතිහාසයත් මේ දවස්වල ලියමින් ඉන්නෙ මොකද ලබන වසරට සංඝමිතාවට සියවසක් පිරෙනවා... ඒ වැඩයි  ගෙදර දොර වැඩකටයුතුත් එක්ක ජීවිතය ගලාගෙන යනවා... 
එහෙම තමයි යමුනා මාලනීගේ ජීවිතය ගෙවෙන්නේ...

අපි එහෙනම් පටන් ගමුද? ලේසි විදියට මම මෙහෙම කියන්නම්කෝ....
යමුනා මාලනීගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු,  ජීවිතේ යථාර්ථය අවබෝධකරගන්න උදව්වුණ නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද?  වෙනදා වගේම තමා.. ඒක ගීතයක් වෙන්නත් බෑ යමුනා මාලනීගේ නිර්මාණයක් නම් කොහොමත් බෑ....

සිහින් සිනාවක් ඇයගේ මුහුණේ...
මගේ හිතට තදින් වැදිච්ච ශාස්ත්‍රීය නිර්මාණයක් තමයි  ධම්මපදය කියන කෘතිය... ඒක බෞද්ධ ආගමික කෘතියක් වුණාට බුද්ධ භාෂිතය ගැබ්වෙලා තිබුණට ඒක හරි හෘද සංවේදී ප්‍රකාශනයක් කියලා තමයි මට හිතෙන්නෙ... මම පරිශීලනය කරේ සිංහලට පරිවර්තනය කරපු කෘතිය. ධම්මපදය තරම්ම හොඳ වෙනත් ගාථා පොතක් මෙතෙක් මට හමුවෙලා නෑ... කවි පොතක තියෙන්න ඕන සියලුම ගුණාංග, උපමා උපමේය රූපක සීයයකට වැඩි ප්‍රමාණයක් අන්තර්ගතවෙලා තියෙනවා. මේ කෘතියෙන් ඕනම කෙනෙකුට ලේසියෙන්ම මනසට හොඳ සිතුවිලි එකතු කරගන්න පුළුවන්.... 

ධම්ම පදය කෘතිය පටන් ගන්නෙම... මනෝ පුබ්බගංමා ධම්මා... ගාථාවෙන්. සියලුදේ මනස ප්‍රධාන කොට හටගනී කියලනෙ කියන්නෙ... අපි කරන නිර්මාණවලිනුත් කරන්නෙ පාඨකයාගේ සහෘදයාගේ හිතට කතාකරන එක. නිර්මාණයක තියෙන්න ඕන මූලිකම හරය එතන තියනවා කියලා මම හිතන්නෙ.. ආගම් බේදයකින් තොරව යථාර්ථවදී සත්‍ය මේ කවිපොතේ අන්තර්ගතවෙලා තියෙන නිසා මට මේ කෘතිය ගොඩක්ම සමීප වුණා..
ධම්මපදය කියන්නෙ ජීවිතයේ යථාර්ථය දිගඅරින ධර්ම ශ්‍රාස්තීය විවරණයක්නෙ... යම් කලකිරීමක්ද නැත්නම් අවබෝධයක්ද මේ කෘතිය වැඩියෙන්ම ඔබට ළංවෙන්න බලපෑවේ...

කලකිරීමක් නම් නෙමේ... මම ගොඩක් කැමතියි බෞද්ධ දර්ශනය හදාරන්න... මම පොඩි කාලෙත් දහම් පාසල් ගිය කෙනෙක්. මට තියෙනවා ධර්මානුකූල ජීවිතයක්. ඒ ඔස්සේ මම හිතන දේවල් ධම්ම පදය කියන කෘතියේත් අඩංගුවෙලා තියෙනවා නේද කියලා මට හිතෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්... අපි ජයග්‍රහණය ගැන කතා කරනවනේ... ඒ ගැන බුදුහිමියන් දේශනාකරනවා සූදු ක්‍රීඩාවෙන් අනුන් පරදවා ජයග්‍රහණය කරනවාට වඩා උතුම් තමන්ව තමන් දිනාගැනීමක් කියන එක... 

එවගේම දිනුම පැරදුමක් කරන්න කිසිම ගාන්ධර්වයෙකුටවත්, මහා බ්‍රහ්මයාටවත් බෑ. තමන් තමන්ව දිනාගත්තොත් ඒක තමයි උතුම්ම ජයග්‍රහණය කියලා. ඒ කාරණා අපේ ජීවිතයට බද්ධ කරගත්තොත් ඊට වඩා සත්‍යයක් කොහෙන්ද? මොන ජයග්‍රහණය හිමිකරගත්තත් අපි අපිව  දිනාගත්තෙ නැත්නම් වැඩක් නෑනෙ... තව කවියක් තියෙනවා... කිසිම කෙනෙකුට තමන්ව අපිරිසිදු කරන්නත් බෑ පිරිසිදු කරන්නත් බෑ... ඔබට ඔබව පමණයි පිරිසිදු හෝ අපිරිසිදු කළ හැක්කේ.. බුදුන්ගේ දර්ශනය හරිම පුදුමාකර එකක්.. අද සමාජයේ තියෙන ප්‍රවෘත්ති දිහා බලනකොට වැඩිහරියක් තියෙන්න හිත කළකිරවන දේවල්... ඒ සියලු සිදුවීම්වල පරම සත්‍ය මේ කවි ඇතුළේ ගැබ්වෙලා තියෙනවා...  

