දේදුණු ආකාසේ පායා ආවේ ඒ පුංචි රෝස කුසුම ගැන මතකයත් එක්ක... රැලි ගැහුණු කෙහෙ රැලි එහෙ මෙහෙ විසිරෙද්දී දුවගෙන එන පුංචි කැකුල දේදුණු ආකාසේ බැලුවනම් ඔයාට කොහොමත් අමතක වෙන්න විදිහක්නම් නෑ... දේදුණු ආකාසේ පුංචි සමනළිය අපේ හිත් හුඟක්ම පැහැර ගත්තේ මට හිතෙන විදිහට බන්ධනයෙන්... ඔයාට මතකද බන්ධනයේ සුමනා... පුංචි කෙල්ල... අර බිත්තියේ හිටපු හූනෙකුට කොට්ටයෙන් ගහලා මරලා කටේ දාගෙන හපපු පුංචි සුමනව... ආදරේට හදපු හා පැටියව මරාගෙන කාලා කට දෙපැත්තෙන් ලේ වැක්කෙරෙන මුව අයාගෙන ඇස් කරකවා බැලූ මහසෝන් ආවේශය ගත් පුංචි සුමනව ඔයාට මතකද? ඒ පුංචි නිළිය අපේ cover page photo එකට පෙනී ඉඳලා එයාගෙ අම්මත් එක්කම ආවා අපේ Office එකට. ආදරයෙන් හාදුවක් දීලා මම ඇයව පිළිගත්තේ හදසරට විතරක් නෙවෙයි... දරුවන්ට ආදරේ කරන මගේ හදවතට... ඇය සහෙළි සදිත්මා සතරසිංහ... සදිත්මා එක්ක සෙල්ෆි ගහන්න අපේ කට්ටියටත් ඕනවුණා.. ඒ හැම ඉල්ලීමකටම ලස්සන හිනාවෙන් මිත්‍රශීලී ප්‍රතිචාරයක් දැක්වූ සදිත්මාගෙන් අපි මේ ප්‍රශ්න ඇහුවේ ඇයට ආදරය කරන ඔයා වෙනුවෙන්....
අම්මි ඔයාට මොකක් කියලද කතා කරන්නේ?
සහෙළි කියලා.(එයාගෙ අම්මා එයාට සහෙළි කීවත් අපිනම් ඒ පුංචි නිළියට දිගටම කතා කළේ සදිත්මා කියලා. අපි වැඩියෙන් කැමති ඒ නමට හින්දා)
කියන්න දූ ඔයාගේ අම්මි කවුද? තාත්ති කවුද කියලා.
මගේ අම්මි ඉමානි කළුආරච්චි. තාත්තා වසන්ත සතරසිංහ. මගේ පුංචි නංගිගේ නම සිතුලි සදිත්මා.
නංගිත් ඔයා වගේමද?
නෑ... අම්මි කියනවා මම පුංචි කාලෙ පොඩ්ඩක්වත් දඟ නෑලු... ඒත් මගේ නංගි හරිම දඟයි... ඒ වුණාට මම සෙල්ලම් කරන්නේ නංගිත් එක්ක තමා. රණ්ඩුත් වෙනවා.
නංගි හුඟක් පුංචිද?
එහෙම අහද්දී සදිත්මා බැලුවේ එයාගේ අම්මි දිහා.... ඉතින් උත්තරේ දුන්නෙ සදිත්මාගෙ අම්මි... සදිත්මාගෙ නංගිට වයස අවුරුදු හතරක්ලු.
සදිත්මා කොහෙද ඉස්කෝලේ යන්නේ?
කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයට.
එතකොට දැන් පුංචි දූ ඉගෙන ගන්නේ කී වැනි පන්තියේද?
හතර ශ්‍රේණියේ.
දැන් කියමුකෝ බලන්න පුංචි සදිත්මා නිළියක් කළේ කවුද? නිළියක් වුණේ කොහොමද කියලා....
ඒ සැරෙත් සදිත්මාගෙ ළා නිල් පාට ඇස් නතර වුණේ එයාගේ අම්මා ගාව... ඒ හින්දා ඒ ප්‍රශ්නයට උත්තරයත් සදිත්මාගෙ අම්මම දුන්නා.
ආනන්ද අබේනායක සර්ගේ තාරා නාට්‍යයේ සහෙළි රඟපෑවා. ඒ නාට්‍යයේ පල්ලියේ ලොකු සිස්ටර් ගේ චරිතයට රඟපෑවේ සුජාතා වික්‍රමසිංහ. එයාට උදයකාන්ත අයියා කියලා බන්ධනය චිත්‍රපටයට පුංචි ගෑනු ළමයෙක් හොයනවා කියලා. ඒ වෙලාවේ එතුමිය කියලා මම දන්නා එක ගෑනු ළමයයි ඉන්නේ, එයා තමා තාරා නාට්‍යයේ මාත් එක්ක රඟපාන්නෙත් කියලා.
අපි මොහොතක් සදිත්මාගේ අම්මට බාධා කළා....
අපි යමුද මුලටම?
ආ... හරි... සහෙළිගෙ මුල්ම නාට්‍ය සුජාතා. මගේ නංගි තමා ධනංජි තාරැකා. ධනංජිත් නිළියක්නේ. මගේ නංගිත් මුලින්ම රඟපෑවේ වෙළඳ දැන්වීම්වල. සහෙළිත් මුලින්ම රඟපෑවේ වෙළඳ දැන්වීම්වල. සුජාතා නාට්‍යටත් පොඩි ළමයෙක්ව හොයද්දී තරංග අයියටයි රවී අයියටයි දීපානි සිල්වා මහත්මිය තමා කියලා තියෙන්නේ ධනංජිගේ අක්කගේ බබෙක් ඉන්නවා පොඩ්ඩක් අරන් බලන්න කියලා. ඊට පස්සේ අපි සහෙළිව අරන් ගියා ස්ක්‍රීන් ටෙස්ට් එකට. අපි ගියේ සුසිල නිෂ්පාදන ආයතනයට. සන්ධ්‍යා මිස් එහෙමත් එදා එතන හිටියා. එයාලා කීවා සහෙළිට පොඩි ඩාන්ස් එකක් දාලා පෙන්නන්න කියලා. මෙයා ඒ වෙලාවේ කරන්න කියපු දේවල් ඔක්කොම කළා. එයාලට හරි සතුටුයි ඉතින්. සුජාතා නාට්‍යයට සම්බන්ධ ආධිත්‍ය කියන ඉන්දියන් කෙනත් සහෙළිට කැමති වුණා. ළමයි හුඟ දෙනෙක් අතරින් තමා ඒ නාට්‍යයට සහෙළි තේරැණෙත්. ආනන්ද අබේනායක සර් තාරා නාට්‍යට ළමයෙක් හොයද්දී ශලනි තාරුකා තමා සහෙළි ගැන ආනන්ද සර්ට කියලා තිබුණේ. ශලනි අපි හොඳින්ම අඳුරනවා. තාරා නාට්‍යය හරහා තමා සහෙළිට බන්ධනයේ රඟපාන්න ලැබුණේ.
කියන්නකෝ සදිත්මාට කොහොමද බන්ධනයේ සුමනා වෙන්න ලැබුණේ කියලා...
සුජාතා වික්‍රමසිංහ මහත්මිය කීවට පස්සේ අපි සහෙළිව උදය අයියා ළඟට එක්ක ගියා. උදය අයියා කීවා පොඩ්ඩක් ඔයා රඟපාලා පෙන්නන්නකො අසනීප වුණ බබෙක් වගේ රඟපාලා පෙන්නන්නකො කියලා. එයා රඟපාලා පෙන්නුවා. උදය අයියට රඟපෑම් ගැන සතුටු වුණත් එයා කීවා සහෙළි ඒ චරිතයට පොඩි වැඩියි, මට ඒ ප්‍රශ්නෙ විතරයි තියෙන්නේ. මම හොයන්නේ ඊට වඩා ලොකු ළමයෙක්. ඒ නිසා මම කෝල් එකක් දෙන්නම් කියලා කීවා. ඒත් උදය අයියගේ හිතට සහෙළිව අල්ලලා. ඒ නිසා පොඩි වැඩියි හිතුණත් සහෙළිට කතා කළා. මට නම් O.K. ඔයාලත් ස්ක්‍රිප්ට් එක බලලා O.Kද කියලා කියන්නකෝ කීවා.
බන්ධනය තිර පිටපත කියවද්දී දුවව සුමනා කරන්න බෑ බෑ කියලා හිතුණෙ නැද්ද ? අපි ඇහුවෙ සදිත්මාගෙ අම්මගෙන්.
ඒක සාමාන්‍ය ළමා චරිතයක් නෙමෙයිනේ. වෙනස්ම චරිතයක්නේ. ඇත්තටම ඒ වෙනස්කම නිසාම තමා දෙපාරක් නොහිතා කැමති වුණේ.
සදිත්මා අර හූනට කොට්ටෙන් ගහලා හපලා කද්දී හූනා ප්ලාස්ටික් වුණත් ඊයා කියලා හිතුණෙ නැද්ද?
නෑ ප්ලාස්ටික්නේ... උදයකාන්ත අංකල් කීව විදිහට කොට්ටෙන් ගැහුවා. කීව විදිහටම හැපුවා.
ඔයාට ඒ චිත්‍රපටය කරද්දී කොයිම තැනකදීවත් බය හිතුණේ නැද්ද?
නෑ... මම දන්නවනේ රඟපානවා කියලා. ඉතින් මම උදය කාන්ත අංකල් කියපු දේවල් කියන කියන විදිහටම කළා. පුංචි make up කරන ඒවත් මම දැකලා තියෙන නිසා මම ඒවත් ටිකක් දැනගෙනයි හිටියේ.
පුංචිගේ යාළු නිළි ඇන්ටිලා අංකල්ලා ඔයාගෙත් යාළුවොද?
පුංචිගේ යාළුවන්ට මම ඇන්ටි කියලා කතා කරද්දි එයාලා හිනාවෙවී කියනවා අනේ ඇන්ටි කියන්න එපා. අපිටත් පුංචිම කියන්නකෝ කියලා.
මාමලා නැන්දලගෙන් සදිත්මාට ටොෆී චොක්ලට් එහෙම හුඟක් හම්බවෙන්න ඇති නේද රඟපාන්න ගියාම?
හ්ම්... උදයකාන්ත අංකල්ගේ ඇන්ටි ශාන්ති ඇන්ටි මට හරි ආදරෙයි... එයා හුඟක් ටොෆී චොක්ලට් ගෙනත් දුන්නා.
එතකොට දේදුණු ආකාසේ කරද්දී හම්බුණ නැන්දලා මාමලා කොහොමද ?
ප්‍රියන්ත අංකල්, හේමාල් අංකල් චූලක්ෂි ඇන්ටි ටීනා ඇන්ටි ඔක්කොමලා හරි හොඳයි. මට රඟපාන්න උදවු කරනවා. මට ඔක්කොම අංකල්ලාගේ ඇන්ටිලගේ නම් මතක නෑ. ඔක්කොම මාත් එක්ක හරි යාළුයි. මතක් කරන්න ගියොත් පැයක් විතර යයි...
සදිත්මා ගෙදරදීත් චිත්‍රපට නාට්‍ය එහෙම බලනවද?
ඔව් හුඟක් බලන්නේ ඉංග්‍රීසි ඒවා. අම්මියි තාත්තයි බලන්න ගෙනත් දෙනවා.
එතකොට ඒවගේ රඟපාන නළු නිළියන්ගෙන් ඔයා වැඩියෙන්ම කැමති කාටද ?
මම තාම එහෙම එකක් හිතුවේ නෑනේ... මම වැඩියෙන්ම කැමති කාටද කියලා.
එතකොට සදිත්මා රඟපෑව ඒවගෙන් ඔයා කැමතිම කවුරු හැටියට රඟපාපු එකටද?
මම කැමතිම බන්ධනයේ සුමනට.
ඔයාට නටන්න සින්දු කියන්නත් පුළුවන්ද?
සින්දු කියන්න බෑ... නටන්න පුළුවන්.
සදිත්මා තාම පුංචිත් එක්ක එකට රඟපාලා නැද්ද ?
සුජාතා නාට්‍යයේ සින්දුවේ රඟපෑවේ පුංචිත් එක්ක. ආ ඒකෙ මගේ අම්මට හිටියෙත් පුංචි. වෙළඳ දැන්වීමකත් පුංචිත් එක්ක රඟපෑවා. මගේ ආච්චිලට සීයලට මම රඟපානවා දකිද්දී හරි සතුටුයි.
එතකොට ඉස්කෝලේදී...
ඉස්කෝලෙදීත් වේදිකා නාට්‍යවල රඟපෑවා.
ඉස්කෝලේ යාළුවෝ ඉස්කෝලේ අක්කලා සදිත්මට හුඟක් ආදරෙයිද?
සුජාතා එකේ රඟපාද්දී මාව බලන්න ඇවිත් මාව වට කරගන්නවා... මුළු පන්තියේ ඔක්කොම හතළිස් පස්දෙනාම මගේ යාළුවො. ඔයා රඟපානවා ලස්සනයි ආයේ රඟපෑවේ නැද්ද ළඟදී මේ වගේ එක එක දේවල් අහනවා.
සදිත්මා ඉගෙන ගන්න ආසද ?
ඔව් හුඟක් ආසයි... මගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම්. තුෂාරි ද සිල්වා මැඩම්. එතකොට මගේ පන්තියේ ටීචර් චින්තා පෙරේරා ටීචර්. ඒ හැමෝම හරිම හොඳයි. මට ඉස්කෝලේ යන්න යන්න බැරිවුණාම වැඩ ඔක්කොම කියලා දෙනවා.
රඟපාද්දී සදිත්මට අමතකම නොවෙන සිදුවීමක් තියෙනවද ?
එහෙම ඒවා හුඟක් තියෙනවා. දේදුණු ආකාසේ අර මම මගේ තාත්තා ගැන කියලා ස්ටේජ් එක උඩ අඬන එක කරද්දී මුලින් මට ඇත්තටම ඇඬුණා. ඒකෙදී මම රඟපානවා බලාගෙන හිටපු ඉස්සරහ පේළියේ හිටපු ඇන්ටිලා දෙන්නෙක් මම අඬපු හැටියට දුක හිතිලා ඇත්තටම අඬලා. අම්මි තමා කීවේ. බන්ධනය එකේ අර වමනේ දාන එක කරද්දීත් මට අප්පිරියා හිතුණා.
සදිත්මා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති ?
නිළියක් වෙන්න තමා කැමති. හැබැයි හොඳට ඉගෙනත් ගන්නවා.
ගෙදරදීත් රඟපානවද?
ආ...ආ...ආ...ආ.... ගෙදරදී මම... මම ගෙදරදී සාරි ඇඳන් අම්මගේ චරිතෙ රඟපානවා. තව යකාගේ චරිතෙ අශ්වයගේ චරිතෙ අක්කගේ චරිතෙ රැජනගේ චරිතෙ ඔක්කොම කරනවා. ඒ ඔක්කොම චරිත කරන මම අම්මගෙයි තාත්තගෙයි දුව. ඒ චරිතෙ වෙනස් වෙන්නෙ නෑ. (පුංචිකමට එහෙම කියද්දී මට සදිත්මාව වඩා ගන්න හිතුණා)
අපේ අම්මා කියනවා මම පුංචි කාලෙදීත් පුටු පේළියට තියලා ස්ටේජ් එක වගේ හදලා ඩාන්ස් කරනවලු එයාලට බලාගෙන ඉන්න කියලා.
මේ දවස්වල ඔයා රඟපාන්නේ නැද්ද ?
නෙත් එෆ්.එම්. එකේ සත්‍යා කියන නාට්‍යයේ සත්‍යා මම. (සත්‍යාට voice කරන්නේ සදිත්මා)
මේ ප්‍රශ්නය අපි ඇහුවෙ සදිත්මාගේ අම්මගෙන්.
සදිත්මාගේ කේන්දරේ මොනවද කියලා තියෙන්නේ සදිත්මා ගැන?
නිළියක් වෙනවා කියලා නම් නෑ.. කලාවට ළැදියි සරස්වතී යෝගයක් තියෙනවා කියලා තියෙනවා. චූටි දුවගේ කේන්දරෙත් එහෙම තියෙනවා. හැබැයි තාම එයාගෙ නම් එහෙම එකක් පේන්න නෑ... එයා නම් හරිම දඟමල්ලක්.
ඔයා සදිත්මාගේ අම්මා... දුවගේ දස්කම් දකිද්දී දැනෙන සතුට වචන වලට පෙරළන්න පුළුවන්ද? අපි ඇහුවේ සදිත්මාගේ අම්මගෙන්.
පුංචි දවස්වල ඉඳන්ම රඟපෑම එයාගේ ඇඟේ තිබුණා. උදයකාන්ත අයියා කීවා එයා සිනමාවට හොඳ හොයගැනීමක් කළා. ඒ තමා සහෙළි කියලා. වෙළඳ දැන්වීමකට එක්ක ගියත් එයා එක්ක වැඩ කරන ඩිරෙක්ටර්සලා කියන දෙයක් තමයි මෙයා කියන විදිහටම එක පාරින් කරනවා වරද්දන්නෙ නෑ. මෙයත් එක්ක වැඩ කරන්න හරි ලේසියි කියලා. කියන දේ ටක් ගාලා ඒ විදිහටම කරනවා .කියන දේ ඉක්මනින් තේරුම් ගන්නවා. මම සහෙළිගෙ අම්මා. එයාගේ දස්කම් දකිද්දී දැනෙන සතුට කොහොමද වචන වලින් කියන්නේ.
► Text -SANJU / Pic- SUMUDU