2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

හැපී මාරු මාර අලකලංචිය

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100
 
උද්‍යාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වුණු හැපී චීනහේ ෂැංගහයි ගුවන් තොටුපොළින් ගොඩ බහිනවා. ඒ වෙලාවෙම තමන්ගේ ස්වාමී පුරුෂයා ගුඩ්ඩු එක්ක තවත් හැපී කියලා නම තියෙන සුන්දර කෙල්ලක් මේ ගුවන් තොටුපොළටම ගොඩ බහිනවා. මේ හැපීලා දෙන්නම එන්නේ එකම ගුවන් යානයකයි. මෙතනට එන චණ්ඩි සෙට් එකක් හැපීව බලෙන් පැහැරගෙන යනවා. ඒත් ඒ චණ්ඩි ටිකට වැරදීමක් වෙන්නේ. ඔවුන් උද්‍යාන පිළිබඳ මහාචාර්යවරියක් වුණු හැපීවයි පැහැර ගෙන යන්නේ. චණ්ඩි පැහැර ගන්න ආව හැපී සහ ඇයගේ ස්වාමිපුරුෂයා ගුඩ්ඩුව විශ්ව විද්‍යාලයට දේශන පැවැත්වීමට රැගෙන යනවා. මේ හැපීලා දෙන්නගෙම නම හර්පීත් කෞර් හෙවත් හැපී වන අතර හැපී සහ ඇයගේ හස්බන්ඩ් ගුඩ්ඩු චීනයට එන්නේ ගීත ගායන කිරීමටයි. මෙන්න මේ හාස්‍ය රසය පිරි සිනමාපටයේ කතාවේ ඉතුරු ටික රහ බලන්නනම් 2018 අගෝස්තු 24 වැනිදා තිරගත වුණු මිනිත්තු 135ක ධාවන කාලයකින් යුතු මුදාස්සර් අසීස් අධ්‍යක්ෂණය කළ හැපී ෆිර් භාග් ජායේගී හින්දි සිනමාපටය නරඹන්නට වෙනවා. හැපී ෆිර් භාග් ජායේගී (හැපී ආපහු පැනලා යාවී) කියන හින්දි සිනමාපටය හදන්න බරපැන දරලා තියෙන්නේ ආනන්ද් එල් රායී, ක‍්‍රිශිකා ලූලා කියන දෙන්නා. තිර රචනය සහ කතාවත් මුද්ස්සර් අසීස් විසින්ම සිදු කරලා තියෙන අතර හැපී ෆිර් භා ජායේගී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ නම් සොහේල් සෙන් විසිනුයි. හැපී එහෙම නැත්නම් හර්පීත් කෞර් කියන නම තියෙන දෙන්නෙක්ම මේ සිනමාපටයේ ඉන්නවනේ. ඒකෙනුත් ප‍්‍රධාන චරිතය එහෙම නැත්නම් ප‍්‍රධාන හැපීගේ චරිතයට පණ පොවන කෙනා ගැන මුලින්ම ඔබට කියලා ඉන්නම්. ඇය ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපට ඔබ රස විඳලා තියෙනවනම් ඇය ගැන ඔබට මතක් වෙන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. 
 
 
Dabangg (2010), Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012)  Holiday (2014), Lootera (2013), Tevar (2015).
 
ඇය කවුද කියලා ඔබට මතක් වුණාද නැද්ද? මම ඇය කවුද කියලා මෙන්න මෙහෙම ඔබට කියනන්ම්. 1987 ජුනි 02 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේදී ඉපදුණු ඇය එස්. එන්. ඩී. ටී. වුමන්ස් යුනිවර්සිටි එකෙන් වැඩි දුර අධ්‍යාපනය හදාරලා 2010 වසරේදී හින්දි සිනමාවට සම්බන්ධ වෙන්නේ නිළියක් වගේම ගායිකාවක් විදියටයි. මීටර් 1.67 ක් එහෙම නැත්නම් අඩි 5යි අඟල් 6 ක් උස මේ ලස්සන කෙල්ල හිනා වෙද්දී මුහුණේ කම්මුල් දෙක චුට්ටක් වල ගැහෙනවා. ඊට මතරව ඇයගේ පියා හිටිය දක්ෂ ජනප‍්‍රිය සිනමා නළුවෙක් වෙන අතර මේ වෙනකොට ඉන්දියාවේ ප‍්‍රසිද්ධ දේශපාලන චරිතයක්. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සිනමා සම්මාන රාශියක් තමන්ගේ නමට ලියාගෙන තියෙන ඇය වෙන කවුරුවත් නෙවෙයි සිනමා නළුවෙක් දේශපාලකයෙක් වෙන ශතෘගන් සිංහා සහ පූනම් සිංහාගේ දියණිය සෝනක්ෂී සිංහායි. සෝනක්ෂී තමයි හර්පීත් කෞර් හෙවත් හැපීගේ චරිතයට පණ පොවන ප‍්‍රධානියා වෙන්නේ. හර්පීත් කෞර් හෙවත් හැපී කියන නම තියෙන දෙවැනියා ගැනත් කියන්නම වෙනවනේ. මෙන්න මේ සිනමාපට කිහිපයක හිටිය සුන්දර කෙල්ලව ඔබට මතකයිද කියලා බලන්නකෝ.
 
