නියතයන් - නිශ්චිතයන් කවදා කොතැනකදී හෝ ජීවිතයේ ඉස්තෝප්පුවට ගොඩවන වග දන්නා හෙයින් අරුම නොම දැනෙතත් ආහ්... අහන්න පෝල් ඔබට කියන්නට මට හිතුණා... මම විශ්වාස කරන දෙයක්... ඇයි දන්නවද ඔයාගේ කතාවේ පිටුවෙන් පිටුව පෙරළද්දි එහෙම රස තැවරිච්ච පිටුවක් මමත් මේ දැන් කියවපු හින්දා... ඔහ්... කොහොම රසවත්ද කියලා කියනවනම් ඒ පිටුව රස සරාග චොක්ලට් කඳු පිටින් වත් කරලා ඔයා හදන රස සුවඳ පාට තවරාණ දිලිහෙන අතුරුපස තරම්ම රසයි කියලා ලංකාවේ ඉඳන් නිව්‌යෝර්ක් චොක්ලට් අතුරුපස සුවඳට පෙම් බඳින.... මේ මොහොතේ... ඔව් මේ මොහෝතේ මට හිතෙන හින්දා... ඇත්තටම දෙවියන් වහන්සේට ස්තූතියි කියලා කියන්න හිතෙන තරමට අසෙනි අහම්බකාරක හරි සුන්දරයි. ජීවිතය හොයාගෙන ඇවිත් ජීවිතය දවන... ජීවිතය තවන... ජීවිතය තෙමන... සුළි කුණාටු, නල මෘදු, හීත වැහි, ඉඩෝර, ගංවතුර, අකුණු, ඉර හඳ තරු, මොන විදිහෙන් පැමිණියත් මටනම් හිතෙන්නෙම අහම්බකාරක තමයි සුන්දරම...
ඩැනියල් පෝල්... මට කියන්න එදා ඒ මඟහැරීම නොවෙන්නට... එදා ඒ අහම්බය නොවෙන්නට එදා ඒ අහිමිවීම නොවන්නට ඔයා Lotte Newyork Palace hotel එකේ මෙහෙව් Chef කෙනෙක් වෙයිද?
ආදරණීය Mayra Melendez ආදරවන්තිය... ඔයාගේ ජීවිතයට තාරුකාවක් වගේ එළිය දුන්න... ඔයා නිවන සනසන ලස්සන කෙල්ල මයිරා ඔයාට හම්බවෙයිද?
Jobani සහ Derek ආදරණීය පුතාලා දෙන්නගේ තාත්තා වෙන්න ඔයාට පුළුවන් වෙයිද?
හිතෙන්නෙ නැද්ද නැව මඟ නොහැරෙන්න ගුවන් යානය මඟ නොහැරෙන්න ඔයා නිව්‌යෝර්ක් නවතීද?
ජීවිතයේ එක්තරා කාලයක එක්තරා දවසක ඩැනියල් පෝල් මල්ටිපල් වීසා අරගෙන ඇමෙරිකාවට ආවේ මියාම් ගිහින් නැවේ රස්සාවට යන්න. ඒත් මියාම් යන්න තියෙන ගුවන් යානය පෝල්ට මඟහැරෙනවා. නැවට ඉන්න බෑ පෝල් එනකම් මඟ බලාගෙන... පෝල් නිව්‌යෝර්ක් නැවතුණා.
ඒ නැවතුමේ ඉඳන් ජීවිතය පටන් ගත්තේ කොහොමද?
යාළුවෝ මට කීවා හොටෙල් රස්සා තියෙනවා කියලා. මම ඉතින් නිව්‌යෝර්ක් නවතින්න හොටෙල් රස්සාවක් හොයන්න පටන් ගත්තා.
ඒ පෝල්ගේ සුපුරුදු රස්සාවය.
මීගමුවේ හොටෙල් ඩොල්ෆින් හා රස්සා යාත්‍රාව දියත් කළ පෝල් ඉනික්බිති බෙන්තොට බීච්, ගල්කිස්ස මවුන්ට්ලැවීනියා, ඔබරෝයි, රාමඩා හොටෙල් සරා සැරිසරා ඊළඟට ගියේ ඩුබායි රටටය. ඩුබායි හිඳ පැමිණ ඊළඟට පෝල් ගියේ එංගලන්තයටය. මෙන්න මේ හෝටල් සුවිසැරියේ තීරණාත්මකම නැවතුම හමුවන්නේ ඇමෙරිකාවේදීය. අතීත ආදරණීය රතු ඉන්දියානුවන්ගේ ළතෙත් ස්පර්ශය ලද නිජබිමෙහි නැවතුමක අවසානයේ පෝල් නැවතුණේය.
