මෙරට ජනතාවගේ ප්‍රධානතම විනෝද මාධ්‍යයක්ව පැවැති සිංහල සිනමාව, වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් කීර්තිමත්ව බැබළුණේ 60 - 70 දශකවලදීය. 1947 වසරේ පටන් දිනෙන් දින ජන ප්‍රසාදයට පත් එය, කලාවක් හා කර්මාන්තයක් ලෙසින් වර්ධනය වූයේ සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ ජන ජීවිතයට සමීප අත්දැකීම් ඒ තුළින් පිළිබිඹු වූ නිසාය. ඒ අයුරින් ඒකාබද්ධව, ඒකාත්මිකව පැවති මෙරට සිනමාව වත්මනෙහි ජනතාවගෙන් වෙන්ව හුදෙකලා වී ඇත්තේ ඇයි දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි.
අතීතයේ ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය, දිනකට දර්ශන වාර තුනක් හෝ හතරක් බැගින් පැවැති සිනමාහල් වෙනුවට අද ඇත්තේ ගරාවැටුණු, පාළුවට ගිය අම්බලම්ය. සිනමාහල්වල එදා තිබූ ආකර්ෂණීය බව, ගම්භීර බව, ප්‍රතාපවත් බව, නැවුම් බව අද ඒවායින් පලා ගොසින්ය. ටිකට් කවුන්ටර් අසල පෝලිම්වල රැස්කකා, පොදි ගැසී සිටි රසික ජනතාව වෙනුවට, පාළුවට ගිය සිනමා ලොබි දකින විට දුකේ බැරිය. මැස්සන් ඇහිරෙන ටිකට් කවුන්ටර්වලට වී මැනේජර්ලා දෑස් දල්වා බලා සිටින්නේ දිනකට එක චිත්‍රපට දර්ශනයකටවත් නරඹන්නන් දෙතුන් දෙනෙක් හෝ එනතුරුය.
බිත්ති කිළිටි වී, ගරා වැටී, සිමෙන්ති පතුරු ගැලවී, පුස් ගඳ ගහන, අඳුර පිරි සිනමාහල්වල නඩත්තුවට තිත තියා ඇත්තේ වසර ගණනාවක සිටය. සමහර හෝල්වල ඇත්තේ අංශබාග රෝගයෙන් පෙළෙන වායු සමීකරණ සහ අඬ අඬා, කෙඳිරි ගාමින් කරකැවෙන විදුලි පංකාය. වැසිකිළි දැක්කාම සසර එපා වෙන සයිස්ය.
එදා චොක්ලට්, බැදපු කජු, අමු කජු, රටකජු, කඩල, අයිස් පලම්, අයිස් චොක්ස්, ජුජුබ්ස්, මික්ස්චර් පැකට්, කිරි පැකට් සහ විවිධාකාර බීම වර්ගවලින් විසිතුරුව පිරී පැවති කැන්ටින් දැන් පොරි පැකට් හා ටිපි ටිප් පැකට් කිහිපයක් පමණක් එල්ලාගෙන සිටින තරමට අසරණය. මධුවිතකට සෙට් වෙන අයුරින් සුව පහසුව පැවැති බාර් නිකං සවරින් බාර් වෙලාය.
මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ අන්ත අසරණ දුප්පත් මට්ටමකට සිනමාශාලා කඩා වැටී ඇති බවය. සිනමාශාලා නඩත්තු කිරීමට තරම් සරිලන ආදායමක් නැති බවය. ආදායමක් ලැබෙන තරමට චිත්‍රපට බලන්නට රසිකයන් නොඑන බවය. අද චිත්‍රපට බලන්නට එදා වගේ රසිකයන් නොඑන්නේ ඇයි? තමන් ඉතා ආදරයෙන් බැඳී සිටි සිංහල සිනමාව අපේ ප්‍රේක්ෂකයන්ට එපා වී ඇති නිසාය. එසේ එපා වීමට හේතුව කුමක්ද? හේතුව අපේම අහේතුවය. අප විසින් අපටම කෙළවා ගැනීමය.
