2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ලියුව‍ෙත් අපි - ගැයුව‍ෙත් අපි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 385

ආනන්ද සමරකෝන්ගේ බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ, සුනිල් සාන්තගේ ඕලු පිපීලා විල ලෙලදෙනවා, සිසිර සේනාරත්නගේ ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, ක්ලැරන්ස් විජේවර්ධනගේ සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා, සෝමතිලක ජයමහගේ සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට රෝහණ බැද්දගේගේ මගෙ රත්තරන් හෙලේනා, එම්.එස්. ප්‍රනාන්දුගේ කැකිරි පැලෙන ටිකිරි සිනාවයි, හෙන්රි කල්දේරාගේ තත් තත් තත් තාර පැටියා, නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ වෙන්වන්නේ නෑ රූකාන්ත ගුණතිලකගේ බඹර පහස ලබන මලක් දෝ, අපේ මතකයේ රැඳුණු මෙවන් ජනප්‍රිය ගීත, බැලූබැල්මට එකිනෙකට වෙනස් වුවද, මේ ගීත සියල්ලේම පාහේ එක් පොදු සාධකයක් තිබෙන බව කීවොත් ඇතැම්විට ඔබ පුදුම වන්නටත් පුළුවන.

තමාම ලියූ ගීත ගායනා කරමින් සුවහසක් රසික හදවත් ස්පර්ශ කරන්නට සමත් වූ ජනප්‍රිය ගායකයන් පිළිබඳවයි අද හදසර අවධානය යොමුවන්නෙ.

ආනන්ද සමරකෝන්

අපේ ජාතික ගීය ප්‍රබන්ධ කළ ප්‍රකට සංගීතඥ හා ගායන ශිල්පී ආනන්ද සමරකෝන් අතිදක්ෂ ගීත නිබන්ධකයකු ද විය. ඒ වාගේම ඔහු ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියකු ලෙසද කැපීපෙනුණු චරිතයකි.
ඔහු පදරචනය කරමින් ගායනා කළ ගීත අතර බැස සීතල ගඟුලේ, ගීතය වාගේම පොඩි මල් එතනෝ, ඇසේ මධුර ජීවනයේ අපේ මතකයේ තවමත් රැඳී පවතී.

සුනිල් සාන්ත 

දේශීය සංගීත අඹරේ අමරණීය තරුවක් වූ සුනිල් සාන්තයන් ගීත ප්‍රබන්ධකයකු ලෙසද නමක් දිනාසිටි විශිෂ්ට කලා ශිල්පියෙකි.
ඕලු පිපීලා විල ලෙලදෙනවා, බෝවිටියා දම්, කෝකිලයන්ගේ කෝකිල නාදේ, මිහිකත නලවාලා, හෝ ගා රැල්ල බිඳේ වැනි ජනප්‍රිය ගීත සුනිල් සාන්තයන් ගායනා කළේ ඔහුගේම පදරචනාවන්ටය. තනු නිර්මාණයේදීද ඔහු විශිෂ්ටයකු විය.

සිසිර සේනාරත්න

ගායනය, වාදනය වාගේම පදරචනයටත් දස්කම් දැක්වූ සිසිර සේනාරත්නයන් ගායනා කළ ඔහු ප්‍රබන්ධ කළ ගීත අතර ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, සඳ වැසුණට ඉර ගිලුනට කමක් නෑ වැනි ගීත ප්‍රචලිතය.

සෝමතිලක ජයමහ

තනු නිර්මාණය, ගායනය හා පදරචනයට එක සේ දස්කම් දක්වන සෝමතිලක ජයමහ කලා ශිල්පියා, ඔහු විසින්ම පදරචනය කොට ගායනා කළ ජනප්‍රිය ගීත අතර සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට හා නවදැලි හේනක පෑව වැනි ගීත අප අතර තමත් ජනප්‍රියයි.

ක්ලැරන්ස් විජේවර්ධන

දේශීය සංගීතයට නැවුම් වෙනසක් ඇති කළ ක්ලැරන්ස් විජේවර්ධන ද ගායනය, වාදනය වාගේම පදරචනයේ ද ප්‍රතිභාවන් ප්‍රකට කළ සුවිශේෂී කලාකරැවෙකි.
කිරිමුහුද කළඹාලා ගෙනා, රන්දුනුකේ මල සේ, මලට බඹරෙකු සේ, සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ, සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ ගමෙන් ලියුමක් ඇවිල්ලා වැනි ජනප්‍රිය ගීත සිය ගණනාවක් ඔහු විසින්ම රචනා කොට ගායනා කළේය. ඒ වගේම වෙනත් ගායක ගායිකාවන් රැසකටත් ක්ලැරන්ස් ගී පද ලියා, තනු නිර්මාණය කර දී තිබේ.

රෝහණ බැද්දගේ

දෑසමන් මලක් වගේ ප්‍රියංකරයි, මගෙ රත්තරන් හෙලේනා, දන්නා තරම් පද කස්තිරම්, මගේ සුදු බෑණන්ඩිට වැනි ගීත රචනා කොට ඒවා ගායනා කළ රෝහණ බැද්දගේ ද ප්‍රකට කලා ශිල්පියෙකි.