නිව්‌යෝර්ක් නගරයේ නැවතුණා... රස්සාවක් හෙව්වා... කොහොමද හම්බවුණේ රස්සාවක්?
මම එක රෙස්ටුරන්ට් එකකට ගිහින් ඇහුවා මට රස්සාවකට ඇබෑර්තුවක් තියෙනවද කියලා. එහි හිටියේ අයිතිකාරියක්. ඇය මගෙන් තොරතුරු විමසලා මට කීවා, එක්තරා කේක් ගෙඩියක් හදලා පෙන්වන්න කියලා. මම ඉතින් ඒ කේක් ගෙඩිය හදලා පෙන්නුවා. ඇයට සතුටුයි. ඇගේ සතුට ප්‍රකාශ කරලා මට ඇය එහි රැකියාව දුන්නා. ඒ වෙද්දි එතන පේස්ට්‍රි ෂොප් එකක් තිබුණෙ නෑ. මම එහි කෑම හදන්න පටන් ගත්තට පසුව ඇය එයට හොඳ ප්‍රචාරණයක් ලබාදීලා එතන පේස්ට්‍රි ෂොප් එකක් විවෘත කළා.
රස දිවෙන් විඳිය යුත්තකි. එහෙත් දිවෙන් රසවිඳින්නට පෙරාතුව පළමු තත්ත්පරයේ කෑමක රස, ලස්සන, සුවඳ අප විඳිනු ලබන්නේ දෑසින් බලා මනසින් යැයි මට සිතේ. නෙතට උළෙලක් ලෙසින් දිසි ලස්සනින් දිලිහෙන කෑම මවාලූ රසවතාණන් රස නහර සාර සුබාවට පහුරු ගාන කෑම හදමින් ඩැනියල් පෝල් රස මුද්‍රාවක් බවට පරිවර්තනය වෙද්දී ඔබ දන්නවාද New York Times පුවත්පතටත් ලංකාවේ මීගමුවේ ඩැනියල් පෝල් එක්තරා දවසක රසබර මාතෘකාවක් වූයේය.
කළුවන් සිංහල පාට ඇති දැකුම්කළු මීගමු තරුණයා... උස මහත සද්දන්ත ඉලන්දාරියා... රස මෙතෙකැයි මෙපමණකැයි කිව නොහැකි තරම් රස කෑම හදන මවන අපූරු සූපවේදියා... ලස්සනට චිත්‍ර අඳින සිතුවම් වියන්නා... නාටු පැළයක් පොළොවේ පැල කළත් එය දිනක මහ ගසක් වෙසින් පොළොවේ පැළවෙන තරමට සාරසුබා දෑතක් හිමි වවන්නා... ටෙලියට, සිනමාවට, සංගීතයට පෙම් කරන්නා... රසට ගිටාරය වයමින් දැනෙන්නට ගී ගයන්නා... අමුතු අමුතු නිර්මාණ සැරසිලි නිමවන්නා... නිව්‌යෝර්ක් ඇමෙරිකානුවන් අහක දමන පුටු මේසයන්හි ඇඳි කකුල් පවා එක්කර ලස්සන පුටු මේස නිමැවුම් තනන්නා... මයිරාට ප්‍රශංසා ලැබෙන ලස්සන ගෙවත්ත ඇත්තටම වවන්නා... ගෘහ අලංකරණ ශිල්පියෙක් යැයි හිතෙන තරමට වර්ණ රටා සැරසිලි දවටා මන්දිරයක් වෙසින් නිවෙස සරසන්නා... කවුරුන් ගෙදරට පැමිණියත් මත් රසත් රසමසවුළුත් ඇති පදමට සැනහෙන්නදී නොමසුරු හිතින් තුටු කර යවන්නා... ආගන්තුක සත්කාරයෙහි ළැදි ඉරිදා මීගමු අසිරිය අවැසි හැම මොහොතකම නිවෙසට කැඳවන්නා...
