2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

හෙණවලටත් බලපත්තරයක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

රෑට ඉතින් කන්නෙ බොන්නෙ කොතනද දැන් මැස්සටත් පුරුදුවෙලා ගෙදර යැවෙන්නෙ නෑ එතනම බුදියනවා. මැස්සා ඊයේ? අහම්බෙන් වගේ ඇවිල්ලා තියෙන්නෙ තඩි නළුවෙක්ගේ ගෙදරට. මම පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බැලුවා. නළුවෙක් වුණාම කොයි කොයි චරිතේ රගපානවද දන්නෙ නෑනේ. බිත්තිවල ගහලා තිබුණා එයා කවුද කියලා. ඌම ලියලා ඌම ගහගෙන.

මං නළුවෙක්, මං දේසපාලකයෙක්, ගායකයෙක්, බොඩි බිල්ඩර් කෙනෙක්, ක‍්‍රිඩකයෙක්, අයියෙක්, පුතෙක්.
මම දහ අතේ කල්පනා කළා එක මිනිහෙක් කොහොමද චරිත කීපයක් රඟපාන්නෙ කියලා. අපි දන්න මලඉලව් රඟපෑම්. කරන මිනිස්සු ඒව ගාණට කරනවා ඇති. මැස්සා මෑන් දිහාම බලාගෙන හිටියා. නැගිට්ට ගමන් කෝල් එකක් ගත්ත නළු බට්ටා අමුතු විදිහට කතා කළා.

හෙලෝ. හෙණම ගහපන් කවුද මේ..?

ආහ් මම මේ කතා කළේ චිත‍්‍රපටයක රඟපාන්න එන්න පුළුවන්ද අහන්න

කවුද මේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද?

මම ගෑනු කෙනෙක්. කට හඬ අදුරන්න බැරිද?

ගෑනු කෙනෙක් නම් හෙණම ගහපන් මම එන්නම්...

ඔබතුමාගේ ගාණ කීයද දන්නෙ නෑ...

ගාණ කියන්නෙ මෙහෙමයි හෙණම ගහපන්.... දවස් කීයක් ෂුටින් තියෙයිද...?

ඒක ඉතින් හරියටම කියන්න බෑ.

දවසකට පනස්දාහක් දාලා ගාණ හදලා කතාකරන්න..

දවසකට පනස්දාහක්

ඔව්...

හෙණම ගහපන්...

ගෑනි කියපි.

ඒයි ඒයි මේ මගේ වචන හොරකන් කරන්න එපා හෙණම ගහපන්.... ඒ වචන ටිකට හෙණම ගහපන් මම පේනට්න් බලපත‍්‍රය අරන් තියෙන්නෙ...

මොකටද?

හෙණම ගහපන් කියන වචන ටිකට... ඒවා මගේ වචන

කෝල් එක නතර වුණ ගමන් මිනිහා නැගිටලා කිරි එකක් බිව්වා. පළතුරු කෑවා. බත් කෑවා. බිත්තර කෑවා. මාලු මස් කෑවා. මල හත්තිලව්වෙ මැස්සෙක්ට කියලා දෙයක් ඉතිරි කළේ නෑ. අම්මපා බඩේ හිඟන්නෙක්ද මන්දා. ඊට පස්සෙ ගිහින් ගල්රෝලක් වගේ යකඩ ගොඩවල් උස්සන්න ගත්තා. දෙන්නෙක් සපෝට් එකටත් ආවා.

ඔන්න අල්ලමු... හරි සර් අල්ලමු...

ඔන්න ය්යාහහ්.... හෙණම ගහපන් එකයි. හෙණම ගහපන් දෙකායි...... බ්ලා බ්ලා බ්ලා... හෙණම ගහපන් අටයි...
එහෙම කිය කිය යකඩ රෝල් ඉස්සුවා. උස්සනවා තියනවා. උස්සනවා තියනවා. කිසි තේරුමක් නෑ. යකෝ මිනිහෙක් වුණාම වැඩකට ඇති වැඩක් කරන්න එපැයි. යකඩ උස්සනවා බිම තියනවා. උස්සනවා බිම තියනවා. මොන රෙද්දකට උස්සනවද මන්දා.