සිංහල චිත්‍රපටය මුල සිටම පැවැතියේ පොදු ජනතාවට විනෝදය සපයන මාධ්‍යයක් වශයෙනි. එය මෙරට පොදු ජන සංස්කෘතිය හා බද්ධව පැවැති ප්‍රධාන සංස්කෘතික ප්‍රවාහයක් ලෙසින් ස්ථාපිතව පැවැතියේය. ජීවන අරගලයෙන් හෙම්බත්ව, වෙහෙසකාරීව, පීඩාවට පත් සියල්ලෝම සිය විඩාව නිවාගෙන සිතට සැනසිල්ලක් ලැබුවේ මෙම විනෝද මාධ්‍ය හරහාය. දවසේ මෙහෙවරෙන් පසු හැම දෙනකුම ගතේ සිතේ විඩාව නිවා ගැනීමට අපේක්ෂා කළේ සිනමා ශාලාවකට ගොස් පැය දෙකක, දෙකහමාරක පමණ කාලයක් තුළ, අමුතුම ලෝකයක සුන්දරත්වය හා මිහිර විඳිමින් මනසේ තිබූ බර සැහැල්ලු කරගෙන නිදහසේ ගෙදර බලා යාමටය.
එදිනෙදා මතුවන අනේකවිධ ගැට ̈මෝරා ඔඩු දුවන්නට පෙර, සති අන්තයේ පවුලේ සියලු දෙනා එකට එක්වී සිනමාහලට ගියේ, ඒ හැම ප්‍රශ්නයක්ම සිනමා ශාලාවේ පැය දෙකහමාරක අඳුරු පරිසරය තුළ විනෝදාත්මකව දියකර හරින්නටය. එකල නැටුම්, ගැයුම්, වැයුම්වලින් සපිරි සිංහල චිත්‍රපටවල කන්කලු සංගීතය සහ මන මෝහනීය ගීත සියල්ල ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත් කළේය. චිත්‍රපටය ප්‍රදර්ශනයේ පවතිද්දීම එහි අඩංගු ජනප්‍රිය ගීත බොහොමයක් රසික රසිකාවියන්ගේ හදේ නිදන් වූ අමරණීය සිහිවටන ලෙසින් සදාතනික වූයේය. චිත්‍රපටය තිරගත වීමත් සමඟම නිකුත් වුණු එහි ගී පදමාලා රැගත් සින්දු පොත් චිත්‍රපට ශාලාවල ශත 10 කට, ශත 25 කට අලෙවි වූයේ උණු කැවුම් මෙනි. මේ අනුව තමන්ගේ විඩාබර මනසට, සරල සැහැල්ලු වින්දනයක් ගෙන දුන් සිංහල සිනමාව, මෙරට පොදු ජන කලාවක්, විනෝද මාධ්‍යයක් ලෙසින් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියමින් ශ්‍රී ලාංකීය ජන ජීවිතය හා බද්ධව පැවැතියේය.
එවකට මෙරට සිංහල සිනමාවට ආවේණික සිනමා සංස්කෘතියක් ද ගොඩනැගී තිබුණි. සෑම සිනමා ශාලාවකම දිනකට දර්ශන වාර 4 ක් හෝ 5 ක්, බැගින් පැවැත්වුණු අතර, ප්‍රධාන දර්ශන සහ මැටිනි දර්ශන යනුවෙන් ඒවා වර්ග කෙරිණි. උදේ 10.30, සවස 2.30, 6.30, රාත්‍රී 9.30 යන මේ සෑම දර්ශන වාරයක් සිනමාලෝලීන්ගෙන් පිරී ගියේය. බොහෝ සිනමා ශාලා ඉදිරියේ ‘House Full’ යන්න සඳහන් පුවරු නිරන්තරයෙන් ප්‍රදර්ශනය වූයේය.
සිනමා ශාලාවල දර්ශන ආරම්භ වීමට කලින් ඇතැම් විට පැයක පමණ කාලයක් පෝලිම්වල රැඳී සිටින්නට ද සිදුවිය. මෙයින් ගැලරි පෝලිමේ තෙරපෙන ප්‍රේක්ෂකයන් පාලනය කිරීම සඳහා එම පෝලිම් බොහෝ විට කටු කම්බිවලින් ආවරණය කර තිබුණේය. ඊට අමතරව චිත්‍රපට දර්ශනයට පෙර පොරකන, පෝලිම් පනින, බහුතර ප්‍රේක්ෂක සංඛ්‍යාව මෙල්ල කිරීම උදෙසා, හයේ හතරේ ප්‍රමාණයේ ඇඟ කඳ මහත චණ්ඩින් දෙතුන් දෙනෙක් බැගින් සෑම සිනමාහලකම සේවයේ යෙදී සිටියෝය. සිනමාහලේ පෝලිම් පනින්නට හෝ වෙනත් දඟ වැඩ කරන්නට යන හිතුවක්කාරයන්ට චිත්‍රපට දර්ශනයට පෙර මේ අයියලාගෙන් කරාටේ, ජුඩෝ, චීන අඩි හෝ පොල් අඩි සංග්‍රහයක් ද භුක්ති විඳින්නට සිදු වූයේය.
