2018 මාර්තු 17 වන සෙනසුරාදා

ලෝකෙම කතා කරන පාට ද‍ෙකේ නිවුන්නු

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ලෝකය ලස්සන වන්නේ හැඩගැන්වෙන්නේ විවිධත්වය තුළිනි. ගස්වැල්, සතුන් අතර ඇති මේ විවිධත්වය මිනිසුන් අතර ද තිබේ. මිනිසුන්ගේ හමේ පාටත් මිනිසුන් අතර විවිධත්වය තුළින් ලස්සන මතුකරන තවත් එක් තැනකි. මේ කතාව කළුසුදු නිවුන් සොයුරියන් දෙදෙනෙකු ගැනය. 

මාර්ෂියා සහ මිලී ගිබ්ස් එංගලන්තයේ බර්මිංහැම් නුවර ජීවත් වන වයස අවුරුදු 10ක දැරියන් දෙදෙනෙකි. 2008 දී ඔවුන් උපත ලබන්නේ ඇමෙන්ඩා සහ මයිකල් නම් මව්පියන්ට දාවය. ඔවුන්ගේ මව එංගලන්ත ජාතික සුදු කාන්තාවක් වන අතර පියා ජැමෙයිකානු සම්භවයක් ඇති එංගලන්ත ජාතිකයෙකි. 

මාර්ෂියා සහ මිලී ඉපදුණු අවස්ථාවේදීම ඔවුන්ගේ හමේ වර්ණයේ යම් වෙනසක් දකින්නට තිබුණි. මාර්ෂියාට ඇගේ මවගේ හමේ පාටම ලැබී තිබුණු අතර නිල්පැහැ දෙනෙතින් යුතු වූවාය. ඇගේ හිසකේ ද බ්ලොන්ඩ්යැයි හඳුන්වන සුදුපැහැ හිසකේය. නමුත් මිලීගේ හමේ පැහැයේ වූයේ තරමක අඳුරු බවකි. එහෙත් ඔවුන් දෙදෙනාගේ හමේ වර්ණයේ වෙනස හොඳින්ම පෙනෙන්නට පටන්ගත්තේ ඉපදී මාස 10 ක් පමණ ගතවන තැනදීය. 

මිලීගේ පාට එන්න එන්නම අඳුරු වුණා. ඇත්තටම මාර්ෂියා මම වගේත්, මිලී මයිකල් වගේත් වෙයි කියලා අපිට හිතුණෙම නැහැ. ඒත් ඒ දෙන්නගේ පාට හොඳටම වෙනස් වුණා. ඒත් අපි ඒ ගැන කිසිම දෙයක් හිතන්න ගියේ නැහැ. ඒ දෙන්නාගේ හමේ පාටේ තියෙන විවිධත්වයට අපි කැමතියි” ඇමෙන්ඩා කියන්නීය. 

වෛද්‍යවරු පවසන ආකාරයට මව්පියන් දෙදෙනාගේ ජානගත වර්ණ වෙනස්කම් ඇත්නම් නිවුන් දරුවන් අතර ද මෙවැනි වර්ණ විවිධත්වයක් ඇතිවීම ස්වභාවික තත්ත්වයකි. එහෙත් එය නිතරම සිදුවන්නක් ද නොවේ. එය සිදුවන්නේ මවගේ ඩිම්බාණු දෙකක් හා පියාගේ ශුක්‍රාණු දෙකක් එකතු වී නිවුන් දරුවන් පිළිසිඳගන්නා තත්ත්වයකදීය.

“මිනිස්සු අපිව දැක්කම හිතන්නේ අපි දෙන්නා හොඳම යාළුවෝ කියලයි. අපි නිවුන්නු කිව්වම එයාලා ඇස් ලොකු කරලා පුදුමෙන් බලනවා. මොකද එක්කෙනෙක් සුදුයි අනිත් කෙනා කළුයිනෙ” මාර්ෂියා කියන්නේ සිනාසෙමිනි. 
ඔවුන් දෙදෙනා මිනිසුන්ගේ එවැනි ප්‍රතිචාරවලට දැන් හොඳටම හුරුවී අවසන්ය. එහෙත් කිසිවෙක් කිසිදා ඔවුන් දෙදෙනා අපහසුවට පත්වන කිසිවක් කියා නැතැයි ද මිලී පවසන්නීය. 

එක ක‍ෙල්ලක් සුදුම සුදුයි අනිත්  ක‍ෙල්ල කළුම කළුයි

“අපි පුංචියි තමයි. ඒත් වර්ගවාදය කියන එක ගැන අපි අහලා තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ හමේ පාටක් නිසා එයාව කොන්කරන තත්ත්වයක්නෙ. ඒත් මගේ හමේ පාට මාර්ෂියාට වඩා වෙනස් වුණා කියලා මට කිසිම වෙනසක් දැනිලා නෑ.” 
නිවුන් සොයුරියන් වුවද හමේ පාට මෙන්ම ඔවුන්ගේ රුචිකත්වයේ ද නොයෙකුත් වෙනස්කම් තිබේ. මාර්ෂියා ඒ ගැන  කියන්නීය. 

“මිලී සාමාන්‍යයෙන් ගෑනු ළමයි ආස දේවල්වලට කැමතියි. උදාහරණෙකට එයාගේ කැමතිම පාට රෝස පාට. හැබැයි මම ටිකක් වෙනස්. මම රෝස පාටට ආස නෑ. මගේ ඇතුළේ ඉන්නේ දඟ කෙල්ලක්”

ඩේලිමේල් ඇසුරෙනි

► Text — Rajitha