2017 ජනවාරි 07 වන සෙනසුරාදා

දෙවියන් වහන්සේ ප්‍රශ්න කරන්න එපා දුල්යානා

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

මම සිස්ටර් සේරාත් එක්ක ඇවිදගෙන ගියේ පල්ලියේ උද්‍යානයට. කටු අනින නත්තල් සීතල ඒ වෙද්දිත් ඉතිරිවෙලා තිබුණා. දුරුත්ත පිළිගන්න වගේ උද්‍යානයේ පිපිලා තිබුණු දම්පාට කානේෂන් මල්, කහ පාට රෝස මල් දවස් දෙක තුනක් ජීවත් වෙන්න ආවත් ඉන්න ලස්සන. ජීවිතය දිගු වුණත්, කෙටි වුණත් හැම දවසකම සතුට තවරන්න පුළුවන්නම්... අපි ඉඳගත්ත කොළපාට බංකුවටවෙලා මම බලාගෙන හිටියෙ ඒ මල් දිහා...

කහපාට රෝස මල් එක්ක මගෙ තියෙන බැඳීමනම් කවදාවත් නැතිවෙන එකක් නෑ....
සිස්ටර් සේරාත් මම වගේ... මමත් හරිම ආසයි කහපාට රෝස මල්වලට 

දුල්යානා....
ඇයි සිස්ටර්? 
ඇයි ඔයා මටත් නොකියා අර වගේ ගමනක් ගියේ...
දන්නෙ නෑ සිස්ටර්... ජීවිතේ අපි ගන්න සමහර තීරණවලට මම හිතන්නෙ පැහැදිලි හේතු නෑ... 
ඔයා හදන්නෙ මගේ ප්‍රශ්නයෙන් බේරිලා යන්න... දුල්යානා මම අහන හැම ප්‍රශ්නයකටම මට කෙලින් පැහැදිලි උත්තරයක් දෙන්න... 


මම කවදාවත් ජීවිතේ ප්‍රශ්නවලින් පැනලා ගිය කෙනෙක් නෙවෙයි... ඔයා ඒක හොඳටම දන්නවා සිස්ටර් 
ඒත් මට හිතෙනවා ඔයා දැන් මගෙන් මොනවා හරි හංගන්න හදනවා කියලා 

නෑ සිස්ටර් මට හංගන්න කිසි දෙයක් නෑ... ඒත් මාව තේරැම් ගන්න සිස්ටර්ට පුළුවන් වෙයිද?

දුල්යානා ඔයා අමතක කරන්න එපා ඔයා මේ පල්ලියේ ඉන්නෙ මම නිසා කියලා 
මම කිසි දෙයක් අමතක කරන්නෙ නෑ සිස්ටර්... අමතක කරන්නත් බෑ... සිස්ටර් convent ඉන්න කාලෙ මගෙ යාළුවා රෝස්... ඒ කාලෙ සිස්ටර් නෑ මේ පල්ලියේ... එයා එක කාලයක් මගේ හොඳම යාළුවා... ඒත් A/L කරන කාලෙ මොන මොනවා හරි හේතුවක් නිසා එයා මගෙන් ටිකක් ඈත්වෙලා හිටියා. ඒත් එයා එක කාලෙක මගෙ හොඳම යාළුවා නේද කියන හිතුවිල්ල කවදාවත් මගේ හිතින් ඈතට ගියේ නෑ. අන්තිමේදී මට අහන්න ලැබුණේ රෝස්ගේ මරණය. එයා අපි කාටවත්ම නොකියා ජීවිතේ අත්හැරලා දාලා තිබුණා.. ඒ දවස් වෙද්දී අපිට A/L විභාගේ... මම දන්නෙ නෑ රෝස් නැතිවෙලා කියලා. ඒත් රෝස්ගේ පුටුව හිස්වෙලා තියෙද්දී අපි හිතුවා ඇයි එයා විභාගෙට එන්නෙ නැත්තෙ කියලා. අපි පස්සෙ දැනගත්තා එයා ජීවිතේ දාලා ගිහින් කියලා. සාරියකින් එයා බෙල්ලෙ වැල දාගෙන තිබුණා. 

එයා මැරෙද්දී එයාගෙ බඩේ මාස තුනක කළලයක් තිබුණා. ඒත් ඒ වෙනකම් එයාගේ ජීවිතේ මම නොදන්න පරිච්ඡේද හුඟක් තියෙනවා. ඒ නිසා මම අදටත් දන්නෙ නෑ සිස්ටර් එයා හරිද වැරුදිද කියන්න. මම දැනගත්ත එකම දේ එයා එයාට අයිති කරගන්න බැරි ෙකනෙකුට ආදරය කරපු බව විතරයි. ඒත් එයා වෙනුවෙන් මොකක්දෝ වේදනාවක් එයා මැරුණ දවසෙ ඉඳන් මගේ හිතේ ගැවසෙන්න පටන් ගත්තා. මට නිතරම එයා මතක් වෙන්න පටන් ගත්තා. දවසක් convent එකේදී මම එයාව දැක්කා සිස්ටර්. ඉස්කෝලෙ ඇඳුමෙන්. ඒත් එයාගෙ මුණේ මහ අමුතු කහපාටක් තිබුණා. එදා ඉඳන් මට දැනෙන්න පටන් ගත්තා එයා මගේ පස්සෙන්ම එනවා කියලා. ඒ හිතපු විදිහටම එයා මගේ පස්සෙන් ආවා. පල්ලියේ ඉද්දිත් එයා හුඟක් වතාවක් මගේ ජනේලය ළඟ ඉන්නවා මම දැක්කා. එයාට ඕනැ මාත් එක්ක කතා කරන්න. මට මොනවා හරි කියන්න කියලා මට තේරැණා.

දුල්යානා... ඒත් ඇයි ඔයා එයාව හොයාගෙන සොහොන් බිමට ගියේ... ඔයා දන්නවා දෙවියන් වහන්සේ විශ්වාස කරන මිනිස්සු මරණින් පස්සෙ යන්නෙ දෙවියන් වහන්සේ ළඟට කියලා. 
ඒත් මම ඒක විශ්වාස කරන්නෙ නෑ... සැනසීමක් නැතුව, මැරෙන්න ඕනැකම නිසා නෙවෙයි වෙන කරන්න දෙයක් නැතිකමට මරණය හොයාගෙන යන මිනිස්සු කොහොමද මරණින් පස්සෙ දෙවියන් ළඟට යන්නෙ... හිතේ ගින්දර තියාගෙන දෙවියන් වහන්සේ ළඟ සැනසීමෙන් ඉන්නෙ.

දෙවියන් වහන්සේ ප්‍රශ්න කරන්න එපා දුල්යානා 
මම කාවවත් ප්‍රශ්න කරන්නෙ නෑ සිස්ටර්... ඒත් මම කතා කරන්නෙ ඇත්ත