සෑහෙන වේලාවක් පෝලිමේ තපිමින්, කටු කම්බි බාධක තුළින් රිංගා යමින්, චණ්ඩින්ගේ අතවරවලට ලක්වෙමින් මේ හැම හිරිහැරයක්ම විඳිමින් වුවද, අසීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිනමාහල් අසල රොක්වෙමින් පොරකෑවේ ඇයි? සිංහල චිත්‍රපටය මෙරට දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ විඩාව, කාන්සිය තුරන් කරවන මල් යහනාවක සුව සහනය ඔවුන් වෙත අත්පත් කරදුන් නිසාය. ඔවුන්ගේ ජීවිතයට බද්ධ වූ සංස්කෘතික අංගයක් ලෙසින් පෝෂිතව පැවති නිසාය. එය පොදු ජන ආකර්ෂණය දිනූ කලාංගයක් වූ නිසාය.
මීට අමතරව චිත්‍රපටය ආරම්භයේදී සහ විවේකයේදී සිනමා ශාලාව තුළ සිල්ලර කෑම බීම අලෙවිය සඳහා වෙළෙඳ සේවකයන් දෙතුන් දෙනෙක් සේවය සැපයුවෝය. බියර් වීදුරුවක් හෝ වෙනත් මධුපැන් අඩියක් දෙකක් සඳහා පැවතියේද පහසුකම් සහිත වටපිටාවකි. මේ සියලු කරුණු කාරණා එකල සිංහල සිනමාව අත්වැල් බැඳගෙන ගොඩනැගුණු සිනමා සංස්කෘතියේ විවිධාකාර පැතිකඩ වූයේය.
මනස්කාන්ත දර්ශන, පියකරු විලාසිතා, ෆුල් සීරියල් ෆයිට්, කන්කලු සංගීතය, හද බැන්දූ ගී සින්දු, ඉල ඇදෙන විහිළු, විසිල්, මැටිනි ෂෝ, ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ, සින්දු පොත්, සෙනඟ තෙරපෙන පෝලිම්, කචල් බචල් ගුස්පි පිරි ගැලරි ගෝරි, ටොෆි චොක්ලට්, කඩල, රටකජු, අයිස් චොක්ස්, නෙක්ටෝ, ෆැන්ටා, බියර්, ලිකර්, සෝඩා, ටොනික්, සැන්ඩි, චිප්ස් ඇතුළු මේ සිය අංගෝපාංග එකල පැවති සිංහල සිනමා සංස්කෘතිය පෝෂණය කළේය.
පෝස්ටර්, ෂෝ කාඩ්, ලීෆ්ලට්, බැනර්, ස්ටිකර්, කාර් ලේබල් ද, මරදානේ, නුගේගොඩ සහ පෑලියගොඩ අහස උසට ඉදිවුණු දැවැන්ත කටවුට් ආදිය ද එම සංස්කෘතියට නව හැඩයක් හා එළියක් එක් කළේය.
ගාමිණී, විජය, ජෝ, රවීන්ද්‍ර, සනත් යන නළුවන්ට සහ සන්ධ්‍යා, විජිතා, ස්විනීතා, මාලිනී, ගීතා, ශ්‍රියානි, සබීතා, නීටා යන නිළියන්ට සිනමාලෝලීන් සිය දිවි දෙවැනි කොට පෙම් කළේ, ජීවිතයේ දුක සැප බෙදාගන්නට තමන් සමඟ අත්වැල් බැඳගන්නා සිහින කුමර කුමරියන් ලෙසින් සලකාගෙනය.
ජෝතිපාල, මිල්ටන්, බෙග්, වල්පොල, සිසිර සහ මල්ලවාරච්චිටත්, ලතා, සුජාතා සහ ඇන්ජලින්ටත් රසික රසිකාවියන් ආදරය කළේ, තමන්ගේ ජීවන අත්දැකීම් සදාතනික සිහිවටන ලෙසින් සිය හදවත්වල අමරණීයව නිදන්ගත කළ ගීත කෝකිලයන් සහ කෝකිලාවියන් යන ප්‍රේමණීය හැඟීමෙනි.
ඇන්තනී සී., ප්‍රෙඩී, ඩී.ආර්., හියුගෝ, බන්දු සහ ටෙනී ප්‍රේක්ෂක සිත් සතන් සදාතනික මිහිරෙන් කුල්මත් කළ කුසලතා පූර්ණ විකට නළුවන්ය. තමන්ගේ දුර්වල තැන් වෙත උපහාසාත්මකව බලා, ස්වයං විවේචනයේ යෙදීමේ කලාව රසිකයන්ට එන්නත් කළේ මේ පිරිසය.