ඇන්ටන් ජෝන්ස්

සත්‍ය සිද්ධීන් අළලා ගැයූ ගීත සිය ගණනාවක් හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ ඇන්ටන් ජෝන්ස් කලා ශිල්පියා ද තමා වෙනුවෙන් ගීත කීපයක් රචනා කොට ගායනා කර තිබේ.
ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය වූයේ කන්දේ හැපුණා මහ වනන්තරේ ගීතයයි.

ෂර්ලි වෛජයන්ත

ෂර්ලි වෛජයන්ත ද තුන්ඉරියව් දස්කම් දක්වන සංගීතවේදියෙකි.
ඔහු විසින්ම පදරචනය කොට, තනු නිර්මාණය කර ගායනා කළ ජනප්‍රිය ගීත අතර මට එපා ඔබේ හසරුල් බිඳක්, ආරාධනාවන් ආයාචනාවන්, ඈත සිතිජයේ, මල් මල් හිනා ඔබේ මුවේ වැනි ගීත සුවිශේෂීය.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය, මල් මල් විලේ රොන් සොයා වැනි ජනප්‍රිය ගීත චන්ද්‍රසේන හෙට්ටිආරච්චි විසින්ම රචනා කොට ගායනා කළ නිර්මාණයන්ය.

රූකාන්ත ගුණතිලක

බඹර පහස ලබන මලක් දෝ, දවසක් දා හැන්ඳෑවක, සඳ බැස ගිය තැන නෑ, සඳේ ඔබ ඇයිද මේ යාමේ වැනි ගීත රචනා කරමින් ගායනා කළ රූකාන්ත ගුණතිලක, සෙසු ගායක ගායිකාවන් රැසකට ගී පද ලියා තනු නිර්මාණය කර දී තිබේ.

මෙල්රෝයි ධර්මරත්න

ධර්මරත්න සහෝදරයෝ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වන මෙල්රෝයි ධර්මරත්න ගී පද රචනයේ දී පමණක් නොව තනු නිර්මාණයේදීද දස්කම් දක්වා ඇති ශිල්පියෙකි.
ඔහු රචනා කළ වැස්ස වහිනවා, වාසිටි කොල්ලෝ. කඳුකරේ..., රාජ කුමාරී වැනි ගීත ධර්මරත්න සහෝදරයෝ අදටත් ගායනා කරනුයේ ඒවාට තිබෙන රසික ඉල්ලීම නිසාය.

හෙන්රි කල්දේරා

දෑස නොපෙනුණද හෙන්රි කල්දේරා දක්ෂ සංගීතඥයකු, ගායකයකු හා පදරචකයකු විය. ඔහු විසින්ම පදරචනා කොට ගායනා කරන ලද තත් තත් තත් තාර පැටියා ඊට හොඳම නිදසුනකි.

එම්.එස්. ප්‍රනාන්දු

බයිලා චක්‍රවර්ති විරුදාවලිය ලත් එම්.එස්. ප්‍රනාන්දු ගායනා කළ බොහෝ ජනප්‍රිය ගීත ඔහු විසින්ම රචනා කොට තිබීම සුවිශේෂී කාරණයකි.
ලස්සන අඹ ගසක් සොයාලා, කැකිරි පැලෙන ටිකිරි සිනාවයි, අවුරුදු පනස් තුනයි වයස, මැණිකෙ මම ආයි ගෙදර එනවා, මම ටැක්සිකාරයා, ඔබට තිබෙන ආදරේ මම, ලස්සන රෝස මලක් මට ලස්සන නෑ වැනි ගීත එම්.එස්. විසින්ම රචනා කොට ගැයූ නිර්මාණය. 

නාමල් උඩුගම

සමුගන්නෙ නෑ, ලොවම නිදන රාත්‍රියේ, ඔබ මුලාවී, සමුගෙන යාදෝ වැනි නාමල් උඩුගමගේ ජනප්‍රියතම ගීත ඔහු විසින්ම රචනා කළ ඒවාය.

කුමාරසිරි පතිරණ

කුමාරසිරි පතිරණගේ ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින්ම රචනා කර ඇත.
පුංචි පුතු මගේ, සිතින් පතා ඉන්නම්, ඉන්නම් ඉතින් මා සදාකල් වැනි ගීත කුමාරසිරි රචනා කළේය.

ලක්ෂ්මන් හිල්මි

මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්, පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ, බොල් පිනි වැටෙනා වැනි ගීත ලක්ෂ්මන් හිල්මි විසින්ම රචනා කොට ගැයූ නිර්මාණයන්ය.
ඔරු පදින්න පහළ ගඟට එන්න යන්න මාලී ගීය රචනා කර ගැයුවේ නිහාල් නෙල්සන්ය. නටුවෙන් ගිලිහුණු පින්න මලක් රචනා කොට ගැයුවේ ප්‍රියාල් අමරසිංහය. රොෂාන් ප්‍රනාන්දු ද තව එක සැරයක් ඇතුළු ගිත කීපයක් පදරචනා කොට ගායනා කළේය.
එහෙත් තමාගේම පදරචනයකට ගීතයක් ගැයූ ගායිකාවක් පිළිබඳ සඳහනක් නොමැත.  

► Text – Ramesh Uvais/ Pic – Internet