2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

දරුවෝ ඇති අම්මාලා - දරු සුරතල් පෙන්නාලා

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 255

හන්කිති කවමින් කුස තුළ සක්මන් කරනා
නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතුණා
පැටියෝ... නුඹ දුවක වුණත් මට පුතකු වුණත්
නුඹ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි

ඉෂාරා සඳමිණී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඒ විතරක් නෙවේ ඉෂාරා දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. ඔන්න ඉතින් ජීවිතේ හා හා පුරා කියලා මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ඉෂාරා මව් පදවියට හිමිකම් පෑවා. ඉෂාරාගේත් අනුරගේත් ජීවිතවලට සතුට රැගෙන ආවේ පුංචි දෝණි කෙනෙක්. අනුර කියන්නෙත් කලා පවුලේ ඉන්නා දක්ෂ රංගන ශිල්පියෙක්.

ඉෂාරාගේත් අනුරගේත් ජීවිතවලට සතුට රැගෙන ආපු මව්පිය පදවි මිට මොළවාගෙන ඉෂාරාට තිළිණ කරපු ඒ පුංචි දෝණිගේ නම ඉසස්‍යා සිදුප්‍රී සඳුමිණි. දෝණිගේ ලස්සන නමට අම්මාගේ නමේ කොටසකුත් එකතු කරගෙන වගෙයි. අම්මා වගේම තාත්තා වගේම පුංචි දෝණිත් හරිම ලස්සනයි. පුංචි දෝණි අම්මාගේ කුසෙන් ආවෙනම් අප්‍රේල් මාසෙ අටවැනිදා. හරියට අවුරුදු කුමාරියක් වගෙයි.

දෙන්නා අතරට එකතු වෙන කුළුදුලේ දරුවා නිසාම දෙන්නාම ආසාවෙන් ඉඳලා තියෙන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නැහැ කියලයි. හැබැයි ඉතින් දෙන්නටම හිත යටින් පුංචි ආසාවල්නම් තිබිලා තියෙනවා. තාත්තා ආසාවෙන් ඉඳලා තියෙන්නේ දුවෙක්ට. අම්මලා වැඩිපුරම පුතාලට කැමති නිසාම ඉෂාරා පුතෙක්ට ආස කළා. ඔන්න ඉතින් අන්තිමේදී බක් මහේදී මේ දෙන්නට පුංචි දෝණියෙක් ඉපදුණා. තාත්තාගේ ආසාව ඉෂ්ඨ වුණා.

දරු පැටියෙක් ඉපදෙද්දී අම්මට හරි අපූරැ ආසාවල් ඇතිවෙනවනේ. ඔන්න ඉතින් ඒ වගේ ආසාවකුත් ඉෂාරාට ඇතිවෙලා. ඒ තමයි කෙසෙල් කොලේ ඔතපු සිංහල ක්‍රමයට හදපු බත් එකක් කන්නයි. හැබැයි ඒකත් ගෙදර හදලා කන්නනම් බැහැ. කවුරුහරි උයලා ගෙනත් දුන්නම ඔන්න ඉෂාරා හරි ආසාවෙන් ඒ බත්මුල කෑවාලු. ඒ හැර විශේෂ දොලදුක් ආසාවල් ඉෂාරාගේ කුළුඳුල් දරු පැටියා ඉපදෙද්දීනම් තිබිලා නැහැ.

ඉෂාරාගේ ලොකුම ආසාව වෙලා තිබුණේ දරු පැටියාව ස්වභාවික දරු උපතකින් මෙළොවට බිහි කරන්නයි. ස්වභාවික දරු උපතකදී අම්මා කෙනකු විඳින සුන්දර වේදනාව අත් විඳින්න ඇයට අවශ්‍ය වුණා. ඒ වුණත් ඉෂාරාගේ හිතවතියන් බොහෝ දෙනකු කියලා තිබුණේ සිසේරියන් සැත්කමකින් දරුවා ඉපදෙන එක හොඳයි කියලයි. මවට ඒ තරම් වේදනාව දැනෙන එකක් නැහැ කියලයි ඒ අය කිව්වේ. ඒත්.. මව් පදවියකදී අම්මා කෙනකු විඳින ඒ සුන්දරත්වය මුහු වෙච්ච අපූරු වේදනාව ජීවිතේ අත්විඳින්නත් ඉෂාරා පෙරුම් පිරුවා.

