අදත් අපි හදසර සිනමා සාධන මැදිහත්වීම ඔස්සේ සිංහල සිනමාවේ තවත් මානයකට අවතීර්ණ වෙනවා. පසුගිය ලිපියේදී සිනමාවේ හදවත බඳු වූ තිර පිටපත පිළිබඳව අපි ගැඹුරින් විවේචනාත්මකව සාකච්ඡා කළා ඔබට මතක ඇති. ඉතින් සිනමා කෘතියක් බිහිවෙද්දි තිර පිටපතට ජීවය දෙන ප්‍රධානතම සාධකය වන්නේ නළු නිළියන්ගේ රංගන දායකත්වයයි. ඒ නිසාම අද අපි සූදානම් වන්නේ අපේ සිනමාවේ රංගන අර්බුදය පිළිබඳව සංවර්ධනාත්මකව විවේචනාත්මකව විමර්ශනය කරන්න.
සිනමා පටයක් නැරඹීමේදී ප්‍රේක්ෂකයා චරිත සමඟ සම්බන්ධ වන්නේ රංගන ශිල්පියාගේ කුසලතාව මතයි. චරිතයේ හැඟීම්, අභ්‍යන්තර ගැටුම්, සතුට හා දුක ප්‍රේක්ෂකයාට දැනෙන්නේ රංගන ශිල්පියාගේ සමත්කම අනුවයි. එහෙත් අවාසනාවකට අද අපේ සිනමාවේ විශාලතම අඩුපාඩුවක් බවට නළු නිළියන්ගේ රංගනය පත්වෙලා. බොහෝ විට ඔවුන් චිත්‍රපටවලට එකතු කරන්නේ රූපාලංකාරය සහ ජනප්‍රියත්වය මතයි. මෙය සිනමාත්මක ගුණයට හානියක්. තවත් අතකින් සිනමාවට වගේම මේ ඔස්සේ ප්‍රේක්ෂකයාටත් විශාල අසාධාරණයක් වෙනවා.
අපේ සිනමාවේ ස්වර්ණමය යුගය ගැන කතා කරද්දී ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා වැනි දැවැන්ත රංගන ශිල්පීන්ගේ සියුම් රංගන හැකියාවන් අපිට සිහිපත් වෙනවා. ඔවුන් හුදෙක් චරිත නිරූපණයකට පමණක් සීමා නොවී ඒ චරිතය අපි තුළ ජීවත් කරවීමට සමත් වූ පිරිසක්. චරිතයේ ගැඹුර, පසුබිම් කතාව සහ චිත්තවේගීය පරිවර්තන ඔවුන් ඉතා සියුම් ලෙස ප්‍රේක්ෂකයාට දැනෙන්න සැලැස්වූවා. ඔවුන් රංගනය සඳහා යොදාගත්තේ හුදෙක් සිනමාවට පමණක්ම ආවේණික වූ රංගන ශෛලියක්.
එක්තරා ආකාරයකට ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය කියලා අපි කතා කරන මේ සුවිශේෂී කාල පරාසය නිර්මාණය වෙන්න හේතු වුණෙත් ඔවුන්ගේ මෙම හැකියාව. ඒ වගේම හැකියාවක් ඇති අයට ලැබුණු අවස්ථා. ඒත් වර්තමානය වෙද්දි හැකියාවන්ගේ වගේම අවස්ථාවලත් පැහැදිලි අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. නළු නිළියන් බවට බොහෝ දෙනකු පත්වෙන්නේ හැකියාවන් ඔප්පු කිරීමකින් නෙවෙයි.
රංගනය කියන්නේ කලාවක් වගේම විද්‍යාවක්. එයට මනා හැදෑරීමක් සහ පර්‌යේෂණාත්මක ප්‍රවේශයක් අවශ්‍යයි. නමුත් අද අපේ සිනමාවේ බිහිවන බොහෝ නළු නිළියන් අතර මේ හැදෑරීම සහ අවබෝධය නොමැති බව පැහැදිලියි. ඔවුන් බොහෝ විට සිනමා රංගනය පිළිබඳව පුළුල් දැනුමක් නැතිව රූපවාහිනී ටෙලිනාට්‍ය රංගනයකදී මෙන් අධි රංගනයක (overacting) යෙදෙනු දකින්න පුළුවන්. පුළුල් තිරයට ගැලපෙන සියුම් රංගන ශෛලියක් ප්‍රගුණ කර නොතිබීම මෙයට ප්‍රධාන හේතුවක්.
සිනමා රංගනය යනු ‘දැකීමට’ වඩා ‘දැනීමට’ ඉඩ දෙන කලාවක්. නමුත් අද බොහෝ නළු නිළියන් තමන්ගේ රංගනය ‘කෘත්‍රිමව’ පෙන්වීමට උත්සාහ කරනවා මිස, චරිතය තුළින් එය ස්වභාවිකව ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ. විටින් විට අවාරෙට සාර්ථක වන සිනමා පට කිහිපයක ඇරෙන්න පොදුවේ සිංහල සිනමාවේ නිතිපතා අපි දකින සිනමා පට තුළ මේ තත්ත්වය දැකගන්න පුළුවන්.
