2017 ජුලි 08 වන සෙනසුරාදා

සීතල සෙම්බුවත්තේ හඳ පානේ රැයක්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 728


දවස් හතකින් ඔයත් එක්ක කොහේ හරි ලස්සන නිස්කලංක වින්දනීය ඉසව්වකට යන්න අපි එනවා කියලා ගිය සතියේ පොරොන්දුවක් දුන්නා මතකද? පහුගිය සතියේ අපි ගියේ COLOMBO BY JEEP එක්ක අත්තිඩිය කුරුලු රක්ෂිතයට හින්දා මේ සති අන්තයේ ඔයාව කොළඹින් හුඟාක් ඈත තැනකට එක්ක යන්න අපි හිතුවා..

අපි ගිය මේ තැන ඉඳන් HUNNAS WATER FALL එකට තියෙන්නේ කිලෝමීටර් 10ක දුරක්. මහනුවර නගරයට කිලෝමීටර් 30ක දුරක්. පොල්ගොල්ල ඩෑම් එකට යනවනම් එතන ඉඳන් යන්න යන්නේ විනාඩි 30ක කාලයක්. නකල්ස්වලට යනවනම් හරියටම පැයක්. රිවස්ටර්න් යන්න ගතවෙන්නෙත් පැයක කාලයක්. පින්නවල අලි බලන්න යන්න හිතුණොත් පැයකුත් විනාඩි 15ක වෙලාවක් යනවා... ම්.. ම්.. මෙතන ඉඳන් මාතලේ අළු විහාරයට තියෙන්නේ කිලෝමීටර් 25ක දුරක්... එතකොට තව... VICTORIA GOLF CLUB එකට ඔයාගෙම වාහනයෙන් යනවනම් ඒ ගතවෙන්නෙත් පැයක කාලයක්...

ඉතින් හිතාගන්න පුළුවන්ද අද අපි ඔයත් එක්ක කොහෙද මේ යන්න හදන්නෙ කියලා. චුට්ටක් විතර තරහා ගියා නේද? රවුමේ යන්නැතුව කියන්නකෝ කියලා හිතුණා නේද?... එහෙනම් යමු වෙහෙසකර හැම හිතුවිල්ලක්ම ප්‍රශ්නයක්ම රාත්‍රියක් ගෙවනතුරු හෝ පැත්තකින් තියලා නිදහස් හුස්මක් හරි සැහැල්ලුවෙන් අරගන්න පුළුවන් චමත්කාරයෙන් නිහඬත්වයෙන් පිරුණු ඉසව්වකට... එන්න අපිත් එක්කම ඒ සුන්දර වැව ඉහත්තාවට. අපි දැන් ඉන්නෙ සෙම්බුවත්ත වැව ඉස්මත්තේ. 
සෙම්බුවත්තට යන්න මාර්ග කීපයක්ම තිබුණත් අපි ගියේ වත්තේගම පාරෙන් ගිහින් ඇල්කඩුව ඔස්සේ වැටුණු මාර්ගය දිගේ. Walk 111 අපි එක්ක එදා සෙම්බුවත්තට යන්න තවත් සගයන් දෙන්නෙකුත් අපිත් එක්ක එකතු වුණා. ඒ මාධව හා දිමුතු. මාධව හා දිමුතු වෘත්තියෙන් මහනුවර ජනප්‍රිය පාසලක ක්‍රිකට් පුහුණුකරුවන් විදිහට රැකියාව කළත් සොබාදහම විඳගන්න, සොබාදහම් අපූර්වත්වය අතර සැරිසරන්න ප්‍රිය හිත් ඒ දෙන්නටත් තිබුණ නිසා අපිත් එක්ක දවසක්ම ඇවිදින්න, නවතින්න, කන්න බොන්න, සතුට විඳගන්න එයාලත් ආවා...