මොනවද අපිට අද තියෙන වැඩ

දාඩිය පිහිදන අතරේ පොර ලේකම්ගෙන් ඇහුවා.

අද සර් වැලි කේස් එකකට හොට දාන්න යන්න තියෙනවා.

එයාට මොනවද කරන්න ඕන

හෙණ ඉල්ලන්න ඕන.

හොඳායි. තව

තව සර් රටේ ලොකුම තැනට ගිහින් කතාවක් කරන්න ඕන

ඒ මොනවා ගැනද?

කාන්තාවන්ට ගරු කිරීම ගැන

හෙණම ගහපන් තව....

නෑ.. නෑ.. සර් ඒවා කියන්න එපා. කාන්තාවන්ට ගරු කරන සීන් එකේදී ඒවා කියන්න එපා. 

හෙණම ගහපන් මොනවද කියන්න ඕන

සර්ට හිතෙන දෙයක් කියන්න. හැබැයි කාන්තාවන්ට ගරු කරන බව තේරෙන්න ඕන. 

කොහොම හරි සෙට් එකත් එක්ක මාත් ඉතින් ගියා. මැස්සටත් මේ දවස්වල එකසිය ගාණට වැඩ. මොකද ඉතින් ජනප‍්‍රිය ගෙවල් වලනේ වාසේ දේසෙ. නළුතුමා ගිය ගමන් බැලුවා. ගගේ වැලි ගොඩ දාලා තියෙන්නෙ නිකං අම්මගේ අප්පගෙ බූදලේ වගේ.

ගනිල්ලා කෝල් එකක්...

ගත්තා සර් මෙන්න...

හෙලෝ... මේ නෝනා මම මේ අහවලා කතා කරන්නෙ

ඇයි දන්නෙ නෑ සර්?

ඇයි වැඩක් නෑ හෙණම ගහපන් තොට

ඇයි සර්?

කිව්වෙනේ එක පාරක් හෙණම ගහපන්.

හා සර්...

ඇමතුම විසන්ධි වුණා.

දැන් කොහොද යන්න තියෙන්නෙ?

අර රටේ ලොකුම තැනට. 

යමල්ලා.

කට්ටිය කෙලින්ම එහේ ගියා. නළුතුමා කතාව පටන් ගත්තා.

ගරු උත්තමාවරුණි හෙණම ගහපන්. මම මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කාන්තාවන්ගෙ ගරු කිරීම ගැන හෙණම ගහපන්. මේ ගරු සභාවේ කාන්තාවන් වෙනුවෙන් හෙණම ගහපන් පෙනී ඉඳපු තවත් කෙනෙක් නැති තරම්. මම කාන්තාවන් වෙනුවෙන් ගොඩාරියක් දුක් විඳලා තියෙනවා. එහෙම එකේ මම කියනවද ගෑනුන්ට හෙණම ගහපන් කියලා. මට පිස්සුද මොකද හෙණම ගහපන්. මේ වචනය ඇවිල්ලා මට පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච වචනයක්. හැම වෙලාවෙම ඒක කියවෙනවා. ආදරේට කතා කළත් හෙණම ගහපන්, තරහින් කතා කළත් හෙණම ගහපන් කියලා මට කියවෙනවා. අනේ මට සමාවෙන්න හෙණම ගහපන්.

කියලා කතාව අහවර කරද්දිම ඩෝං ගාලා හෙණයකුත් වැදුණා කියපන්කෝ වැස්සක් නැතිවම. මැස්සාට උන් හිටි තැන් නැති වුණා. මම පියෑඹුවේ පයින් හිටගෙන. 

මම
හොස්ස ළඟින් ගිය මැස්සා.