මව් පදවිය සඳහා වෛද්‍යවරු ලබාදුන් දිනය පසුවුණා. තවත් දින හතක්ම ස්වාභාවික දරු උපතක් වෙනුවෙන් ඉෂාරා බලා සිටියා. දිනයක් පුරා ස්වභාවික දරු උපතක් වෙනුවෙන් ඉෂාරා දුකක් වින්දා. නමුත් අවසානයේදී වෛද්‍යවරු ඉෂාරාව සිසේරියන් සැත්කමකට යොමු කරන්නනට තීරණය කර තිබුණා.

හිතුවාටත් වඩා සිසේරියන් සැත්කම ද වේදනාවක් වුණා. රෑ එකොළහයි ගණනකදී පුංචි ඉසස්‍යා මෙ‍ලොවට බිහි වුණා. ඉෂාරා ආදරණීය මව් පදවිය ලැබුවා. දරුවා බිහිවී ඉෂාරා අතට වෛද්‍යවරු ලබා දෙද්දී ගතේ තිබූ සියලුම වේදනාවන් ඉෂාරාගෙන් ගිලිහී ගියා. ඒ ඇස්වල කඳුළු පිරුණා. ඒ අපූරු අත්දැකීම බක් මහේදී ඉෂාරා අපූරුවට අත්වින්දා. දරාගන්නට බැරි වූ සතුටක් ඒ ගෑනු හිතේ පෙළගැසුණා.

පුංචි දරු පැටියා මෙ‍ලොව එළිය දකිද්දී අලුත් තාත්තා ද ළඟ හිටියා. සියැසින්ම තම දරැ පැටියා මෙළොව එළිය දකිද්දී ඔහු බලාගෙන හිටියා. කුළුදුලේ ඉපදුණු පුංචි පැටියාගේ අලුත් සුන්දර වැඩ කටයුතු කරන්නට අදටත් දරු පැටියාගේ ආච්චිලාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හිතුවාටත් වඩා මෙය බාරදූර වැඩකටයුත්තක්  බවයි අද ඉෂාරාට දැනෙන්නේ. මුල් දිනවලදී අම්මලා නාවද්දී බලාගෙන හිටියත් අද පුංචි දෝණිව තනියම නාවන්නත් ඉෂාරාට පුළුවන්.
දරු පැටියාගේ තාත්තාටත් දැන්නම් වැඩ වැඩියි. මේ අලුත් අත්දැකීමට අනුර හරි කැමතියි. දරු පැටියාගේ ආගමනයත් එක්කම අද ඒ කැදැල්ල සතුටින් පිරිලා. ඉෂාරා කියන විදිහට අද මේ ජීවිත සම්පූර්ණයි.

අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිණියකී දැන් මා පුතුගේ පිනෙන් 
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිම් පිහිනා පුතුගේ නමින් 

සමාධි අරුණචායා කියන්නෙත් අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්නා තවත් ඉතා දක්ෂ රංගන ශිල්පිණියක්. සමාධිව කවුරුත් දන්නේ මලී කියලයි. ඒ තරමටම ඒ චරිතයට සමාධි සාධාරණයක් ඉෂ්ඨ කළා. පසුගියදා දිනෙක සමාධිගෙත් සංජයගේත් පවුලට තවත් පුංචි අමුත්තෙක් එකතු වුණා.

මේ පුංචි අමුත්තාව පිළිගන්නට සමාධි, සංජය වගේම තවත් පුංචි අමුත්තියක් එකතු වුණා. ඒ තමයි සමාධිගේ ලොකු දෝණි. ඒ කියන්නේ මේ සමාධිගේ දෙවැනි මව් පදවිය.
ජූලි මාසේ හතර වැනිදා තමයි පුංචි අමුත්තා අම්මාගේ කුසෙන් මෙළොව එළිය දැක්කේ. දෝණියක් ඉන්න පවුලට පුංචි පුතෙක් ඉපදුණාම ඒ සතුට දෝර ගලනවා. පුංචි පුතාට සමාධි අපූරු නමකුත් තිබ්බා. ඒ තමයි සයුල් දිව්‍ය මොරගොල්ල. පවුලට මුලින්ම දෝණි එකතු වුණ නිසාම දෙවැනි දරු උපතේදී සමාධි ආසාවෙන් හිටියේම පුංචි පුතෙක්ටයි. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් පුතෙක් පතන එක සාධාරණයිනේ. වාසනාවකට මෙන් සමාධිගේ ඒ බලාපොරොත්තුව ඉටු වුණා.
කුළුඳුලේ ඉපදුණු දෝණි වගේම පුංචි පුතාත් මෙළොව එළිය දැක්කේ ස්වභාවික දරු උපතකිනුයි. පුංචි පුතා ඉපදෙද්දී සමාධි ළඟින්ම සංජය හිටියා. ස්වභාවික දරු උපතේදී මවක් විඳින සුන්දර වේදනාකාරී අත්දැකීම සමාධි දෙවැනි වරටත් අත්වින්දා. නමුත් පුංචි පුතාගේ මුහුණ දකිද්දී ඒ හැම වේදනාවක්ම ඒ හිතට දැනුණේ නම් නැහැ.