2012 Cocktail, Lucknow Central (2017) Parmanu: The Story of Pokhran (2018).
 
මතක් වුණාද ඇය කවුද කියලා? කලබල වෙන්න එපා අමතක වුණත් මම ඔබට ඇය කවුද කියලා කියන්නම්. ඇය ඉපදුණේ 1985 නොවැම්බර් 02 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ මුම්බයි නගරයේදී 2009 අවුරුද්දේ ඉඳලා හින්දි සිනමාවට ඇය සම්බන්ද වෙලා ඉන්නේ නිළියක් වගේම නිරූපිකාවක් විදියටයි. අඩි 5 අඟල් 10ක් උස මේ සුන්දර කෙල්ල ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක්ද වෙනවා. ඔව් හැපී ෆිර් භාග් ජායේගී හින්දී සිනමාපටයේ හර්පීත් කෞර් හෙවත් හැපී 02 චරිතයට පණ පොවන්නේ ඩයනා පෙන්ටි. ඊගාවට කියන්න හදන්නේ දමන් සින් බග්ගා කියන පොලිස් නිලධාරියා ගැනයි. ඒ චරිතයට පණ දෙන්නේ ඔබ අපි දන්නා හින්දි සිනමා නළුවෙක්. මෙන්න මේ සිනමාපටවල ඔහු විවිධ චරිතයන්ට පණ දුන්නා.
 
 
Mere Yaar Ki Shaadi Hai , Dil Hai Tumhaara (2002), Munnabhai M.B.B.S. (2003), Hum Tum (2004),  Lage Raho Munnabhai ( 2006), A Wednesday! (2008), My Name Is Khan (2010), Tanu Weds Manu (2011), Special 26 (2013), Bang Bang (2014), Tanu Weds Manu Returns (2015) and Happy Bhaag Jayegi (2016).
 
1970 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්ත‍්‍ර ප‍්‍රදෙශ්වල ලක්නව්වල ඉපදුණු ඔහු පටියාවල පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් වැඩි දුර අධ්‍යාපනය ලබලා තියෙන කෙනෙක්. 1996 ඉඳන් හින්දි සිනමාවට සම්බන්ධ වෙලා ඉන්න ඔහු නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් ද වෙනවා. ප‍්‍රියන්කා පූරිත් එක්ක විවාහ වෙලා එක් දරුවෙක් ද සිටින ඔහු නමින් ජිමී සෙයිගල්. ජිමී සෙයිගල් තමයි හැපී ෆිර් භාග් ජායේගි හින්දි සිනමාපටයේ දමන් සිං බග්ගාගේ චරිතයට පණ පොවන්නේ. මේ කිව්ව කට්ටියට අමතරව ගුඩ්ඩුගේ චරිතයට අලි ෆසල්, ඛුෂ්වන්ත් සිං ගිල්ගේ චරිතයට ජැස්සී ගිල්, උස්මාන් අෆ‍්‍රිඩිගේ චරිතයට පියුෂ් මිශ‍්‍රා වගේම අපර්ශක්තී ඛුරානා, ජේසන් තාම්, බිජෝවු තාන්ග්ජාම් කියන කට්ටියත් විවිධ චරිතයන්ට හැපී ෆිර් භාග් ජායේගී සිනමාපටයේ පණ පොවනවා. හැපි භාග් ජායෙගී හින්දී සිනමාපටයේ එන සුන්දර ගීතවල පද මුදස්ස අසීස් සහ කාමර් ජලබදී විසින් රචනා කරලා තියෙන අතර ඒ සුන්දර පද සප්ත ස්වරයේ නාදවලින් සුන්දර කරලා තියෙන්නේ සොහේල් සෙන් ඒ පදවලට ජීවය දෙන්න තමන්ගේ සුන්දර හඬ දීලා තියෙන්නේ සොහේල් සෙන්, ශදාබ් ෆරිදී, නේහා භාසීන්, ශිවන්ගී භායනා, ඩැලර් මේහ්න්දී, හර්ෂදීප් කෞර්, සුවර්නා තිවාරී, ජැසී ගිල්, සෝනක්ෂී සිංහා, පියුෂ් මිශ‍්‍රා, උදිත් නාරායන්, කියන කට්ටිය. මේ ගීතයේ පළමු ගීතය වන මේරා නාම් චින් චින් චූ ගීතය 1958 හවුරාහ් සිනමාපටයේ ගීතා දත් විසින් ගායනා කරන ලද අතර එය ඕ. පී. නය්යර් විසින් සංගීතවත් කොට තිබුණා. අන්න ඒ ගීතය මේ සිනමාපටය සඳහා සොහේල් සෙන් විසින් අලුතෙන් සංගීතවත් කොට සෝනක්ෂී සිංහා සහ ජැසී ගිල් සහ මුදස්සර් අසීස් විසින් ගායනා කරලා තියෙන බව තමයි ඉන්දියාවේ මාධ්‍යවල සඳහන් වෙලා තිබු‍ණේ. හාස්‍ය රසය පිරි සුන්දර සිනමාපටයක තතු විත්ති ඔබට කියමින් අදට සමුගන්නේ ලබන සතියේ තවත් සුන්දර නවතම සිනමාපටයක රහ ඔබත් එක්ක බෙදා ගන්න එන බලාපොරොත්තුව ඇතුවයි.
 
► Translation — Chandana Waravitage