අහම්බෙන් රංගනයට පැමිණ එයම තමන්ගේ ජීවිතය කරගත්ත කෙනකු ගැන ඔබට දැන ගන්නට අවශ්‍ය නම් අද My Path කියවන්න. සිංහල සිනමා වංශ කතාවේ, දුෂ්ට චරිතයට සදා නොමැකෙන මතක සටහන් එක් කරමින්, රංගනයට පිවිස පසුව ගායනයටත්, අනතුරුව චිත්‍රපට නිෂ්පාදනයටත් පිවිසි ඔහු අද ප්‍රවීණ රංගධරයෙකි. ඔහු රෙක්‌ස් කොඩිප්පිලිය.
කොහොමද රංගනයට ආවේ අපි එතැනින් කතාව පටන් ගමු?
කුඩා කාලයේ ඉඳන්ම චිත්‍රපට නැරඹීමට ලොකු ආශාවක් තිබුණා. විශේෂයෙන්ම බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපට. ඒත්... මට නළුවෙකු වීමේ ලොකු සිහිනයක් තිබුණේ නැහැ. පාසලින් පසු මා හමුදා සේවයට බැඳුණේ. ඊට පස්සේ මම සලාකා ව්‍යාපාරයට එක්‌වුණා. එතැනදී ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ඔස්‌වල්ඩ් ජයසිංහ මහතාගේ මඟ පෙන්වීම ඔස්‌සේ, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා හැඳින ගැනීමට අවස්‌ථාව ලැබුණා.
එතැනින් පස්සේ ද සිනමා ගමන ආරම්භ වුණේ?
ඔව්, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඔහුගේ කතුරු මුවාත්, චිත්‍රපටයේ පොකට්‌කරුගේ චරිතය කරන්න මට කතා කළා. මම මුලින්ම කැමති වුණේ නැහැ ඒ නිසා මම බෑ කිව්වා. මොකද ඒ වෙද්දී මම විවාහ වෙලා අපිට දරුවෙකුත් හිටියා. ඒ වගේම තමා මම මූලිකත්වය දීලා තිබ්බේ ව්‍යාපාර වැඩ කටයුතු වලට. ඒත් පස්සේ කොහොම හරි මම ඉතින් ඒ පොකට්‌කරුගේ චරිතය කළා.
කොහොමද ඒ මුල්ම අත්දැකීම?
මට එහෙම විශේෂත්වයක් දැනුණේ නැහැ. මට තිබ්බේ මිනිත්තු 10ක් වගේ කෙටි කාලයක දිවෙන චරිතයක් ඉතින් මම ඒක එක පාරින්ම කරලා ආවා.
ඊට පස්සේ?
ඊට සති දෙකකට පස්සේ විතර කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතායි කුමාරදාස වාකිෂ්ඨ මහතායි දෙන්නම ආවා මාව හොයාගෙන ඇවිත් කිව්වා ඔයා පොකට්‌කරැගේ චරිතය නම් හොඳට කරලා තියෙනවා. ඒත් ඒක අපිට අයින් කරන්න වෙනවා කියලා. මම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට එයාලා කිව්වා ඒක අයින් කරන්නේ ඔයාට චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨ චරිතය දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම කතුරු මුවාත් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨ චරිතය කළා.
කොහොමද ලැබුණු ප්‍රතිචාර?
ප්‍රතිචාර කියන්නේ ඉතින් මම රඟපෑ ඒ චිත්‍රපටය තිරගත වෙන්න කලින් මම තව චිත්‍රපට 4ක් කළා. ඒක තමා ඉතින් ලැබුණු ප්‍රතිචාරය.
ඊට පස්සේ රඟපෑ නිර්මාණ ගැනත් මතක් කළොත්?
ඉන් අනතුරුව ලොකුම හිනාව චිත්‍රපටයේ යතුරු පැදියක ධාවනයක යෙදෙමින් සටන්කාමී මාරාන්තික රංගනයක යෙදුණා. මුවන් පැලැස්‌ස කදිරා, රක්‌්තා, ධානු ලෙස හිස බූ ගා කළ රංගනය ,බයිසිකලේ කළු මහත්තයා, චන්දීරා සක්‌කර මාමා, කොටි වලිගයේ සාජන්ට් සිල්වා, ක්‍රිස්‌තු චරිතය පිලාන්, අහිමි දඩමං ඇතෙක් දළවලින් ඇනීමෙන් තුවාල වූ මිනිසා යනාදී චිත්‍රපටවල කැපීපෙනෙන රංගනයන් නිරුපණය කළා. අද වන විට චිත්‍රපට 225 කට පමණ රංගන දායකත්වය සපයලා තියෙනවා.
ඔය අතරේ පෙම්වතාගේ චරිතය කී සැරයක් කරලා තියෙනවාද?
හ්ම් 4ක් 5ක් වගේ තමා. ගොඩක්ම ලැබුෙණ් දුෂ්ඨ චරිත. සටන් චරිත ඒ වගේම එකිනෙකට වෙනස් විවිධ චරිත ලැබුණා.
මුලින්ම පෙම්වතාගේ චරිතය කළේ?
ලස්සන දවසක් චිත්‍රපටයේ
මුලින්ම රිදී තිරයේ පෙම්වතිය වුණේ කවුද?
ශ්‍රියානි අමරසේන
ඔබේ ගීත ගායනය ගැනත් කියමු නේද?
ගීත ගායනයටත් නම් මා තුළ විශේෂ ඇල්මක් තිබුණා කුඩා කාලේ ඉඳන්ම. 50 දශකයේ අග භාගයේදී ගුවන් විදුලි ආධුනික ගී තරගයකින් මා දෙවැනි ස්‌ථානය ලැබුවා. එහිදී ප්‍රථම ස්‌ථානය හිමි වූයේ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියටයි.
ඔබ චිත්‍රපට පසුබිම් ගායනයත් අාවා. ඒ ගැනත් මතකය අලුත් කරමු?
චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ මුල්ම ගීතය සාගරිකා චිත්‍රපටයේ එන කකුළුවා නටන්නේ දිය රත් වෙනතුරු ගීතය.
චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව කතා කළොත්?
බයිසිකලේ චිත්‍රපටය තුළින් තමා චිත්‍රපට නිෂ්පාදනය ආවේ. ඊට පස්සේ ගොඩක් අය මට කතා කළා නිෂ්පාදන කටයුතු කරන්න එන්න කියලා. ඒත් මම හවුලේ වැඩ කරන්න කැමැත්තක් දැක්වුවේ නැහැ.
පුංචි තිරයට එන්නේ?
ටයිටස් තොටවත්ත මහතාගේ රන් කහවණු ටෙලි නාට්‍යයෙන්. අද වෙද්දී ටෙලි නිර්මාණ 200කට පමණ දායක වෙලා තියෙනවා. ඒ අතර දීර්ඝ මාලා නාටක 10 කටත් රංගනයෙන් දායක වී තිබෙනවා.
ලැබුණු සම්මාන ගැන කතා කළොත්?
සරසවි සම්මාන, ඕ.සී.අයි.සී., රයිගම්, සුමති කලා භූෂණ සම්මානත් ඇතුළුව මගේ රංගනය උදෙසා පිරිනැමුණු ඇගයීම් පිළිබඳව මා අවංකව තෘප්තිමත්.
► Text – Anusha Ranasinghe / Pic - Sumudu