2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

කසාද කඩපු ගූගල් මැප්ස්...

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

තාක්ෂණය කියන්නේ මිනිසාගේ ජීවිතය පහසු කිරීමට හේතුවන දෙයක් විදිහට සමාජය පිළිගන්නවා. හැබැයි තාක්ෂණය හින්දා මිනිස්සුන්ගේ ජීවිත අවුල් වුණු අවස්ථා ගැනත් නිතරම වාර්තා වෙනවා. කොහොම වුණත් ගූගල් මැප්ස් (ගූගල් සිතියම්) කියලා කියන්නේ ගොඩක් දෙනෙක්ට ඉතාමත් ප්‍රයෝජනවත් තාක්ෂණික උපාංගයක්. විශේෂයෙන්ම අපි නොදන්නා කියන පළාතක යන එන වෙලාවට පාරවල් හඳුනාගන්න ගූගල් මැප්ස් ගොඩක් උපකාරී වෙනවා.

ඉතින් දකුණු අමෙරිකාවේ පේරු කියන රටේ අගනුවර වෙච්ච ලීමා නුවර ඉන්න එක්තරා පුද්ගලයෙක් පහුගිය දවසක තමන්ගේ පරිගණකය විවෘත කරලා ගූගල් මැප්ස් බලන්න ගත්තේ ලීමාවල ඉඳන් වෙනත් තැනකට ගමන් කරන්න තියෙන පහසුම මාර්ගය හොයාගන්නයි. ටික වෙලාවක් පරිගණකය දිහා බලාගෙන යන්න තියෙන මාර්ගය පරීක්ෂා කරද්දී ඔහුගේ ඇස් එක තැනක නැවතුණා. 

ඔහුට යන්න තියෙන මාර්ගයේ එක් පසෙක පිහිටි බංකුවක් උඩ කාන්තාවක් වාඩිවී ඉන්නවා. ඇගේ උකුල මත පිරිමියෙක් හිස තබාගෙන ඉන්නේ ඈට ඔහුගේ හිස පිරිමදින්න ඉඩ සලසමිනුයි. කාන්තාවගේ ඇඳුම් දුටු සැණින් මේ පුද්ගලයා ටිකක් කම්පනයට පත්වුණා.

ඒ කාන්තාවගේ ඇඳුම් ඔහුට ගොඩක් හුරුයි. කළු පැහැති කමිසය උඩින් සුදු පැහැති ස්වේටරයක් දමාගෙන කළු පැහැති කලිසමක් ඈ හැඳ සිටියා. ඈ පැළැඳ තිබූ අඩි උස සපත්තුවත් ඔහුට ගෙන දුන්නේ බොහොම හුරු පුරුදු බවක්. ඉතින් ඔහු පින්තූරය තවත් ටිකක් විශාල කරලා බැලුවා.

ඔහුගේ සැකය නිවැරදියි. එහි සිටියේ ඔහුගේ බිරිඳයි. තවත් පිරිමියකු සමඟ තමන්ගේ බිරිඳට සම්බන්ධයක් ඇති බව ඔහුට වහා අවබෝධ වුණා. 
පසුව ඔහු ඡායාරූපයේ පිටපත් කිහිපයක් අරගෙන බිරිඳගෙන් මේ ගැන විමසද්දී ඈ ඇත්ත පිළිගත්තා. මේ ඡායාරූප 2013 වසරේදී පමණ අරගත්තු පින්තූර වුණත් තමන්ගේ බිරිඳට අනියම් සම්බන්ධයක් තිබුණායැයි දැනගත් මේ සැමියා කළේ ඇගෙන් දික්කසාද වීමයි. එතැනින් නොනැවතී ඔහු ෆේස්බුක් වෙතත් මේ ඡායාරූප පළ කර තිබුණා. 

ගූගල් මැප්ස්වල එන Street View විශේෂාංගය හරහා තමයි මේ ඡායාරෑප පළවෙන්නේ. ඒ කියන්නේ අපි දකින සාමාන්‍ය සිතියම් වෙනුවට අදාළ ස්ථානවල සැබෑ ඡායාරූප ගූගල් හරහා පෙන්නුම් කෙරෙනවා. මේ ඡායාරූප ලබාගැනුණේ මීට අවුරුදු කිහිපයකට උඩදී ගූගල් විසින් යොදවපු කැමරා සවිකරපු කාර් ඒ ඒ තැන්වල සැරිසරමිනුයි. 

ගූගල් මැප්ස් නිසා පහුගිය කාලේ පුරාවටම හරි අපූරු දේවල් අනාවරණය වුණත් දික්කසාදයක් කියන්නේ නම් ටිකක් බරපතළ තත්ත්වයක්. හැබැයි පොලිසියට නම් ගූගල් මැප්ස්වලින් ලොකු ප්‍රයෝජනයක් ලැබුණා. විශේෂයෙන්ම මත්කුඩු බෙදාහරින අයගේ පින්තූරත් ගූගල් මැප්ස්වලට අහුවෙලා තිබුණා. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල මුත්‍රාකරන අය, එළිමහනේ ලිංගිකව හැසිරෙන අය, වෙඩි තබාගැනීම්, ගහගැනීම්, මංකොල්ල කෑම් වගේ ගොඩක් දේවල් ගූගල් මැප්ස් පින්තූර එකතුවේ දකින්න ලැබුණා. ඒ කොයිහැටි වෙතත් ගූගල් හින්දා කසාද කැඩෙන එක නම් හොඳ ද නරක ද කියලා කියන්න අපිට තේරෙන්නෙ නෑ. 

 

► Text — Suranga