මේ අනුව වර්තමාන බොහෝ රංගන ශිල්පීන්ගේ ප්‍රධාන දුර්වලතාවක් ලෙස ඔවුන්ට ලැබෙන චරිතය පිළිබඳව ප්‍රමාණවත් අධ්‍යනයක් නොකිරීම හඳුනාගත හැකියි. රංගන ශිල්පියකුට තිර පිටපතක් ලැබුණු පසු ඔහු හෝ ඇය එම චරිතයේ පසුබිම, හැඟීම්, චර්යාවන් සහ මානසිකත්වය පිළිබඳ ගැඹුරින් සොයා බැලිය යුතුයි. ඒ වගේම පිටපත් රචකයාගේ සහ අධ්‍යක්ෂවරයාගේ අපේක්ෂාවන් හා දැක්ම තේරුම්ගත යුතුයි. එහෙත් අද බොහෝ විට සිදුවන්නේ නළු නිළියන් පිටපත කියවාගෙන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පමණක් අනුගමනය කිරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චරිතය ජීවයෙන් තොර මතුපිටින් පමණක් පෙනෙන, ඒකමානීය චරිතයක් බවට පත්වෙනවා.
ලෝක සිනමාවේ සාර්ථක රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ චරිත සඳහා දැඩි ලෙස කැපවීමක් දක්වනවා. සමහරු චරිතයට අදාළ මානසික තත්ත්වයන් තේරුම් ගැනීමට මනෝවිද්‍යාඥයන් හමුවෙනවා. තවත් සමහරු චරිතයට අනුකූලව ශරීරය වෙනස් කරගන්නවා. උදාහරණයක් ලෙස ක්‍රිස්ටියන් බේල් (Christian Bale) වැනි නළුවන් තමන් රඟපාන චරිතයට අනුව අධික ලෙස බර අඩුකර ගැනීම හෝ වැඩිකර ගැනීම සිදු කරනවා. ඔවුන්ගේ රංගනය හුදෙක් රූප රාමුවට සීමා නොවී චරිතයේ සමස්ත සාරයම නිරූපණය කරනවා.
අපේ සිනමාවේ මෙවැනි ගැඹුරු කැපවීමක් දක්වන රංගන ශිල්පීන් සිටින්නේ ඉතාම අතළොස්සක්. බොහෝ දෙනෙක් තමන්ගේ රංගනයට අලුත් අත්දැකීම් එකතු කිරීමට උනන්දු වෙන්නේ නැහැ. කැපවීමෙන් හැදෑරීමක් සහිතව අධ්‍යනයන් සිදුකරමින් රංගන දායකත්වය සපයන ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් පිළිබඳ ලොකු ගෞරවයක් අපිට තියෙනවා. ඊට ඇත්තෙන්ම ඒ අයගේ කැපවීමට ප්‍රමාණවත් සාධාරණයක් ඉටුනොවන බව නම් පැහැදිලියි. විශිෂ්ටයන්ට සුදුසු තැනත්, අවස්ථාවත්, මූල්‍ය වටිනාකමත් ඔවුනට ලැබෙන්නේ නැහැ.
අද බොහෝ සිනමා නිර්මාණවලට ජනප්‍රිය නළු නිළියන් යොදාගැනීමේ ප්‍රවණතාවක් පවතිනවා. මේ ජනප්‍රියත්වය කියන්නේ හතු පිපෙන්නා වගේ ඩිජිටල් යුගයේ නළු නිළියන් ලබන ජනප්‍රියත්වයට. මෙය යම් පමණකට චිත්‍රපටයේ වාණිජමය සාර්ථකත්වයට හේතුවක් වුවත්, එය බොහෝ විට ගුණාත්මක රංගනයට බාධාවක්. ජනප්‍රිය නළු නිළියන් තමන්ට ලැබෙන චරිතයට නිසි ලෙස කැප නොවීම, අවශ්‍ය අධ්‍යයන සිදු නොකිරීම සහ තමන්ට හුරුපුරුදු රංගන ශෛලියකම නිරන්තරයෙන් රැඳී සිටීම මෙහිදී දැකිය හැකි ප්‍රධාන දුර්වලතා. මෑත කාලීන ඇතැම් වාණිජ සිනමා පට දැක්කම ශ්‍රී ලාංකීය සිනමාව ටික්ටොක්කරණය වෙලාද කියලා අපිට හිතෙනවා.