ඉතින් මේ ලැයිස්තුවේ තවත් ලියන්නටනම් මා සන්තකයේ මා දන්නා දේ බොහෝ වෙතත් මෙතෙකින් ඉතින් නවතිමි. මක් නිසාද යත් ඩැනියල් පෝල් කවුරුන්දැයි ඔබට කියවන්නට තවත් නම් අටුවා ටීකා, ගැට පද විවරණ කුමටදැයි මේ දැන් මට හිතුණ නිසාය.
උපයන ඩොලර් තරමට ඩොලර් පිටුපස වගුරුවන විසල් දහදිය මාත්‍රා සොඳුරු නොවෙතත් සුවඳ වෙත්. ඒ හැම ඩොලරයක්ම ජීවිතය සිහින නිම්නයන් වෙත කැටුව යන හෙයින්ම ඒ වෙහෙසද සොඳුරු වෙත්. අතු අගිසි අගිසි පුරා මල් පූදින නිමා නොවන වසන්ත ඍතුන් සපැමිණෙන්නට පෙරාතුව කේඩෑරි වී ගිය ගස් මත පූදින මලක් තබා පොහොට්ටුවත් කොතරම්නම් අගනේද? එහෙව් යථාවක උසුලන වෙහෙස අග සිහින විකසිත වන දවස් ඉඟි පාද්දී සොඳුරක් නොවන වෙහෙසක් ලොව නොවන වග මම විශ්වාස කරමි.
පෝල්... වෙහෙස කවදාවත් වෙහෙසක් විදිහට ඔබට දැනුණද?
නැහැ... ජීවිතයේ මේ තත්ත්පරය වෙනකම් කවදාවත් කවමදාවත්ම මට වෙහෙස වෙහෙසක් විදිහට දැනිලා නැහැ. මම කම්මැලි මිනිහෙක් නෙවෙයි. මම ජීවිතය අද තියෙන තැනට අරගෙන එන්න සෑහෙන මහන්සියක් දරපු මිනිහෙක්. අවුරුදු විස්සක් පුරා මම හෝටල් දෙකක වැඩ කළා. දවසකට නිදාගන්නෙ පැය හතරයි. මහන්සිවෙලා උපයපු සල්ලි මම කවදාවත් නිකරුණේ අනවශ්‍ය විදිහට නාස්ති කළේ නෑ. ඉතුරු කළා. මගේ යාළුවෝ මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද මචං මෙහෙම වැඩ කරන්නෙ කියලා. මම දීපු උත්තරය තමයි එක සතියට චෙක් දෙකක් හම්බවෙද්දි මහන්සි නෑ මචං කියලා.
දැනෙන වෙහෙස හා දනවන වෙහෙස නිවාලනු පිණිස වරෙක සාංසාරික බැඳුම් හමුවෙත්. මයිරා, ස්පාඤ්ඤ කෙල්ල, රතු ඉන්දියානු අභිමානවත් උරුමය කවර හෝ ජානයක සඟවාගත් සුන්දර කෙල්ල පෝල්ට හමුවූයේ ඒ ජීවන සරතැසට සිහිලසේ නල මුදු සුවඳක් වත් කරමිනි.
කියන්න ඇයි මයිරාට ආදරේ හිතුණේ?
මයිරා මගේ යාළුවෙක්ගේ බිරිඳගේ නංගි. මම මගේ යාළුවා එක්ක එයාගේ ගෙදර යද්දි මේ කෙල්ලව දැකලා මම යාළුවාට කීවා, මට මේ කෙල්ලව යාළු කරලා දෙන්න කියලා. එයා කීවා මම ඔයාව දැනගෙන තාම ටික කාලයයි, මම ඔයාව තාම හරියට දන්නෙ නැහැ කියලා.
අවසානයේදී මංගල යෝජනාව මයිරාගේ තාත්තාට ඉදිරිපත් වූයේය. ලංකාවේ මීගමු ඉලන්දාරියා බෑණා කර ගැනීම ඒ ස්පාඤ්ඤ තාත්තා ප්‍රතික්ෂේප කළේ නැත. ඒත් ඒ තාත්තා දුව වෙනුවෙන් නීති පොතක් බවට පත් වී සිටියේය.
කසාද බඳිනකම් තනියෙන් කොහේවත් යන්න බෑ. ගෙදරට ඇවිත් හම්බවෙන්න, කතා කරන්න. උදේට දවල්ට රෑට කෑම කන්න පුළුවන්. ගෙදරින් එළියට යනවනම් අපි ඔක්කොම දුව එක්ක එනවා.