හරිත පැහැයෙන් දිදුලන කඳු ගැටයක් මැද්දෙන් තේ වතු යායෙන් යායට පහුකරමින් පටු මාවතක් ඔස්සේ සෙම්බුවත්ත වැව හොයාගෙන යද්දි මතකයට නැගුණේ මෑතකදි නුවරඑළිය ලිප්ටන් සීට් ගිය ගමන. එදා වගේම මෙදාත් පුංචි දුරක් හරි තේ වතු මැද්දෙන් අසිරිය විඳිමින් පයින් යන්න ආසා හිතුණ හින්දා පුංචි දුරක් අපි පයින් ගියා. ඒත් පැහැදිලි අහසේ ධවල පැහැ වලාකුළු ඉර එළියේ රත්තරන් කිරණ මොහොතකටවත් මුවා නොකළ ඒ ගිනිදන මොහොතේ සුළං රැල්ලත් ටිකක් උණුසුම්. ඒ හින්දා අපි ආයෙත් වාහනයෙන්ම ගමන පටන් ගත්තා. 

පුංචි කඳු ගැටය මැද්දෙන් වැටුණු පටු පාරේ ටික දුරක් යද්දි අර ඉර අව්ව කොහේ වහං වුණාද කියලා අපිට එකපාරටම හිතුණේ පුංචි සීතල ගතියක් එක්ක සනීපයක් සිරුරට දැනිච්ච නිසා. මොහොතකින් කාලගුණයේ දැනුණු ඒ වෙනස්කම තත්ත්පරයෙන් තත්ත්පරයට වෙනස් වෙන සමහර පිරිමි හිත් සහ ගෑනු හිත් වගේ කියලා සෙම්බුවත්තේ වැව දකින්න ඔයත් දවසක ගියොත් ඔයාටත් හිතෙයි.

පාරේ දකුණු පැත්තේ තිබුණු දමිළ සහෝදරයෙක්ගේ පුංචි කඩයක් එක්කම තිබුණ පැරුණි කෝවිලක් ළඟ අපි මොහොතකට නතර වුණා. අපූරු මැටි ළිපක ඒ මොහොතේ ඒ දමිළ සහෝදරයා උණු උණුවේ වඩේ බදිනවා... උණු උණු වඩයක් කාලා කහට තේකක් බොන්න හිතුණොත් ඔන්න කියාපු තැනක් තමා එතන... ගරාවැටුණු කෝවිල යළිත් දෙවියන්ගේ වාසභූමියක් කරලන්නත් මේ දමිළ සහෝදරයා ඇතුළු පිරිසක් මේ දවස්වල ලොකු මහන්සියක් ගන්නවා... ඔයා කැමතිනම් සෙම්බුවත්තේ සුන්දරත්වය දකින්න යන ගමනෙදි ඒ කෝවිල වෙනුවෙනුත් පුංචි හෝ ආධාරයක් දෙන්න ඔයාටත් පුළුවන්...
සෙම්බුවත්ත වැව අද්දරට යන්න ඉස්සර සෙම්බුවත්ත සෞන්දර්යයේ ඉතිහාසය ගැනත් පුංචි සටහනක් තියන්න අපිට හිතුණා... මේ පුංචි දිවයින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන්ගේ අණසක යටතේ පැවතිච්ච කාලයේ සෙම්බුවත්තෙ තිබිලා තියෙනවා පෝලෝ ක්‍රීඩාංගණයක්.

බ්‍රිතාන්‍ය වැවිලිරෙුවන් විසින් ඒ යුගයේ ඉදිකළ විශාල තේ කර්මාන්ත ශාලාවක ශේෂිත මතක අදටත් මෙහි දක්නට තියෙනවා. අද එය හුදු අතීත මතකයක් පමණක්ම ලෙස සෙම්බුවත්ත පිවිසුම් ප්‍රවේශපත්‍ර කාර්යාලය පිහිටි මානයේ දිස්වෙනවා. අද දක්නට ඇති වැව ස්වාභාවික ජල උල්පත් වලින් සුසැදි ඒ සාර භූමියේ පසුව නිර්මාණය වූ එකක්. 
ස‍ෙම්බුවත්තේ නාන තටාකයෙත් අපූර්වත්වයක් තියෙනවා. එයට සැපයෙන්නේ උල්පත් ජලය. ඒ උල්පත් ජලය නාන තටාකයේ රැදී තියෙන්නේ නෑ. එක්කාසුවෙන ජලය ෙමාහොතක් ගාෙණ් බැසයන නිසාවෙන් හැම මා‍ෙහොතකම තටාකය පිරී පවතින්නේ සීතල නැවුම් ජලයෙන්.