මේ අතර ශ්‍රී ලාංකික සිනමාවට මෑත කාලීනව පිවිසෙන බහුතරයක් අතර විශ්වාස පද්ධති සහ මානසිකත්වය පිළිබඳවත් ගැටලුවක් පවතින බව සඳහන් කළ යුතුයි. පොදු ව්‍යවහාරයේ කතා කරන විදිහට “පොරට ඇඳීම” හෙවත් අධිතක්සේරුවෙන් යුතුව කටයුතු කිරීම ඔවුන් තුළ දැකගන්න පුළුවන්. ඇත්තටම වර්තමාන කාලයේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් නිර්මාණ අතළොස්සක් තිබියදී ශ්‍රී ලාංකීය සිනමාවේ නළු නිළියන්ට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද කියන කාරණාව ගැටලුවක්. ක්ෂේත්‍රය තුළ සහෘද කලාකරුවන්ට අධ්‍යක්ෂකවරුන්ට පිටපත් රචකයන්ට ගෞරව නොකිරීම සහ රසිකයන් පවා නොතකා හැරීම බරපතළ ඛේදවාචකයක් බව සඳහන් කළ යුතුයි.
මෙම අර්බුදවලට විසඳුම් ලෙස අපේ නළු නිළියන් සිනමා රංගනය පිළිබඳ පුළුල් අධ්‍යනයක යෙදීම අත්‍යවශ්‍යයි. රංගන පාසල්වලින් වැඩමුළුවලින් සහ ලෝක සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පීන්ගේ ක්‍රමවේද අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ට තම දැනුම හා කුසලතා දියුණු කරගන්න පුළුවන්. ඒ විදිහට සිය රංගන හැකියාවන් හැදෑරීමකින් දියුණු කරගෙන කටයුතු කරන මහේන්ද්‍ර පෙරේරා වැනි චරිත අපිට උදාහරණ ලෙස ගන්න පුළුවන්. මෙවැනි රංගන ශිල්පීන්ගේ හැකියාවන් ඉතා පුළුල් පරාසයක් තුළ දිව යනවා.
කොහොම නමුත් මෑත කාලීනව ජනප්‍රිය වූ සිනමා පට කිහිපයක් තුළ විශිෂ්ට රංගන දායකත්වයක් දැක්වූ රංගන ශිල්පීන් කිහිප දෙනෙක් අපි දැක්කා. ඔවුන්ගේ පොදු විශේෂත්වය වුණේ කාලයක් තිස්සේ රංගනය පිළිබඳ හදාරමින්, එතරම් ඉස්මතු නොවූ පිරිසක් වීම. ඔවුන්ගේ සාර්ථකත්වය සනිටුහන් වන්නේ කාලෙකට පස්සේ ඔවුන්ට ලැබුණු සුවිශේෂී නිර්මාණ කිහිපයක් එක්ක. මෑත කාලීනව දිගින් දිගටම දක්නට ලැබුණු මේ රටාව ඔස්සේම අවබෝධ වෙනවා, පොදුවේ අපේ නවක නළු නිළි පරම්පරාව තුළ තිබෙන බරපතළ අඩුපාඩු ටික.
කොහොම නමුත් අපි මෙහිදී එක් දෙයක් පිළිගත යුතුයි. සිනමාව ඩිජිටල්කරණය වෙනවා. සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් විනෝදාස්වාද මාධ්‍ය ප්‍රබල වෙනවා. ඒ නිසා සිනමාව තුළත් නළු නිළියන් තුළත් ඊට ගැලපෙන අනුවර්තන සිදුවිය යුතුයි. යාවත්කාලීන වීම අත්‍යවශ්‍යයි. ඒත් මේ යාවත්කාලීන වීම සංවර්ධනාත්මක විය යුතු බව හැමදෙනාම මතක තබාගත යුතු කාරණාවක්.
ඒ වගේම අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ජනප්‍රියත්වය පමණක් නොව, රංගන හැකියාවන්ද සලකා බලා චරිත සඳහා නළු නිළියන් තෝරාගත යුතුයි. නළු නිළි වරණය කියන්නේ මේ සංවාදයේදී, අපි ඉදිරියට සාකච්ඡා කරන තවත් බරපතළ මාතෘකාවක්. ඇත්තටම කවුරු වුණත් රංගන දායකත්වය සපයන්නේ තෝරාගැනීමක් මත. ඒ නිසා සිනමා පටයකට අවශ්‍ය තෝරාගැනීම නිවැරදිව සිදුවිය යුතු වෙනවා.
සිනමා පටයක් යනු පිටපත් රචකයාගේ සහ නළු නිළියන්ගේ සාමූහික නිර්මාණයක්. ඒ නිසාම ඔවුන් සියලු දෙනාම එකිනෙකාගේ කාර්යභාරය හා වටිනාකම තේරුම්ගෙන තම ක්ෂේත්‍රය පිළිබඳව විද්‍යාත්මක හා කලාත්මක දැනුමකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. මෙමගින් පමණයි අපිට අද පවතින සිනමාවේ අර්බුදය ජයගෙන ප්‍රේක්ෂකයාට සැබෑ සිනමාත්මක අත්දැකීමක් ලබාදීමට පුළුවන් වෙන්නේ. ලබන සතියෙත් හදසර සිනමා සාධන මැදිහත්වීමත් සමඟින් හමුවෙමු.
• චමිඳු නිසල් ද සිල්වා