2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

අයියා වගේ කෙනෙක්මයි බඳින්නෙ

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

ඔහු මැදිවියත් ඉක්මවූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ අලුත්ම නිර්මාණයේ ප්‍රවීණ මෙන්ම නවක නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. නවක නිළියන් අතර එක් ශිල්පිනියක් අධ්‍යක්ෂකගේ ක්‍රියා කලාපය ගැන හොඳටම පැහැදිලා නිතරම ඔහුගේ ගුණ වර්ණනා කරනවලු.

කවදහරි දවසක මම බඳින්නෙ අපේ ඩිරෙක්ටර් අයියා වගේ කෙනෙක් කියලා ඒකෙ රඟපාන තවත් ශිල්පිනියකට මේ කෙල්ල කියලා. මේ කතාව ලැව්ගින්නක් වගේ පැතිරිලා ගියාලු.
අධ්‍යක්ෂක අයියටත් වැඩේ ආරංචි වුණාට ඔහු ඒ බව කාටත් අඟවලා නැහැ.
ඒත් එදා ඉඳලා ඔහුගේ විශේෂ අවධානය මේ කෙල්ලට යොමුවෙන එක කාටත් පෙනුණලු.

 

සල්ලි ගැන දුක හිතිලා

අලුත් සිංහල චිත්‍රපටයක වැඩ අවසන් වෙලා පහුගිය දවසක චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල නිලධාරීන්ට එය කොළඹ සිනමාහලක ප්‍රදර්ශනය කළාලු.

අන්තිමට චිත්‍රපටය බලපු හැමෝගෙම ඇස්වල කඳුළු පිරිලලු. ඒ තරම් දුක හිතෙන කතාවක්. චිත්‍රපටය සිනමාහල්වල ප්‍රදර්ශනය වුණු දවසක කට්ටියට ඒ දුක තේරෙයි.

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ළඟ ඉඳගෙන ඒ චිත්‍රපටය බලපු එක්තරා හාදයෙක් නිෂ්පාදකවරයාගෙන් අවසානෙදී ඇහුවලු ඔයාටත් දුක හිතුණා නේද කියලා.

චිත්‍රපට කතාව ගැන නෙවෙයි, මම මේකට යටකරපු සල්ලි ගැන හිතලා මට දුක හිතුණෙ, කියලා නිෂ්පාදකවරයා ඇඟට පතට නොදැනී කිව්වලු.

 

මලමඟුලක්

එක්තරා කලා ශිල්පිනියකගේ දුවගෙ වෙඩින් එකේ පින්තූර ගන්න බාරදීලා ප්‍රසිද්ධ කැමරා ශිල්පියෙකුට. වැඩේ තිබුණෙ මාතර. මිනිහා කොළඹ ඉඳලා ගෝලයො තුන්දෙනෙකුත් දාගෙන මාතර යනවලු. කලින් දවසෙ රෑ කාපු කෑමක මොකක්හරි අවුලක් නිසා ඔහුට තද බඩේ අමාරුවක් හැදිලා තිබුණලු. වාහනේ එළවගෙන යන්නත් අමාරැයි. ඒ පාර එක ගෝලයෙක් කිව්වලු, තැඹිලි ගෙඩියක් බිව්වොත් හරියනවා කියලා.

මිනිහා තැඹිලි ගෙඩිය බීලා වැඩි වෙලාවක් ගියෙ නැහැ, බඩ ගුරු ගුරු ගාන්න පටන් ගත්තලු. එතනින් පස්සෙ ඉතින් දිගටම බඩ අප්සෙට්. මඟදිගට නවත්ත නවත්ත යනවා. වෙලාවට වෙඩින් හෝටලේට ගියාලු. ඒ තරම් ලොකු හෝටලයක් නෙවෙයිලු.
හැම චාරිත්‍රයක් අතරතුරම මෙයා ටොයිලට් දුවනවලු, ආපහු එනවලු.

හොඳ වෙලාවට හෝටලේ පොඩි නිසා ටොයිලට් එක තිබිලා තියෙන්නෙ පෝරුව පිටිපස්සෙමලු.
කොහොමහරි ෆාමසියෙන් පෙත්තක් අරගෙන වැඩේ පාලනය කරගත්තලු.

 

නළුවා තේකොළ පෙට්ටියේ

අපේ එක්තරා දක්ෂ නළුවෙක් ඉන්නවා තේකොළ පෙට්ටි පෙන්නන්න බැරි. තේකොළ පෙට්ටියක් දැක්ක ගමන් ඔහුට හීන්දාඩිය දානවලු.
ඒකට හේතුව මීට අවුරුදු ගාණකට කලින් ඔහුට වේදිකා නාට්‍යයක් අතරතුර සිදුවූ සිදුවීමක්ලු.

අද වගේ නෙවෙයි, ඒ කාලෙ වේදිකාවෙ තාක්ෂණය භාවිත කරන්නෙ බොහොම අඩුවෙන්. එක්තරා වේදිකා නාට්‍යයක තිබුණලු ගඟක් තරණය කරන දර්ශනයක්. ගඟට පාවිච්චි කරලා තියෙන්නෙ තේකොළ පෙට්ටි. ඒ පෙට්ටි උඩ නැඟලා තමයි ගඟ තරණය කරන්නෙ. නළුවා එහෙම කළාලු. ඊටපස්සෙ තවත් දර්ශන දෙකකට පස්සෙ ආයෙත් ගඟෙන් මෙගොඩවෙන දර්ශනයක් තිබුණලු. තේකොළ පෙට්ටි ටික උඩින් නළුවා යනවලු ගඟක් කියලා ප්‍රේක්ෂකයාට අඟවමින්. එකපාරටම නළුවා අතුරුදන් වෙනවා. බැලින්නම් මිනිහා තේකොළ පෙට්ටියක් ඇතුළට වැටිලා.

කළුවරේ පෙට්ටි ටික තියෙද්දී වේදිකා කළමනාකරණ මල්ලි කෙනෙක් එක පෙට්ටියක් උඩ අතට තියලලු.

 

► Text - Mithra