2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

දැහැන

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

හැම ජයග්‍රහණයක් පිටුපසම හැඟීම් දෙකක් ඉතුරු වී තියෙනවා. ඒ තමා දුක සහ සතුට. හැම ජයග්‍රහණයකින්ම ඉනික්බිති ඒ හැඟීම් දෙක දෙපාර්ශ්වයක අයිතිය බවට පත්වෙනවා. ඒ තමා ජයග්‍රහණයේ ස්වභාවය. හැබැයි ජයග්‍රහණයේ හැඩතල වෙනස්. අපි තනි තනි පුද්ගලයන් විදිහට දුක් කඳුළු දෝමනස්ස අතරින් ජීවන ප්‍රාර්ථනා සොයා ගොස් ලබන ජයග්‍රහණ වගේම අපි කණ්ඩායම් විදිහට අරමුණු ඉලක්ක උදෙසා සටන් කර ලබාගන්න ජයග්‍රහණත් තියෙනවා. දිනුම සතුටක්. පරාජය දුකක්. ඒක මිනිස් කුලකයටම පොදු සාධකයක්.

අපි ඊයේ පෙරේදා දවසක වින්දා දිනුමක සතුට. අපි කීවේ... අපි කීවේ Wijeya Newspapers අපි... මිනිස්සු පොදු හැඟීමෙන් ආදරය කරන දේවල් කිහිපයක් තියෙනවා. ඒ ආදරය, ආදරයේ තරම සහ ස්වභාවය එක් එක් පුද්ගලයාගේ චින්තනය ඔවුන් දකින විඳින රස නීරස අත්දැකීම් අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ හැමදේම මධ්‍යයේ මිනිස්සු පොදු හැඟීමෙන් ආදරය කරන දේවල් මොනවද? තමන්ගේ රට, ජාතිය, ආගම, පාසල, විශ්ව විද්‍යාලය වගේම රස්සාව කරන තැන ඒ විදිහට මිනිස්සු පොදු හැඟීමෙන් ආදරය කරන දේවල්. රටක් විදිහට ජාතියක් පාසලක් විශ්ව විද්‍යාලයක් වගේම ආයතනයක් විදිහට අපි ලබන ජයග්‍රහණයක් අපිට අපේ දිනුමක් විදිහට දැනෙන්නේ ඒකයි.

ඩයලොග් මාධ්‍ය මිත්‍රත්ව ක්‍රිකට් කුසලානය Wijeya Newspapers අපේ වෙද්දී අපිත් ඒ වෙනුවෙන් චියර්ස් කළේ වාව් අපේ company එක කියන හැඟීමෙන්. මහන්සිය කැපවීම දක්ෂතාවය දායකත්වය ටික දෙනෙකුගේ. ඒත් ජයග්‍රහණය අපි හැමෝගෙම. කණ්ඩායම් ජයග්‍රහණයක් පිටුපස්සේ තියෙන ලොකුම ශක්තිය තමා නායකත්වය. නායකයෙක් කියන්නේ යකෙක් නෙවෙයි. ඒකාධිපතියෙක් නෙවෙයි. බලය පෙන්නන්න හදන ලොක්කෙකුත් නෙවෙයි. නියම නායකයෙක් කියන්නේ මෙහෙයවන්නෙක්. නම්‍යශීලී සහෘදයෙක්. හොඳ ඇහුම්කන් දෙන්නෙක්. නියම තීරකයෙක්. කොන්දක් තියෙන තීරණ ගන්න බය නැති එකෙක්. ජයග්‍රහණයේදී උද්දච්ච නොවී සරල ලෙස හිනාවෙන එකෙක්. පරාජයේදී නොහඬමින් ඊළඟ වතාවේ දිනන්න හිතන එකෙක්. හොඳ නායකයෙක් හොඳ අනුගාමිකයන් සහ තිරය පිටුපස ශක්තිමත් දෑත් තමයි ඕනෑම කණ්ඩායම්  ජයග්‍රහණයකට පසුබිම හදන්නේ. නොබිඳෙන අත්තිවාරම් දමන්නේ. වර්තමාන ධන චින්තනය විතරක් නෙවෙයි පුරාණ ජාතක පොතත් ඒ වගට සාක්ෂියි.

සතුට හමුවෙන්නේ ජීවිතේ පාර දිගේ ඇවිදගෙන යද්දී මිසක් ගමනේ කෙළවරකදී නෙවෙයි. සතුට කියන්නේ විඳගන්න වගේම බෙදා ගන්නත් ඕන දෙයක්. බෙදා ගන්නත් හැකි දෙයක්. ජයග්‍රහණයක සතුට විඳගන්න බෙදාගන්න එය හුදෙක් තමන්ගේම ජයග්‍රහණයක් වියයුතු නෑ. මගේ වගේම අපේ ජයග්‍රහණත් අපිට එක සිතින් සම සිතින් විඳගන්න පුළුවන්. ඒ මිත්‍රත්වය ඒ සහෝදරත්වය ඒ අපේකම හරි සුන්දරයි. අපේකම හදවතින්ම තේරැම් ගත්තම මචං උඹලට ජයවේවා අපේ සුබ පැතුම් කියලා උණුසුම් හැඟීමෙන් අත අල්ලගෙන පිටට තට්ටුවක් දාලා චියර්ස් කරන්න පුළුවන්. ඒ බැඳීම ඒ සුබ පැතුම සතුටක් මිහිරක් වගේම ආස්වාදයේ උපරිමයක්.
ඩයලොග් මාධ්‍ය මිත්‍රත්ව ක්‍රිකට් කුසලානය අෙප් වෙච්ච දවසේත් අපි වින්දේ ඒ සතුට ඒ මිහිර සහ අාස්වාදයේ උපරිමයයි.

I Saara