සමාධි වගේම මල්ලිව පිළිගන්න අවුරුදු දෙකහමාරක් වෙච්චි පුංචි අක්කණ්ඩිත් හරි හරියට සූදානම් වෙලා හිටියා. මල්ලි එනතුරු හරිම ආසාවෙන් බලාගෙන හිටියා. පුංචි පුතා ඉපදී ගෙදරට ආවට පස්සෙත් පුංචි අක්කණ්ඩිගෙන් ලොකු සහයෝගයක් සමාධිට ලැබෙනවා. මල්ලිව අතගාන්න, පුංචි නැප්කින් පුළු පුළුවන් විදිහට නවලා දෙන්න ඇය හරි කැමතියි. හැබැයි ඉතින් අම්මාගෙන් පුංචි පුතා කිරි බොද්දිනම් ඒ පුංචි හිතට එතරම් සතුටක් දැනෙන්නේනම් නැහැ. ඒ නිසා මල්ලි බබා කිරි බොද්දිනම් අක්කණ්ඩිට පොඩ්ඩක් කේන්ති යනවා. අවුරුදු දෙකහමාරක් වෙච්චි අක්කණ්ඩිත් තාමත් පුංචියි. හුරතල්. අම්මාගේ බණ්ඩියේ හිටපු මල්ලි බබායි මේ ඉන්නේ කියද්දි ඇය මල්ලි දිහා බලාගෙන ඉන්නවා. දරු දෙදෙනාටම එකසේ අසීමිතව ආදරේ වුණත් සමාධි වැඩිපුරම ඒ දරු සෙනෙහස තවමත් පෙන්නන්නේ පුංචි දෝණිටයි. නැත්නම් ඒ පුංචි හිත දුකෙන් පිරෙනවා.
සමාධි කියන විදිහටනම් තවමත් රාත්‍රියට හරිහැටි නින්දක්නම් නැහැ. පොඩි අයගේ සුන්දරත්වය, ආදරය, සෙනෙහස නිසා හැම දුකක්ම අකාමකා ගියත් මේ දවස්වල දවස හරිම වෙහෙසකාරියි. සංජය වගේම ඔහුගේ පවුලේ හැමෝම මේ වැඩවලට උදව් කරනවා.

අද සමාධිත්, සංජයත් දරුවන් දෙදෙනකුගේ මව්පියෝ. අද ඒ ජීවිත පිරිලා. දරු දෙන්නාගේ කෑගැහිල්ලෙන් මුළු ගෙයම පිරිලා. ජීවිතේ මුල් අවස්ථාවලදී ඉඳන්ම සමාධි පැතූ හැම දෙයක්ම ඇයට ලැබුණා. අද සමාධි දුවෙක් සහ පුතෙක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්.

සඳ තරුමල් මට දන්දුන් මගේ රුසිරු නුඹ අරගන්
හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දායද එයයි මගේ දොණිට අප දෙන්නාගේ

කාලයක් ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි වුණු නර්තන කණ්ඩායමක් තමයි සෙන්සේෂන් නර්තන කණ්ඩායම කියන්නේ. මේ නර්තන කණ්ඩායමේ නායිකාව පසුකාලයේදී පුංචි තිරයට, සිනමාවට හරි අපූරුවට එකතු වුණා. දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වුණු හිමාලි සිරිවර්ධනගේ විවාහ ජීවිතෙන් හරියටම වසර එකොළහකට පසුව ජීවිතයේ ලබපු ඉහළම පදවිය ඇය ලැබුවා. ඒ තමයි මව් පදවිය.

හිමාලිගේ ජීවිතයට ඒ අපූරැ මව් පදවිය අරගෙන මැයි මාසේ විසිවැනිදා පුංචි පුතා ඉපදුණා. ඒ පුංචි පුතාට සචෙල් ෂෙඩ්රික් පෙරේරා කියලා තමයි නම තිබ්බේ. අවුරුදු එකොළහකට පස්සේ ජීවිතවලට එකතු වුණු පුංචි පුතා ඉපදෙන්නට කලින් සෙනාෂ් නම් ආසාවෙන්ම ඉඳලා තියෙන්නේ පුතෙක්ටම තමයි. හැබැයි ඉතින් දුවෙක් ගැන ආසාවක්නම් හිමාලිට තිබිලා තියෙනවා. ලස්සන ලස්සන පුංචි ගවුම් පොඩි අන්දවන්න, ලස්සන ලස්සන කොන්ඩ මෝස්තර කරන්න ඇය ආසාවෙන් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් එහෙම මුලින් පොඩි ආසාවක් තිබුණට පුතෙක්ටත් හිමාලි ආස වුණා. ඔන්න ඉතින් තාත්තාගේ ආසාව ඉෂ්ඨ කරමින්ම හිමාලිගේත් සෙනාෂ්ගේත් පවුලට පුංචි පුතා ඉපදුණා.

