2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

අැඳට නැගලා මට තුරුලු වෙලා ඔයා කවුද කියලා අැහුවා

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 472

හැමෝම නදීකා ගුණසේකර හඳුනාගෙන හිටියට සන්ධ්‍යා දර්ශනී ගුණසේකරව බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ..?
ඔව්නේ.. මගේ මුල්ම නම තමයි සන්ධ්‍යා දර්ශනී ගුණසේකර කියලා කියන්නේ. ඉතින්... මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ ඒ නම වෙනුවට මට නදීකා ගුණසේකර කියන නම තිබ්බා. එදා ඉඳන් මාව කවුරුත් දන්නේ නදීකා ගුණසේකර කියන නමින්.

ඔබේ ගම් පළාත නුවර.. එහෙම නේද?
ඔව්.... මගේ උපන් ගම නුවර. මගේ තාත්තා සේවය කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ. තාත්තාගේ නම ස්ටැන්ලි ගුණසේකර. මගේ අම්මා තලතා ගුණසේකර. ඇය ගුරුවරියක් වගේම රංගන ශිල්පිනියක්. අම්මා සිනමාවට සම්බන්ධ වෙලා හිටපු නිසා අම්මා හිටියේ කොළඹ. හැබැයි තාත්තා එක්ක අපි ගොඩක් වෙලාවට එයා යන පළාත්වලට යනවා. ඒ නිසා මම පාසැල් කිහිපයකම අධ්‍යාපනය හැදෑරුවා.

මොනවද ඒ පාසල්?
ගම්පොළ උඩුහේන්පුර සේනාධිලංකාර විද්‍යාලයෙන්, බණ්ඩාරවල විශාකා බාලිකාව, නුවර පුෂ්පදාන බාලිකාව සහ නුවර මහමායා බාලිකාවෙත් ඉගෙන ගත්තා. පාසැල් අධ්‍යාපනයේ අවසන් කාලය මම ගත කළේ නුවර මහමායා බාලිකාවේ. මම කලා අංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයට අතුළත් වුණා.

හැබැයි ඒ වෙද්දී ඔබ සිනමාවට සම්බන්ධ වෙලා අවසානයි නේද?
ඔව්... මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු අවුරුද්දෙයි, කළින් අවුරුද්දෙයි තමයි සිනමාවට සම්බන්ධ වුණේ. ඒ කියන්නේ උසස් පෙළ විභාගය කිට්ටු වෙද්දී තමයි මට සිනමාවට ආරාධනා ලැබුණේ.

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
මගේ අම්මා චිත්‍රපටවලට සම්බන්ධයිනේ. ඉතින් සංඝදාස කියන මහත්තයා ඔය කාලේදී කාංචනා කියන චිත්‍රපටය අධක්ෂණය කරමින් ඉඳලා තියෙනවා. දවසක් අහම්බෙන් අම්මව සංඝේ අයියට මුණ ගැහිලා ඇන්ටිගේ අර පොඩි දරුවා දැන් ලොකු ඇති නේද? මම අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. ඒකට නවක නිළියක් ඕනේ කියලා කියල තිබුණා. ඒකේ ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරණතුංග මහත්මයා. ඒ වෙද්දී මම හිටියේ ගම්පොල. ඉතින්... අම්මා මාව එක්කරගෙන ඇවිත් සංඝේ අයියට පෙන්නුවා. අවසානයේදී කාංචනා කියන චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතය රඟපෑවා.

කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ?
විශ්වවිද්‍යාල ජීවිතේ හොඳයි. කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙම මම චිත්‍රපට ගොඩක් කළා. බැද්දේගම, යහළු යෙහෙළි, රිදී නිම්නය වගේ චිත්‍රපට මම කළේ කැම්පස් එකේ පළවෙනිම අවුරුද්දේ. හැබැයි කොහොමහරි විභාගයත් හොඳට කරගත්තා. මට ලැබුණු මුල්ම අධ්‍යක්ෂවරු නිසා මගේ මුල්ම අඩිතාලම හරිම ශක්තිමත් වුණා. ඒ අතින් මම හරි වාසනාවන්ත වුණා. සිනමා නිර්මාණයක් නිසා කැම්පස් එකේ නවකවදය දෙන කාල සීමාව මට පහු වුණා. මගේ තාත්තාගේ තිබිච්ච ලොකුම බලාපොරොත්තුවක් තමයි විශ්ව විද්‍යාලයට යාම. මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම නුවර බෝඩිම් වෙලා හිටියා. මගේ තාත්තාගේ ගම ගම්පොල. ඉතින් පේරාදෙණිය කැම්පස් එක තියෙන උඩ පාරෙන් තමයි අපි ගෙදර යන්නේ. මට මතකයි තාත්තා නිතරම කියූ දෙයක් තමයි කවදාහරි මේකට ඔයත් එන්න ඕනේ කියලා. ඒ හීනය තමයි මම පහුකාලයකදී හැබෑ කළේ.

