කාලය කවදාවත් මඟ නොහරින දෙයක් වෙත්නම් ඒ ප්‍රේමය කියලා මට කියලා දුන්නා රාමචන්ද්‍රන් ඔබ... ඒ තරම් ගැඹුරක් තියෙනවද මිනිස් හිත් අස්සේ උපදින ඒ හැඟීමට.. රාමචන්ද්‍රන් මම අහන්නේ ඔයාගෙන්... ඒ ලේ ළෙන්ගතුකම් බැඳීම් දෙවියන්ගේ සෙනසුනේ තියලා පූජාවන් කරනවා කියලා මට හිතෙනවා රාමචන්ද්‍රන් ඔයාව අකුරෙන් අකුරට කියවද්දි.. පද අලංකරණ සමාස වියරණ මොකටද රාමචන්ද්‍රන් ඒ වගේ හදවතක ආදරය කියවද්දී.. ඔයා ඉන්නේ මොන දෙවියන් එක්කද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඔයාගේ ප්‍රේමය අස දෙවියන් වැඩ ඉන්නවා.. නැත්නම් කොහොමද එක මොහොතක්වත් මඟ නොහැර ඔයා ඒ ආදරය වෙනුවෙන් ජීවිතයම.. ඔව් රාමචන්ද්‍රන් ජීවිතයම කැප කළේ.. ඔයා මාව ඇඩේව්ව තරමක්.. තාමත් ඇස් අස්සෙ ඒ සීතල... රාමචන්ද්‍රන් මට ඔයා ගැන කියන්න ඕන මේ ලෝකයටම.. ඔයා වගේ තව කෙනෙක් නෑ කියලා මම කියන්නේ නෑ... විශ්වාස කරන්න ඉතින් ඔයා වගේ තව එක්කෙනෙක් ඉන්නවා මේ ලෝකේ.. ඔව් රාමචන්ද්‍රන් තව එකම එක්කෙනෙක් ඉන්නවා.. ඒ තමයි මගේ දෙවියන්.
කේ. රාමචන්ද්‍රන් මට මුණගැසුනේ කවද්ද? ඒකද ඔයාගේ ප්රශ්නය... ඒ හැටි කාලයක් නෑ.. 96.. දමිළ චිත්‍රපටය තමයි මට කේ. රාමචන්ද්‍රන්ව මුණගැස්සුවේ. මම මොහොතින් මොහොත ඒ රාමචන්ද්‍රන්ට ආදරය කළා.. ඒ මගේ ගෑනු හිත හැමදාමත් ප්‍රාර්ථනා කළ පිරිමියා ඒ රාමචන්ද්‍රන් තුළ ජීවත් වෙච්ච නිසා.. පිරිමියකුට පුළුවන්ද ඒ තරම් නිර්මල විදිහට ගැහැනියකට ආදරය කරන්න.. දෙවියනි මට කියන්න දෙවියන් ළඟවත් තියෙනවද එහෙමම ආදරයක්.. මගේ නොවුණට මගේමයි කියලා මට හිතුණෙ ඒකයි රාමචන්ද්‍රන් ඔයාව..
ඔයා දන්නවද ඔයා ගැන මට දැනුණු ආදරය... එක දිය බුබුලකින් පටන් ගත්තු ගංඟාව අන්තිමට ගං දෑල විසුල දිය කඳක් වෙච්ච හැටි.. ඒ ගඟ පරිස්සම් වෙච්ච හැටි සාගරය මඟ හැර යන්න.. ඒ දිය කඳ ඔබේම පවස වෙනුවෙන් පූජාවක් කරලනු රිසින්.. එකම එක හුළං රැල්ලක් දෙවියනි අදහන්න වන තුරු සිරස පිපි හැම වනපස මලකම සුවඳ අරගෙන ආව හැටි.. හෙමින් සැරේ ඉගිල්ලෙමින් උරා ගෙන හැම මල් සුවඳකම ඒ සුවඳින් ඔබේ පා යුග දොවන රිසින්.. මහා වැස්සක් වුණේ නෑ ඒ එක දිය කඳුළ නිල් දියවරක් මිස.. කොහොමද මගේ දෙවියනි මහා වැස්සක් වෙන්නේ..? මලකට ළදල්ලකට කොච්චර රිද්දනවද ඒ මහ වැස්ස... මගේ සවන් පත් අගුලු ලන තරම් හරි සැරයි.. හරි නපුරුයි ඒ වැස්ස.. ඒකයි රිදෙයි කියන සාංකාවට එකම එක අතු අග්ගිස්සකටවත් අනේ මං නොවැටුණේ මහා වැස්සක් වෙලා.. එක මොහොතකටවත් නුඹේ ජීවිත පොළොවට.. ඒත් නිල් දියවරේ රළ නගන හැම දිය රළක්ම නැවතෙන්නේ විල්තෙරේ පපුතුරේ.. වෙන කොහේවත් එපා ඉසිඹුවක් නවතින්න මට ගිම් නිවන්නට.. අනේ රාමචන්ද්‍රන් මම කොහොමද වචනවලට එකතු කරන්නේ ඔයාගේ පිරිමි පපුව අස්සෙන් වෑස්සෙන ආදරය.. අනන්තය සැතපුමක් මට දැනෙන ස්නේහය ළඟ..