ප්‍රේමය ගැන හොඳම නිර්වචනය දීලා තියෙන්නෙත් ධම්මපදය කියන කෘතියෙමයි...

ප්‍රේමය තියෙන තැන ශෝකය ඇතිවෙයි බය ඇතිවෙයි.. ප්‍රේමය නැති තැන ශෝකයක් ද නැත බයක්ද නැත.. තෘෂ්ණාව කොච්චර සියුම් හැඟීමක්ද කියන එක මේ පද පේළි ඇතුළේ අපූරුවට ගැබ්වෙලා තියෙනවා...

ඔබේ මේ පොත පරිශීලනය කරලා ලබාගත්ත හරයෙන් ඔබේම නිර්මාණයක් කරන්න  හිතලා තියෙනවාද?
ඔව් මම කරපු නිර්මාණවලට මේවා සුළු සුළුවෙන් හරි එකතුවෙලා තියෙනවා... මම අර කිව්ව උපමා උපමේය රෑපක නිරායාසයෙන්ම මගේ නිර්මාණවලට එකතුවෙනවා කියලා මම විශ්වාස කරනවා. කවියකින් හරි ගීතයකින් හරි අපි ප්‍රකාශ කරන්නෙ සත්‍ය කාරණාවක්නෙ.. ඒවා හුළඟට අහුවෙලා ගහගෙන යන දේවල් නෙමේ... හිතට තදින් කාවදින දෙයක් තමයි නිර්මාණ තුළින් කියන්න උත්සාහ කරන්නෙ. ඒ උත්සාහය ඇතුළේ මේ දර්ශනය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. 

මේ නිර්මාණය විඳිමෙන් ලැබෙන රසය සාම්‍ය රසයක්ද නිරාමිස රසයක්ද කියලා යමුනාට දැනෙන්නෙ කොහොමද..?
රසය කියන එක සාපේක්ෂයි...? ඕන නිර්මාණයක් බලනකොට ඒක බුද්ධියට හසුවුණාට ඒක හදවට දැනුණාම තමයි රසය කියන එක උපදින්නෙ... එතකොට ඒක පරම සුවක් බවට පත්වෙන්නෙ... හදවතයි බුද්ධියයි එකට සම්මිශ්‍රනය කරන්න පුළුවන් නිර්මාණයක් ඇසුරු කළාම  එතන හොඳ රසයක්, හොඳ අර්ථයක් හොඳ ප්‍රතිඵලයක් උපදිනවා. 

ඔබ ආදරණීය බිරිඳක්. ඔබගේ ස්වාමියාගේ වියෝවද ධම්ම පදය වැනි ගැඹුරු අර්ථ සහිත නිර්මාණ සොයාගෙන යන්න හේතු වුණේ...?
ඔව් ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. සේනකගේ වියෝවත් සමඟ මම මා තුළින්ම නැගී සිටින්න උත්සාහ කළා. කවුරු කොහොම මගේ හිත හදන්න උත්සාහ කළත් මට ඒක ඒ අයගේ උදව්වෙන් ඒක කරගන්න බැරි වුණා.. මම මා තුළින්ම තමා හිතහදා ගත්තෙ. යාළුවෝ නෑදෑයෝ කොච්චර හිටියත් ජීවිත අවබෝධ ළඟාකරලා දෙන්න ඒ අයට බෑ.. ඒක තමා විසින් කරගන්න ඕන දෙයක්. ඒකට ධම්මපදය වැනි කෘති උපයෝගී වෙනවා... 

ජීවිතය ගැන ඝෘණාත්මකම හිතන කෙනෙකුට හරි, ජීවිතයෙන් අසරණ වෙච්ච කෙනෙකුට හරි මේ වගේ නිර්මාණයකින් මොනවගේ දෙයක්ද ලබාගන්න පුළුවන් කියලාද යමුනා හිතන්නෙ. ?
තනියම නැගී සිටින්න පුළුවන් ශක්තිය මේ තුළින් ලැබෙනවා. බුදුන්වහන්සේ අවබෝධ කළ දහම තුළ තියෙන්නෙ සියලු දේ අතහැරල යන්නම කියලා නෙමේ... පෘථග්ජන ජීවිතයක් ගතකරද්දි හිත නිවාගෙන, හිත කළඹ ගන්නෙ නැතුව ජීවත්වෙන්න කොහොමද කියන හැටි තමයි කියලා දෙන්නෙ.. මනුස්සයෙක් වරදක් කළාම ඒකට පලිගන්නෙ නැතුව ඒක මනුස්ස ස්භාවයක් කියලා ඒ මනුස්සයා කෙරෙහි මෛත්‍රියෙන් ඒ මනුස්සයාව යහමඟට ගන්න පුළුවන් නම්, එක වචනයකින් හරි ඒ පුද්ගලයාව ඉන්න තැනින් උඩට උස්සන්න පුළුවන් වෙන්නේ මේ ජීවිත අවබෝධය තුළින්. ඒ ජීවිතය අවබෝධය ඇතිකරගන්න මේ කෘතිය අපිට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා. බුදුන්වහනේස් තමයි මිහිපිටි බිහිවුණ ශ්‍රේෂ්ඨතම කවියා.

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet