2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

මට තනියෙන් ඉන්න දෙන්න

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

රස්සාවක් නැතුව මම කොහොමද කන්නෙ බොන්නෙ ජීවත් වෙන්නෙ?
අපි රස්සාවක් හොයා ගමු.. මට පුංචි කාලයක් දෙන්න... මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම්... 
මට නවතින්න තැනකුත් ඕන ජානා...
දෙයියන්ගේ නාමෙට මම කියන දේ අහලා උඹ මාත් එක්ක මෙහෙ ඉන්න... ඇයි මේ පුංචි ලස්සන ගෙදර උඹට මොකක්ද තියෙන අඩුපාඩුව... 

මට ඔයාගෙ නිදහසට බාධාවක් වෙන්න බෑ... අනිත් එක මට තනියම ඉන්න ඕනැ 
ජීවිතෙන් වැඩි කාලයක් උඹ හිටියෙ තනියම... මදිද තනියෙන් හිටියා 
ඒත් මම ආසයි ජානා ඒ තනිකමට... 

ඇයි බං මේ ජීවිතේ මේ තරම් විඳවන්න දේවල් හොයන්නෙ? ඇයි ජීවිතේ සතුටින් ඉන්න දේවල් හොයන්නෙ නැත්තෙ? 
සතුට වෙනුවෙන් ජීවිතේට එකතු කරගත්ත හැමදෙයක්ම මට නැතිවුණා. මම ආසයි ජානා දැන් තනියම ජීවත් වෙන්න...
මම දන්නෑ උඹට දෙන්න ඕනැ උත්තරය මොකක්ද කියලා? 
හැමතිස්සෙම ප්‍රශ්න ගැන කතා කරන්න එපා. ඒක තේරුමක් නැති දෙයක්. අපි බලමු... කාලය දෙන විසඳුම් හරි සැනසිලිදායකයි... කාලයට යන්න දෙන්න. අපි වර්තමානයේදී විඳවන හුඟක් දේවල් කාලය අතීතය බවට පත්කරමින් අපිව ඉස්සරහට අරගෙන යනවා. දුල්යානා ජීවිතේ තියෙන්නෙ කියවන්න මිසක් බදාගෙන අඬන්නවත් හිතුණ හිතුණ වෙලාවට අත්හරින්නවත් නෙවෙයි... 
මට ටිකක් තනියෙන් ඉන්න දෙන්න ජානා.... 
පිස්සු කියවන්න එපා... අපි අද හවස යමු මුහුදෙ නාන්න. හවස බැදපු කජු, චීස් එක්ක වයින් බොමු... 

මට බෑ...
ඇයි බැරි? 
ඔය ඔක්කොම කරන්න පුළුවන් හිතේ සතුටක් තියෙනවනම් විතරයි. මගේ හිතේ අහලකවත් එහෙම සතුටක් නෑ ජානා... 
සතුට හොයාගන්න හැටි තමා මම උඹට කියන්නේ... ජීවිතේට ලොකුම සතුටක් දෙන වටිනාම දේ තමා ආදරය. ඒත් ආදරය මේ ලෝකේ හැම කෙනාටම එක විදිහට ලැබෙන්නෙ නෑ. ආදරය නිසා සතුටක් නැත්නම් වෙන විදිහකින් හරි අපි ජීවිතේට සතුට එකතු කරගන්න ඕනැ දුල්යානා... 
ඒත් මට හැමදේකදීම වැරදුණා...

එහෙම තමා දුල්යානා ජීවිතේ. හරියනවා වරදිනවා... 
ඒත්?
මොනවද ඒත්?
ඇයි කවුරුත් මාව තේරුම් නොගන්නෙ 
මෙතන තියෙන්නෙ කවුරුත් උඹව තේරුම් නොගන්න ප්‍රශ්නයක් නෙවෙයි. උඹේ හිතුවක්කාරකමේ කෙළවරක් නැති ප්‍රශ්නයක්... 
මම යනවා ජානා මට මේ කාගෙවත් උදවු අවශ්‍ය නෑ... 
කොහෙද යන්නෙ? 
මාත් මට යන්න තැනක් හොයා ගන්නවා... 

උඹ කොහෙද යන්නෙ? 
මේ ලෝකෙ කොහේ හරි තැනකට 
නිකම් පිස්සියක් වගේ හැසිරෙන්න එපා. අපිට මහපාරක් අයිනෙ ජීවත් වෙන්න බෑනෙ? 
මම මටම කියලා තැනක් හොයාගෙන යනවා...
නිකම් විකාර කියවන්න එපා. උඹ ජීවත් වෙන්න හදන්නෙ ෆැන්ටසි ලෝකෙක.
මම කාමරේකට ගිහින් දොර වහගත්තෙ අරමුණකින් තොරව. මනස වේගයෙන් ගැහෙමින් හිත අවුලෙන් අවුලට පත්වෙමින් තිබුණා. සියල්ල මායාවක් සේ ජීවිතය ගිලගනිමින් පවතින බව මට හැඟී ගියා මුහුදට පැන ඇති තරම් මුහුදු වතුරේ පිහිනා යාමේ වුවමනවාක් මට දැනෙමින් තිබුණා. එහෙත් හිතේ ඇති මහා බර සියල්ල පසෙක තබා ජීවිතය වින්දනීය ඉසව්වක් කෙරේ රැගෙන යාමේ වූ නොතිත් වුවමනාව මා දැඩි ලෙස පසුබැසීමකට ලක්කර තිබුණා. අතීත වේදනාවන් විසින් මගේ ජීවිතය සිය පාලනයට නතු කරගන්නට යත්න දරන හැම මොහොතකම මා උත්සාහ කළේ ඒ අතීත පාලනයෙන් ජීවිතය මුදාගන්නට එහෙත් වරෙක මා හුදෙක් පරාජිතයෙක් පමණක්ම වුණා.
මොකද කියන්නෙ හාද? බෑද?
මට බෑ ජානා... 
එහෙනම් ගෙදර ඉඳන් අපි වයින් බොමුද?
මට ඕනැ නිදාගන්න. ඒ තරම් මට මහන්සියි 
එහෙනම් උඹ නිදාගනින්. මම යනවා...

තනියම?
මගේ ජීවිතේ හැමදාම ගෙවුණේ තනියෙන් තමා දුල්යාන. මට තනිකම කියලා දෙයක් දැනෙන්නෙ නෑ... 
උඹ ඔය කතා කරන්නෙ මාත් එක්ක තරහෙන්... 
උඹට ඇත්තටම පිස්සු. එසේ කියාගෙන ඇය දොර ඇරගෙන ගිහින් ඇගේ පුංචි කාරයට ගොඩවුණා. මට මොහොතකට දැනුණේ මහා තනිකමක්. මම ඈ පිටුපසම ගොස් මිඳුලට බැස්සෙ ඒ තනිවූ හැඟීමත් එක්ක.