සුන්දර නිව්‌යෝර්ක් පුරා නිදහසේ ඇවිද යන්නට, වීදි දිග තුරුල් වී පෙම්බස් දොඩන්නට, පල්ලියේ පූජාවට ගොස් ඒ ආදරය ගැන දෙවියන්ට කියන්නට හීන ඉලන්දාරි හිතේ මල් සේ පිපුණත් ඒ පිපුණු මල් කඩන්නට තාත්තාගේ නීති තහංචි වැට බැන්ඳෙන් අණසක තුළ පෙම් කළ පෝල් - මයිරා අවුරුදු දෙක තුනක් වාරණ මැද පෙම් කර බිරිඳ හා සැමියා ලෙස අභිෂේක ලද්දේය.
සුන්දරය... ඒ කසාදයට දැන් වසර තිස් දෙකකි.
පුතුන් දෙදෙනෙකි.
පෝල් සීයා කෙනෙකි. මයිරා ආච්චි කෙනෙකි.
දැන් ඉතින් ආදරණීය මයිරා ගැන අපි නොදන්න දේවල් අපිට කියන්න...
එයාට සිංහල කතා කරන්න බැරි වුණාට සිංහල හොඳට තේරෙනවා. දැන් තනියෙන් සිංහල ඉගෙන ගන්නවා. එයාට හොඳටම ලියන්න, කතා කරන්න පුළුවන් භාෂාව තමයි ස්පාඤ්ඤ භාෂාව. එයාගේ අක්කා නිළියක්. ඒ නිළියගේ නම Kiki Melendez. මම මයිරාව ලංකාවට එක්කන් ආවා. සුමාන දෙකක් අපි ලංකාවේ හිටියා. හැමතැනම වගේ මම එයාව එක්ක ගියා. ලංකාවට මයිරා හුඟාක් කැමති වුණා. මයිරා හුඟාක් ආසයි ලංකාවේ ටෙලිනාට්‍ය බලන්න. එයා ඒවා නොවරදවාම බලනවා. විශේෂයෙන් ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ටෙලිනාට්‍යවලට එයා හුඟාක් කැමති වුණා. එයාට ඉතින් මම සිංහල භාෂාව පරිවර්තනය කරලා කියලා දෙන්න ඕනෑ ඒ දෙබස්. සිංහල චිත්‍රපටත් මයිරා බලනවා. රන්ජන් රාමනායකගේ චිත්‍රපට දෙක තුනක් එයා බැලුවා. රන්ජන් මම දන්නේ පොඩි කාලේ ඉඳන්. නිව්‌යෝර්ක් එන හුඟාක් කලාකරුවන් මගේ ගෙදරට එනවා. හුඟාක් කලා හිතවතුන් මට ඉන්නවා.
පෝල් ඔයා අර නාට්‍ය මයිරාට හරියට සිංහලෙන් පරිවර්තනය කරලා දෙනවද?
උත්තරයක් නැත. පෝල් නිව්‌යෝර්ක් සිට ලංකාවේ හිඳින මා එක්ක හිනා වෙයි...
ඇයි?
වෙලාවකට කියලා දෙනවා. වෙලාවකට කම්මැලි හිතුණම එහෙන් මෙහෙන් පොඩ්ඩක් බොරුත් කියලා දෙනවා. නැත්නම් මම තනියෙන් බලලා මයිරා එක්ක නොබලා ඉන්නවා.
එහෙත් ඒ මඟහැරීම තුළත් ඇලී ගැලී ආදරයම මිස, බැඳීමම මිස අන් කිසිවක් නැති වග මම දනිමි. හිතුවක්කාර පිරිමි පපු කොහොමත් එහෙමමය. කඳු පිටින් ආදරය වත්කළත් “එහෙම වෙන්නට” අකමැති පිරිමියෙක් මේ තාක් මටනම් හමුවී නැත.
ආසද සංචාරයට?
දවසකට කිචන් එකේම හැතැප්ම විස්සක් විතර එහෙට මෙහෙට ඇවිදනවා.
පෝල් දුන්නේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයකි.
විනෝදයෙන් සැහැල්ලුවෙන් ජීවිතය විඳින්නට හොයන මීගමුවේ මිනිස්සු එහෙමය.