සාර සුබාවට වැවුණු තේ වගාවක ආකර්ෂණය වගේම විසල් ජෛව පද්ධතියක අපමණ වටිනාකමත් අලංකාරයෙන් අනූන සොබාදහමේ මේ නිමවුමට දී ඇත්තේ ප්‍රසංශනීය අගයක්.
වැව පසුබිම්කරගත් හාත්පස නීල පැහැයෙන් දිලුම් විහිදාලන එහි එක් පසෙක අැත්ත්‍ෙ ෆයිනස් වගාවක්. සියලු සුන්දරත්වය විඳින අතරේ වැවේ බෝට්ටු සවාරියක් යන්න හිතුනොත් ඔන්න ඔයාට ඒකටත් CHANCE එක තියෙනවා. හැබැයි අඩි 35ක් ගැඹුරු වැවේ නාන්න පීනන්න නම් තහනම්. ඒක ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන්ම දාපු නීතියක්.

සෙම්බුවත්ත වැව් තාවුල්ලේ රැයක් ගෙවාලන්න... ඒ රැය ඇත්තටම සුන්දරයි. කළුවර අස්සේ තිත් තිත් ඉහිරිච්ච චන්ද්‍රකාන්තිය වැව් දිය රනින් බබළවද්දී ඔයාටත් කවි දාහක් ලියන්න හිතෙයි... යාළුවෙක් එක්ක එකතු වෙලා කනබොන ගමන් ආදරණීය ගීයක්, විරහ ගීයක් ගයන්න ෙම් තරම් කදිම තැනක් වෙන කොහෙද කියලා ඔයාටත් හිතෙයි. සෙම්බුවත්තේ රැයක් පහන් කරන්න එන අයට නවතින්න කබානාස් ගහලා තියෙනවා. කොට්ට මෙට්ට වගේම ආරක්ෂකයෙකුත්, ඔයා කැමති විදිහකට කැමති දෙයක් උයවාගෙන කන්න රසට කෑම උයන්න පුළුවන් කෝකිවරයෙකුත් හම්බෙනවා. එළවළු හාල් තුනපහ අවැසි කළමනා අරන් ගියාම හරි. NIGHT BOOKING දාගත්තොත් සෙම්බුවත්ත පාලනාධිකාරිය මේ හැමදේම දෙනවා. මේ හැමදේම ලැබෙන්නෙත් හරි සහන මිලකට. ගණදුර මකාලන්නට දැල්වූ ලන්තෑරමකුත් කබානාවේ කොණක එල්ලනවා. රාත්‍රියක් ගත කරනවා නම් හවස හයෙන් පස්සේ ඇවිත් උදේ අට වෙනකම් ඉන්න පුළුවන්. 

රෑ සීතල, තරුත් ඇස් වහන මැදියම, කවිකාර වැව් දියවර, හැඟීම්බර වැව් තාවුල්ල, හැඟීම් කිතිකැවෙන කඩුතුඩු වැනි සීතල පෙරවාගත් හීතල හුළං රැල්ල, අඳුරට ආලකම් පාන ලන්තෑරුම් එළිය, රෑ අහසත් එක්ක කතා කරන ගස් මුදුන් එක්ක සෙම්බුවත්ත වැව් ඉස්මත්තේ ආදරණීය රාත්‍රියක් හිත මිතුරු සල්ලාපයක් එක්ක ගෙවන්න ඔයාටත් හිතෙනවාද?. සැර කටගැස්මක් එක්ක පුංචි මී විත වඩියක් ඒ රැයට තවත් අපූරුයි කියලත් ඔයාට හිතෙනවද මන්දා... ඒ හැමදේටම ඉඩ තියෙනවා. ඉතින් හිතෙනවානම් ඔයත් ම්‍ෙ සුන්දර වැව් ඉහත්තාවට  ඇවිත් යන්න 

 

► Text -Saara / Pic -Channa Kassapa Koralearachchi