2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

දැහැන

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

ඔයා ආසද ඩාර්ක් චොක්ලට් එක්ක කෝපි බොන්න... මගේ ප්‍රියතම එක පානයක්... අපි මේ ළඟදී කතා කළා අපි ආසම චොක්ලට් ගැන. එක්කෙනෙක් කීවා එයා කන්න කැමති රට චොක්ලට් විතරයි... එයාගේ ආසම චොක්ලට් කැඩ්බරි සහ වයිට් චොක්ලට් කියලා... 

තවත් එක්කෙනෙක් කීවා එයා අහුවෙන චොක්ලට් එකක් කනවා ඒත් ලංකාවේ චොක්ලට්වල කිරි රස මදියි කියලා... චොක්ලට් කන්න කොච්චර ආසද කියනවනම් අපි වෙලාවකට බත් වෙනුවට මත් වෙනකම් බඩ පිරෙනකම් චොක්ලට් කනවා... අතේ සල්ලි තියනවනම්... කන්න අඳින්න ලෝබ නැතුව වියදම් කරන කෙනෙක් නම් තමන් ආසා හැමදේම කනවා බොනවා ජීවිතය විඳිනවා... ඒත් ඇති තරම් නෙවෙයි පරම්පරා ගණනකට සෑහෙන්න සල්ලි හම්බ කරත් තමන් ආසා දෙයක් කන්න කැමති නැති, හරියට ඇඳුමක් අඳින්න වියදම් කරන්නේ නැති, තමන්ගේ ගෙදරට එන මිනිහෙකුට ඇල් වතුර ටිකක් තරම්වත් දෙන්නේ නැති, අඩුම තරමේ ප්‍රිය ඉපදෙන විදිහට හිනා නොවෙන කතා නොකරන කවදාවත් නොමැරෙන න්‍යායෙන් ජීවත්වෙන මිනිස්සු, මනුෂ්‍ය ලෝකෙට ඇවිත් මළ පෙරේත න්‍යායෙන් ජීවත්වෙන මිනිස්සුත් ඕනතරම් ඉන්නවා. සමහරවිට එහෙම මිනිස්සු ඔයාටත් ඕනෑතරම් හමුවෙලා ඇති... වටපිටවෙදී, පවුල් ඇතුළේදී, යාළුවො විදිහට නැත්නම් රාජකාරි වැඩවලදී මේ කී නොකී කොයි විදිහකින් හරි හමුවෙලා ඇති.

දනට පිනට තියා අඩුම තරමේ තමන් ඉන්න නිවෙසට නැත්නම් තමාගේ ව්‍යාපාරික ස්ථානයට එනකෙනාට තේ කහට එකක් නොදෙන, කන, බොන දෙයක් අර ආපු අයට හොරෙන් කන බොන මිනිස්සු ඉන්න රටක අපි ආගන්තුක සත්කාරය ගැන මහ ඉහළින් කට මැත දොඩවනවා. ගෙදරට ආපු මිනිස්සුන්ට කන්න දෙන්න වෙයි කියලා අපි නම් කාලා ඉන්නේ කියලා ඇල්වතුරෙන් ගේම් ගහන මිනිස්සු ඔයාට හමුවෙලා තියෙනවද? කළුකඩ මුදලාලි න්‍යායෙන් ජීවත්වෙන මිනිස්සුන්ගේ හැටි අන්න එහෙමයි.

අරපිරිමැස්ම - ඉතුරු කිරීම කියන කාරණා ආර්ථික කළමනාකරණයේදී හරිම වැදගත්. ඒ වගේම ජීවත්වීමේදී සුහද බව, බෙදා හදාගැනීම සහ මනුස්සකමත් හරි වැදගත්. දුප්පත්කම නිසා නොදීමත්, අසීමාන්තික ලෝභකම නිසා, අපි සදාකල් ජීවත්වෙන්න ආව මිනිස්සු න්‍යායෙන් සිතීමත් නිසා කෙනෙක්ට වතුර පොදක්වත් නොදී සිටීමත් අතරේ ලොකු වෙනසක් තියෙනවා. මම හිතන්නේ කන්න බොන්න අඳින්න නැතුව පව් ගෙවන්නේ සංසාරේ පෙර භාවයන්හීදී අන්න ඒ මල පෙරේත න්‍යායෙන් ජීවත් වෙච්ච මිනිස්සු.

ජීවිතය තියෙන්නේ විඳින්න. විඳගන්න. ආදරෙන් මනුෂ්‍යත්වයෙන් ලෝකය දිහා බලන්න. අඩුම තරමේ මනුස්සයෙකුට අව්‍යාජ හිනාවකින් වචනයකින් සංග්‍රහ කිරීමවත් පුරුද්දක් කරගන්න. ආවොතින් යා යුතු බව දැනගෙන ජීවත් වෙන්න. අපේ චොක්ලට් කතාව නැවතුණේ අන්න ඒ තරම් දුරක ගිහින්.

I Saara