පළමු මාස තුන ගෙවනතුරු දරුවකු ලැබෙන්නට ඉන්නා බවවත් හිමාලි දැනගෙන හිටියේ නැහැ. ඒ මාස තුන ඇතුළත ඇය නර්තන ප්‍රසංගවලට පවා සහභාගී වුණා. විදෙස් සංචාරයකට පවා සහභාගී වුණා. නමුත් කිසිම ආපදාවකින් තොරව පුංචි පුතා මෙලොව ඉපදුණා. අඩුම තරමේ විශේෂ ආසාවල් පමණක් නොව, වමනය, කරකැවිල්ල වැනි ස්වභාවික තත්ත්වයන් පවා හිමාලිට ඇති වුණේනම් නැහැ.

හිමාලි කාලයක සිට ස්වභාවික දරු උපතක් වෙනුවෙන් ආස කළා. ඒ වෙනුවෙන් ඇය වෛද්‍ය උපදෙස් පවා ලබාගත්තා. මැයි මාසේ විසි පස්වැනිදා වෛද්‍යවරු දරු උපත වෙනුවෙන් ඇයට දින නියම කළා. නමුත් දහනව වැනිදා ඇයගේ වෛද්‍යවරු තීරණය කර තිබුණේ‍ සිසේරියන් සැත්කමක් කළ යුතු බවයි. ඒ නිසාම හිමාලි ඇගේ ආසාව පැත්තකින් තියා සිසේරියන් සැත්කම වෙනුවෙන් කැමති වුණා.

කුළුදුලේම තමන්ට මව් පදවිය ලබලා දුන් ආදරණීය පුංචි පුතාගේ මුල්ම කටහඬත් ඒ මුල්ම දැකීමවත් අදටත් හිමාලිට අමතක නැහැ. දරු පැටියාව උස්සා හිමාලිට වෛද්‍යවරයා ‍පෙන්වද්දී ඒ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. ඒ සුන්දර අත්දැකීම හරි අපූරු බවයි හිමාලි කියන්නේ.

හිමාලි කියන විදිහට සචෙල් අම්මාට වැඩිය වද දෙන්නේනම් නැහැ. පුංචි පුතා එයාගෙ පාඩුවේ නිදාගන්නවා. රෑ තිස්සේ නැගිටලා අඬන්නේ නැහැ. හිමාලි තමයි පුතාව බලෙන්ම නැගිටවලා කිරි දෙන්නේ. ඒ නිසා තමයි පුංචි පුතාව ඇහැරවලා එයාට කරදර කරන්නේ.

කුළුදුලේ දරුවා නාවද්දී ටිකක් බයයි තමයි. ඒ නිසාම හිමාලිගේ අම්මාත්, අක්කාත් ඒ දේවල්වලට ලොකු සහයෝගයක් ලබලා දෙනවා. නාවන්නේ, ගුඩුස් යවන්නේ හැමදෙයක්ම මුලින්ම කළේ හිමාලිගේ අම්මා. දැන්නම් හිමාලිටත් ඒ දේවල් හොඳට හුරුයි. හැබැයි ඉතින් තාමත් පුංචි පුතාගේ තාත්තාටනම් මේ දේවල් නුහුරුයි. තාමත් පුංචි පුතාව වඩාගන්න තාත්තා ටිකක් බයයි. ඒත් ඒ ආදරේනම් පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. සෙනාෂ් කියන්නෙත් හරිම ආදරණීය තාත්තා කෙනෙක්.
හිමාලි කියන විදිහට ඔවුන්ගේ ජීවිතවල කාර්යබහුලකම නිසාම දරුවකු ගැන හිතන්න කල් ගතවුණා. අද වෙද්දී ඒ ගෙවුණ කාලය අපරාදේ කියලා හිතෙන තරමට අද හිමාලි මව් පදවියට හරිම ආදරෙයි. අද ඇය හරිම ආදරණීය අම්මා කෙනෙක්.

 

► Text — Dishani  /  Pic - Internet