2018 ජනවාරි 27 වන සෙනසුරාදා

බිහිසුණු මතකය නිමාකළ සෙනෙහස

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

ඒ අමෙරිකාව ඇෆ්ඝනිස්ථානයට එරෙහි යුද්ධය ආරම්භ කළ සමයයි. අමෙරිකානු සොල්දාදුවෝ ඇෆ්ඝනිස්ථානය පීරමින් අල්කයිඩා ත්‍රස්තවාදීන් විනාශ කරමින් සිටියහ. නාඹර තරුණ වියේ පසුවූ ජෙසී ද ඇෆ්ඝනිස්ථානයට ගියේ මැරීන් භටයෙකු ලෙසට ය. එහෙත් ඇෆ්ඝනිස්ථානයේ යුද අත්දැකීම මෙතරම් බිහිසුණු එකක් වනු ඇතැයි ඔහු හීනෙනුදු නොසිතුවේය. 

2009 වසරේදී බෝම්බයකට හසුවීමෙන් ජෙසීගේ කකුල් දෙකේම දණහිසට මඳක් ඉහළින් සිට පහළ කොටස සම්පූර්ණයෙන් අහිමි විය. ජීවිත කාලය පුරා කකුල් නැතිව ජීවත්වීම යනු මරණයටත් වඩා බියකරු සිහිනයකි. ඔහු ඒ වනවිට විවාහ වී පවා සිටියේ නැත. 

අනතුරින් පසු නැවතත් එක්සත් ජනපදයට පැමිණි ඔහු පිහිනුම් ක්‍රීඩාවට යොමුවුණේය. සැන් දියාගෝහි පිහිනුම් ක්‍රීඩාවට හුරුවෙමින් සිටි ඔහුට කෙලී මුණගැසෙන්නේ ඈ ද පිහිනුම් ක්‍රීඩාව වෙනුවෙන් එහි පැමිණි නිසා ය. කෙටි දිනකින්ම ජෙසී සහ කෙලී හොඳ මිතුරෝ වූහ. ක්‍රීඩාකරන කාලය තුළ එකිනෙකා සමඟ බොහෝ සේ කුළුපග වූ ඔවුහු අවසානයේ විවාහ වීමට තීරණය කළහ. නමුත් හොඳම සිදුවීම එය නොවේ. 

විවාහයෙන් වසරක් පිරෙන මොහොතේ ජෙසී සහ කෙලී පවුලේ සියලුදෙනා සමඟ නිවාඩුවක් ගතකිරීමට ගියහ. ඒ අවස්ථාවට වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ද එකතු කරගෙන තිබුණේ පවුලේ ඡායාරූප කිහිපයක් ගැනීමේ අරමුණෙනි. 
එහිදී සිදුවූයේ අපූරැ දෙයකි. ඡායාරූප ශිල්පියාගේ ඇරියුමෙන් පවුලේ සාමාජිකයෝ සියලුදෙනා අසල වූ විලකට බැස්සාහ. නමුත් ජෙසීගේ කෘත්‍රීම කකුල්වලට මඩේ ඉන්නට නොහැක. එනිසා කෙලී ජෙසීව වඩාගෙන ඡායාරූපයට පෙනී සිටියාය. අනතුරුව ඡායාරූප ශිල්පියාගේ පෙරැත්ත පරිදි කෙලී ජෙසීව ඔසවාගෙන තනි ඡායාරූපයකට පෙනී සිටි අතර පසුව එය ෆේස්බුක් හරහා ලොව පුරා පැතිර යන්නට පටන් ගත්තේය. 

“මේ ඡායාරූපයෙන් අපි දෙදෙනාගේ බැඳීම හොඳින් පේනවා. මෙතැන ඇය මාව ශාරීරිකව ඔසවාගෙන සිටිනවා පමණයි. නමුත් ගොඩක් වෙලාවට ඇය මාව මානසිකවත් ඔසවා සිටිනවා. ඒ නිසා කෙලී කියන්නේ මොනතරම් උණුසුම් හදවතක් තියෙන කාන්තාවක්ද කියන දේ මේ පින්තූරයෙන් ඔප්පු වෙනවා. ජෙසී පවසන්නේ නෙතට නැඟෙන කඳුළු පිසදමමිනි.”

“බෝම්බයට හසුවුණු වෙලාවෙදි මම හිතුවෙ මගේ ජීවිතේ සිදුවුණු නරකම දේ ඒක කියලයි. හැබැයි මම දැන් හිතන්නෙ වෙනස් විදිහට. ඒක තමයි මගේ ජීවිතේ සිදුවුණු හොඳම දේ. මොකද එහෙම නොවුණ නම් මට ආපහු අමෙරිකාවට ඇවිත් පිහිනුම් ක්‍රීඩාවට සහභාගී වෙලා එතැනදි කෙලීව මුණගැහෙන්න විදිහක් නැහැ. ඉතින් මේ ලැබුණු දෛවය මම සතුටින් භාරගන්නවා.”

► Text — Rajitha