ඇයි පෝල් කලාවට මෙච්චර ආදරේ?
මම සංගීතය කවදාවත් ඉගෙනගෙන නෑ. ඒත් මට හොඳට ගිටාර් එක ගහන්න පුළුවන්. දැන් මගේ බලාපොරොත්තුවක් තියෙනවා ටීචර් කෙනෙක්ගෙන් සංගීතය ඉගෙන ගන්න. මගේ එක පුතෙක් සහ එයාගේ බිරිඳ, එයාලගේ රස්සා හැරුණම පල්ලියේ සංගීත කටයුතුවල නියැලෙනවා. ඒ දෙන්නත් හරි ආසයි සංගීතයට. සංගීතය කියන්නෙ පුදුමාකාර මානසික සුවයක් දෙන දෙයක්. ගයන්න වයන්න මම හරි ආසයි.
පෝල් කියන්නේ හුඟාක් වැඩ කරන, හුඟාක් වැඩ දන්න මිනිහෙක්?
මට හිතෙනවා ඇත්තටම මට හුඟාක් දේවල් කරන්න පුළුවන් කියලා. චිත්‍ර අඳිනවා. සින්දු කියනවා. ගිටාර් ගහනවා. ලී වලින් ලස්සන රාමු හදලා චිත්‍ර රාමු කරලා ගෙදර සරසනවා. මිනිස්සු විසිකරන හොඳ දේවල්වල මේස පුටුවල කෑලි අරගෙන ඇවිත් මම අලුත් නිර්මාණ කරනවා.
ගෙවත්තේ මල් පැළ හදන්නෙ මම. හැබැයි ‘Credit’ එක යන්නෙ ‘වයිෆ්ට’... ඒ සරදම් ආදරණීය වෙත්.
තව?
මම දණ්ඩක් පැළ කළත් පැළවෙනවා. වටේ අයගේ ගෙවතුවලත් ඒ අයගේ ඉල්ලීමට මම පැළ හදලා දෙනවා.
ඒ හිතවත්කම් එහෙමය...
තව?
සංගීතයට තියෙන ආසාව නිසාම මම ගෙදර ‘Studio’ එකක් හැදුවා. චොක්ලට් වැඩ කරද්දි සමහරු අතුරුපස ඉල්ලනවා ඒ ඒ කම්පැනිවල ලෝගෝ විදිහට ඒ ඒ පාටට. මම ඉතින් ‘සාම්පල්’ හදලා එකවර 2000 – 3000 හදන්න වෙද්දි ඒ හදන්න ක්‍රමයත් මමම හොයා ගන්නවා.
කම්මැලි නැති පෝල්ගේ ජීවන රිද්මය සොඳුරු සංනිදර්ශනයකි. මිනිසාගේ සිතුවිලි සහ දෑතින් ලෝකය නිමැවුණු වග සහ නිමැවෙන වග මම විශ්වාස කරමි.
ලෝකයට අවැසි වන්නේද ලෝකය සරසනු වස් සිතුවිලි හා දෑත් නිර්ලෝභීව අනලස්ව දිගු කරන මිනිසුන්මය...
ඉතින්... ජීවිතයේ නොකී හීන ගැන තමයි අවසානයට මම ඩැනියල් පෝල්ගෙන් අහන්නේ?
තව අවුරුදු කිහිපයකින් මම විශ්‍රාම යනවා. මට ඇමෙරිකාවේ Pennsylvania වල තව ගෙයක් තියෙනවා. මම සැලසුම් කරලා තියෙන්නෙ නිව්‌යෝර්ක් මගේ වත්කම් විකුණලා Pennsylvania වල පදිංචියට යන්න. මගේම ව්‍යාපාරයක් පටන් ගන්න.
මගේම පේස්ට්‍රි ෂොප් එකක්, රෙස්ට් හවුස් එකක් පටන් ගන්න.
සිහින සිහින ඇහැරවාගෙන ඉගිලෙන දවසට ජීවිතය මොන තරම්නම් චමත්කාරයක්ද?
ඉතින්... තවත් නම් අසන්නට කිසිත් නැත...
කියන්නට දෙයක් මිස...
හුස්මක් වැටෙන බව දැනෙන තාක් ජීවිතය සොයා යා යුතුමය.
• සංජීවිකා සමරතුංග