2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

මේ වගේ ලෙඩක්

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

අද සිග්නල් ලයිට් තියෙන හැමතැනකම, සිග්නල් වැඩ කළත් නැතත් අනිවාර්යයෙන්ම වෘත්තීය යාචකයන්ගේ නම් අඩුවක් නැති බව කවුරැත් දන්නවනෙ.

ඒ ලෙඩේ බෝවුණේ බස්රථවල. අවුරුදු ගාණකට කලින් බස්රථවල බිස්නස් කරන හිඟාකන අයට විරුද්ධව නීතිමය කටයුතු සිදුකරනවායැයි කීවත් ඒ කියපු අයවත් අද හොයාගන්නට නැහැ. දවසින් දවස මේ කරදරයට මුහුණදීමට බස් මගීන්ට සිදුවෙලා. ඇතැම් සුපර් මාකට් තුළත් මෙවැනි අය සැරිසරනවා අද දැක තිබෙනවා.

මේ කියන්න යන්නෙ බත්තරමුල්ල පැත්තෙ ජනාකීර්ණ ප්‍රදේශයක පහුගිය දවසක ටෙලිනාට්‍යයක් රූපගත කරන අතරතුර සිදුවූ අපූරු සිදුවීමක්.
තමා ගහකින් වැටී කකුලක් ඇඹරීගොස් ඇති බවත් එනිසා තම දරැවන්ට කන්න බොන්න දෙයක් හොයාගන්නට හිඟමන් යදින බවත් මැදිවයසේ මනුස්සයෙක් කියනවලු. ඒ වුණාට ඔහුගේ මුහුණ දැක්කම බොන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න අපහසු වුණේ නැහැ.

මේ වගේ ලෙඩක් දුකක් ඔබලා වැනි පින්වතුන්ට.... කියන අතරතුර ඔහුට කෙනෙක් රුපියල් 20 ක් දුන්නා. ඒ එක්කම ඔහු වැඩි වැඩියෙන් ලැබේවා කිව්වලු.

 

ගජරාමෙට ජෝති විකුණං කෑම

අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන් අප අතරින් වෙන්වී අවුරුදු 31 ක් ගතවී තිබුණත්, අදටත් මේ රටේ ජනප්‍රියම ගායකයා ඔහුයි.

ඒ නිසාමද කොහෙද, ඔහුගේ පහනින් එළිය බලන්නට එළිකන අය බොහෝමයි. ඔහුගේ අනුස්මරණ දිනය ළං ළංවෙනවාත් සමඟම ඔහු විකුණාගෙන කෑමට ලකලැහැස්ති වන පිරිස් බොහෝමයි.

ඒ අතරතුර ජෝතිගේ ජනප්‍රිය ගීත වෙනත් අය ගායනා කරමින් ඒවා විද්‍යුත් නාලිකා හරහා විකාශය කර ගැනීම වගේ පහත් පෙළේ වැඩත් සිදුවන බවට ක්ෂේත්‍රයේ අය වගේම සංගීත රසකාමීන්ද අවදියෙන් සිටින බව අමතක නොකළ යුතුයි.

 

මළගෙවල්වලට එන්න කාඩ් බෙදනවද?

මෑතකදී අභාවප්‍රාප්ත වූ එක්තරා කලා ශිල්පියෙකුගේ පුතෙකුට තම පියාගේ පරණ යාළුවෙක් ඊයෙ පෙරේදා දවසක හදිසියේ හමුවුණාලු.
ආ කොහොමද අංකල්..? ඒ තරුණ පුතා පියාගේ මිතුරාගෙන් ඇහුවලු.
හා මාව අඳුරනවද? ඔහු නෝක්කාඩුවට වගේ ඇහුවලු.

ඇයි අංකල් එහෙම අහන්නෙ? අංකල්ව දන්නෙ අපි චූටිකාලෙ ඉඳලනෙ.
එහෙනම් ඒක වෙන්නැති තාත්තගෙ මළගෙදරවත් කිව්වෙ නැත්තෙ, ඔහු තරමක අමනාපයෙන් කිව්වලු.
ඒ වෙලාවෙ අපට එහෙම කිය කිය ඉන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නැහැ. අනික පත්තර ටීවීවල එහෙම ගියානෙ..

ඒ වුණාට එක වචනයක් ඕගොල්ලො කතා කරලා මට කිව්වෙ නැහැනෙ.
අනේ යන්න අංකල් යන්න. මළගෙවල්වලට එන්න අංකල් කාඩ් බෙදනකම් ඉන්නවද?
අංකල් විදුලි වේගයෙන් එතනින් මාරුවුණාලු.

 

සීයගෙ ෆෝන් කාඩ් තියෙනවද?

ඔන්න පහුගිය දවසක අපේ කලා ශිල්පියෙක් කඩේකට ගියාලු බඩු වගයක් ගන්න. ඒ එක්කම කඩේට ආවලු තරමක කොලුගැටයෙක්. බැලූබැල්මට සිංහල නොවන පෙනුමකුත් ඔහුගෙන් දිස්වුණාලු.
මුදලාලි, මුදලාලි සීයගෙ ෆෝන් කාඩ් තියෙනවද? කොල්ලා ඇහුවලු.

මුදලාලිට තේරුණාලු මේ ඉල්ලන්නෙ රුපියල් සීයේ ෆෝන් රීලෝඩ් කාඩ් එකක් කියලා. ඒත් ඒ බව කොල්ලට අඟවන්නෙ නැතුව ඇහුවලු,
සීයගෙ ෆෝන් කාඩ්නම් නැහැ, ආච්චිගෙනම් තියෙනවා දෙන්නද? කියලා.

 

බස්වල යන වල් සින්දු

කන් බීරිකරවන, බඩේ බොකු එළියට එන සයිස් එකේ සින්දු පෞද්ගලික බස්රථවල වාදනය කරනවා කියලා සමාජයේ විවිධ පැතිකඩවලින් කාලයක් තිස්සෙ චෝදනා එල්ලවෙමින් තියෙනවා.
ඒත් ඔක්කාරෙට එන බස් සින්දුවලින් අඩුවක් වෙලා නැති බව බස්වල යන අයනම් දන්නවා.

ඔන්න දැන් අලුත්ම චෝදනාව තමයි බස්වල යන වල් සින්දු. ඒවා බස්වල සවිකරලා තියෙන ටීවීවල යන වල් වීඩියෝලු. වල් කිව්වම ගොඩාක් අය හිතන්නෙ අර වල් කියලනෙ. මේ කියන්නෙ ඒ වර්ගයේ වල් වීඩියෝ නෙවෙයි, සිංහල සින්දුවලට වල් සතුන්ගේ විෂුවල් දාලා හදලා තියෙන වීඩියෝවලට. 

 

► Text - Mithra