රාමා ඔයා වගේ පිරිමි සංසාරය පුරාවටම පතන ජානුලා ඉන්නවා ඕන තරම්. ඒත් කෝ රාමලා මගේ දෙවියන් ඇරෙන්න... ඒ දෙවියන් ළඟ හැමදාමත් ආදරයේ පහන දල්වලා මම දණ නමන්නේ ඒකයි.. මිනිස්සු මේ ලෝකයේ ඕන තරම් ඉන්නවා රාමචන්ද්‍රන්. ඒත් දෙවියන් නෑ අහම්බයකින්ම මිසක ඒ මිනිසුන් අතර..
කාලයට තියෙන්නේ අමුතුම අත්තටු.. අනේ ඉගිල්ලෙන වේගයක්.. රාමචන්ද්‍රන් මම මගේ කෝවිලේ මගේ දෙවියන් ළඟ දණ ගසද්දී මට හිතෙනවා මේ ලෝකයම එක මොහොතකට අල්ලලා නවත්වන්න.. ඉරට හඳට තරුවලට වලාකුළකට කොහොමද මනුස්ස දුවකගේ ආදරයේ තරම තේරෙන්නේ.. තෙරුණානම් ඔයාට ජානුට කියාගන්න තිබුණු හැමදේම වලාකුළක් එයාගේ සේද සේලයේ ලියාගෙන හංඟගෙන පාවී පාවී නොයාවිද ඈ ඉන්න ඉසව්වකට..
මේ අහන්න රාමචන්ද්‍රන් ගැහැනු හිතක ආදරය තේරෙන්නේ ඔයා වගේම තව පිරිමියෙකුට විතරමයි.
හැම පිරිමියෙක්ම ඔයා වගේ වුණානම් ආදරය කාටවත් තේරෙන එකක් නෑ.. ඒක වෙන්නැති දෙවියන් රාමචන්ද්‍රන්ලා මේ ලෝකෙට නොඑව්වේ.
හැමෝගෙම ආදරය ඔයාගේ වගේ වුණානම් රාමචන්ද්‍රන්ගේ ආදරය ලෝකයට මේ තරම් වටිනාකමක් දනවන එකක් නෑ.
රාමා ඒක එහෙම වුණානම් ඔයා ගැහැනු හිතක සිහිනයක් බලාපොරොත්තුවක් සංසාර ප්‍රාර්ථනයක් වෙන්නෙත් නෑ.
ඔයා ගැන මම කවදාවත් ලියන එකකුත් නෑ.
ඒත් දෙවියනි මේ ලෝකයේ හැම පිරිමියෙක්ම රාමචන්ද්‍රන්ලා වුණානම් කවදාවත් ගැහැනියකගේ ඇස් අග්ගිස්සේ වේදනාවක කඳුළක් ඉපදෙන එකක් නෑ.
හදවත අවුලවමින් ගින්දර වගේ සුසුම්සර දැනෙන එකකුත් නෑ.
කේ. රාමචන්ද්‍රන් මේ තමා මට දැනෙන ජානුගේ හිත.....
නොඉල්ලමි කිසිවක්ම
ආදරය හැරෙන්නට.