මට මතකයි බැද්දේගම රූගත කිරීම් කළේ හම්බන්තොට ප්‍රදේශයේ කාශ්ටක අව්වේ. ෂූටිං ඉවරවෙලා ගෙදර ඇවිත් බලද්දී උඩ හම ගැලවෙන තරමට සම පිච්චිලා. බැද්දේගම ෂූටිං ඉවරවෙලා කොළඹ ඇවිත් රෑ වෙනකම් පාඩම් කරලා තමයි විභාගවලට ලිව්වේ. මට මතකයි සමහරදාට හම්බන්තොට පවා පොත් අරගෙන ගිහින් රූ වෙලත් මම පාඩම් කළා.

ඒ කියන්නේ නදීකාට විශ්වවිද්‍යාලයේදී නවක වදයට මුහුණ දෙන්න ලැබුණේ නැද්ද?
කැම්පස් එකට ඇඳපු ඇඳුම් ගැන මතක් වෙද්දිත් තාමත් හිනා යනවා. ඒ දවස්වල මම කැම්පස් එකට ඇන්දේ උඩ ඉඳන් පහළට වැටිච්චි ඇඳුම්. ඒ තරැණ කාලේ ගොඩක් අය ඇන්දේ පොඩි පටි තියෙන කොට ඇඳුම්. ඒත්... මම කැම්පස් එකට කවදාවත් කොටට ඇඳලා නෑ. ඒ කාලේ මාව හරියට ප්‍රසිද්ධ වුණේ අත් දිගටම වැහෙන්න ඇඳුම් අඳින ළමයා කියලයි. කැම්පස් එකේ සමහරු මම ඉන්න තැනට අපේ පන්තියට ඇවිත් කෝ... ඔයාලගේ අර නිළිය තාම ආවේ නැද්ද? කියලා අහලා තිබුණට කවුරුත් ඒ වෙනකොට මේ ඒ නිළිය කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි පහුකාලයේදී කැම්පස් එකේ බොහෝ පිරිමි ළමයි මට උදව් කළා. මට එයාලාගේ පොත් දුන්නා. නෝට්ස් ලියලා දුන්නා. මම කැම්පස් එකේ කැන්ටිමේ කෑවා. ප්ලේන්ටිය බිව්වා. කැම්පස් එකේ කවදාවත් මම නිළියක් විදිහට රඟපෑවේ නැහැ.

අදටත් මිනිස්සුන්ට දං චූටි තාමත් මතකයි. කොහොමද ඒ කාලේ?
ඒක වෙනමම අතීතයක්. දං චූටි තිරගත වුණාට පස්සේ සමාජයේ කොයි මට්ටමේ අයත් දං චූටිට ආදරේ කරන්න පටන් ගත්තා. බැද්දේගම චිත්‍රපටය තිරගත වුණාට පස්සේ බොහෝ දෙනෙක් මම ගැන කතා වුණා. බැද්දේගම පාදක වන වටපිටාව ඉතාම දුෂ්කර වටපිටාවක්. ඉතින් ඒ නිර්මාණයේදී කරපු කැපකිරීම් අවසානයේදී හොඳ නිර්මාණයක් ගොඩ නැගුවා.

මෑත කාලයේදී ඔබ නිර්මාණවලට දායක වුණේ නැහැ. ඇයි?
කැමතියි කියලා හිතෙන නිර්මාණයක් මෑත කාලයේදී ලැබුණේ නෑ. ආරාධනා ලැබුණු අවස්ථා තිබුණා. නමුත් කාලවේලාව සහ ඒ නිර්මාණයට දායක වීමෙන් හිතට දැනෙන තෘප්තිය අඩු නිසා මම ඒවා බාරගත්තේ නෑ.
රංගනය කියන දේ එදා රුපියල් ශතවල රුඳුණේ නැහැ. චිත්‍රපටයක් කරද්දී එදා අපි පුදුමාකාර කැපකිරීමක් කළේ. සමහරදාට ගෙදර ඇවිත් වෙලාවකට හිතෙනවා අයියෝ... අර කොටස ඊට වඩා තව හොඳට කරන්න පුළුවන්නේ කියලා. ඒ තරමටම එදා අපේ හිතට ඒ චරිත වැදිලයි තිබුණේ. කතා පිටපත අතට ලැබෙන්නේ රූගත කිරීම් කරන තැනට ගියාට පස්සෙයි. එදා අපි ඒ චරිතයේ ජීවත් වුණා. එදා අපි කරපු චරිතය ගැන අපිටම මානසික සතුටක් දැනුණා. නමුත් අද බොහෝ නිර්මාණ එහෙම නැහැ. ඒ නිසා ලැබිච්චි බොහෝ අවස්ථා මෑත කාලයේදී මම බාරගත්තේ නැහැ. මට මතකයි රිදී නිම්නයට පස්සේ තමයි මට බැද්දේගම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ලබාගන්න බැරි ලොකු සම්මාන රැසක් ලැබුණා වගෙයි මට ඒ අවස්ථා දෙක දැනුණේ.

ඔහොම ජීවිතේ ගෙවෙද්දී ජීවිතේට ලැබෙන ලොකුම වටිනාම සම්මාන දෙකත් ලැබෙනවානේ. ඒ සැමියා සහ දියණිය...?
ජීවිතේ ගෙවද්දී ඒ අතර කාලයේදී බොහෝ හැලහැප්පීම් සිදුවුණා. මගේ විවාහය ටිකක් ප්‍රමාද වුණේ සිනමාව නිසානම් නෙවේ. කවමදාකවත් සිනමාව මම මගේ ජීවිතේ කරගත්තෙනම් නැහැ. නමුත් කාලයා මාව ඒ විදිහට විවාහය පරක්කු වෙන තැනට ඇදගෙන ආවා. මගේ යාළුවන්ගේ මාර්ගයෙන් සුරේන්ව මුණගැහුණා. ඇත්තටම අපි දෙන්නා ෆෝන් එකෙන් අවුරුද්දක් තිස්සේ කතා කරලා තමයි මුණගැහුණේ. දැන් අපි විවාහවෙලා අවුරුදු දහ අටක් වෙනවා.
දැන් නදීකටයි සුරේන්ටයි දුවෙක් ඉන්නවා.

ඔව්... දැන් අපිට අවුරුදු දහතුනක දුවෙක් ඉන්නවා. එයා කොළඹ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබනවා. මගේ මව්පියන්ට බොහෝම ‍ළෙංගතුයි. අම්මා බැන්නත් මම අඬනවා. අපි ලොකු වුණාට පස්සෙත්, බැන්දට පස්සෙත් අම්මගෙන් බැණුම් අහලා තියෙනවා. ඉතින් මගේ වැඩේ අඬන එක විතරයි. ඒ මව්පිය බැඳීම මම තෙනුකිගෙනුත් බලාපොරොත්තු වුණා. තෙනූ තමයි මගේ හොඳම යාළුවා. එයා මාත් එක්ක හරිම යාළුයි. මගේ ඉසසර හිටපු යාළුවන්ගෙන් හුඟ දෙනෙකුගේ දරුවෝ අද විවාහකයි. හැබැයි මම තාම ඉන්නේ පොඩි දරුවෙක් එක්කයි. අපි දෙන්නට බෙදාගන්න බොහෝ දේවල් තියෙනවා. විශ්වාස කරන්න.. මේ ගෙදරකට ගේන බඩුවල ලස්සන හරි, නොගැලපෙන දේවල් ගැන හරි හැම දෙයක්ම තෙනූ කියනවා. ඒ වගේම එයා හරි කීකරු දරුවෙක්. එයා හම්බුණාට පස්සේ මම film එකකටවත් කිසි දෙයකට ගියේ නැහැ. එයා එක්කමයි හිටියේ. එයා පුංචි කාලේ කවදාවත් පිටි කිරි බීලා නෑ. මව්කිරි විතරයි බිව්වේ. ඒ නිසා එයා මගෙන් කවදාවත් ඈත් වුණේ නැහැ.

තෙනුකි පුංචි කාලේ දැනගෙන හිටියද නදීකා රංගන ශිල්පිනියක් කියලා?
එයා පුංචිම කාලේ දවසක් ඉස්කෝලේ ගිය අලුත ගෙදර ආපු ගමන් මගේ අතින් ඇදගෙන කාමරයට ගියා. මට ඇඳ උඩින් වාඩිවෙන්න කියලා එයා ඇඳට නැගලා මට තුරුලු වෙලා ඔයා කවුද? කියලා ඇහුවා. ඒක මට පුදුමයක් වුණා. මම ඇයි පුතේ කියලා අහද්දී එයා මට තුරලු වෙලා නෑ.. අම්මි අද ටීචර්ලා මාව වඩාගෙන ගිහින් අනිත් ටීචර්ලාට මේ නදීකගේ දූ කියලා පෙන්නුවා... ඇයි එහෙම.. කියලා ඇහුවා. එදා තමයි මම දුවට මම කවුද කියලා කියලා දුන්නේ. ඊට පස්සේ එයා දැනගත්තා.
මොනවා වුණත් අද මගේ ජීවිතේ හරි සැහැල්ලුයි. සුරේන් එක්ක තෙනුකි එක්ක ගත කරන මේ ජීවිතේ අද හරි සැහැල්ලුයි. ආපස්සට බලලා කරපු නිර්මාණ ගැන හිතලා ලබන සතුට මේ අද අලුතින් බිහිවෙන බොහෝ නිර්මාණවලින් ලැබෙන්නේ නැහැ කියලයි පේන්නේ. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් බාර අරගන්නවා මිස අද මේ ගෙවන ජීවිතයට මම හරි ආදරෙයි. 

 

► Text - Dishani /  Pic – Sumudu