ගාමිණී, විජය, ජෝති යන සදාදරණීය සිහින තාරකාවන්ගේ වියෝවත් සමඟ සිංහල සිනමාව දෙදරුම් කෑවේ ඔවුන් මේ සිනමා සංස්කෘතිය දරාගෙන සිටි මහා බලකණු නිසාය.
රොබින් තම්පෝ, ඩබ්.එම්.එස්. තම්පෝ, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා, ටයිටස් තොටවත්ත, යසපාලිත නානායක්කාර, සේන සමරසිංහ, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ යන සිනමා අධ්‍යක්ෂවරුන් සැමවිටම සිය නිර්මාණ කළේ, සිනමාව ජනතාවට විනෝදාස්වාදය සපයන මාධ්‍යයක්ය යන්න මූලික න්‍යායක් ලෙසින් සලකාගෙනය. මෙරට සිනමා කර්මාන්තය දීප්තිමත්ව බැබළුණේත්, ප්‍රේක්ෂකයන් රොද බැඳගෙන සිනමාහල් කරා ඇදී ආවේත් ඒ මූලික අරමුණ ඔවුන්ගේ සිනමා නිර්මාණ තුළින් ඉෂ්ඨ සිද්ධ වූ නිසාය.
සමාජයේ බහුතර ජනතා නියෝජනයක් සහිතව, ඒ හා බැඳුණු උප සංස්කෘති කිහිපයකට ද සබඳකම් කියමින් කර්මාන්තයක් ලෙසින් ගොඩනැගුණු ලාංකීය සිනමාවට කණකොකා හඬන්නට වූයේ, ඊට ප්‍රබුද්ධ මතවාදී අපේක්ෂා රිංගා ගැනීම නිසාය. විශේෂයෙන් මාක්ස්වාදී චින්තනයේ බලපෑම මත දේශපාලන තේමා සිංහල චිත්‍රපට කලාව තුළට රිංගා ගැනීමත් සමඟ සියල්ල ඉරිතලා යෑමට පටන් ගත්තේය. චිත්‍රපටය තුළින් දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීම පාදක කර ගනිමින් ඇරැඹි මෙම විකෘතියට උඩගෙඩි දෙන්නට විචාරකයන් යැයි කියාගන්නා අවිචාරවත් අඳ බාලයන් පිරිසක් පෙරමුණ ගත්තෝය. මේ අඳ බාල විචාරකයන්ගේ මායා බන්ධනයෙන් මුළු සමාජයේම දෑස් නීලංකාර වී ගිය අතර, ඒ ශාපයෙන් ගැලවීමට අද ද හැකියාවක් නැතිවීම ජාතියේ කරුමයක් පඩිසන් දීමකි.
දේශපාලනමය හෝ සමාජමය ප්‍රශ්න තේමා කරගත් බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමා නිර්මාණ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පොදි බැඳගෙන ලොව පුරා ප්‍රදර්ශනය වන්නේ, ඒ සිනමාකරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ විලාසයෙහි ඇති නැවුම් බව සහ ආකර්ෂණීය බව නිසාය. එම චිත්‍රපටවල තේමාවට ප්‍රස්තුත වන විෂය කෙතරම් සංකීර්ණ වුවද, එය ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරාවරණය වන්නේ ඔවුනට සරල සැහැල්ලු වින්දනය නොඅඩුව ලබා දෙමිනි. එම නිර්මාණකරුවන් සිනමාව විනෝදජනක මාධ්‍යයක්ය යන සිද්ධාන්තයෙහි පිහිටා කටයුතු කිරීම එයට මූලික හේතුවය. මෙයින් බැහැර වූ වෙනත් සිනමා රටා ගුරු කොටගත් අපේ නව සිනමාකරුවන් සිදු කළේ, විනෝදය බාල, සිල්ලර දෙයක් ලෙසින් පිළිකෙව් කොට, උසස් චිත්‍රපට ලෙසින් ජනතාවට නොතේරෙන අපභ්‍රංස ඉදිරිපත් කොට ප්‍රේක්ෂකයා සිනමාවෙන් වියුක්ත කිරීමය.
ඉන් අනතුරුව මෙම චිත්‍රපට විදේශීය සිනමා උත්සවවලට යවා, ඒ වෙනුවෙන් හඳහන් හදාගෙන, කැමති අයුරින් ප්‍රශස්ති, ගුණ ගායනා, ස්තෝත්‍ර ලියා ගනිමින් සම්මාන හංවඩුවක් ගසා ගැනීමේ දොළදුකක් මේ උදවිය තුළ හට ගත්තේය. පිටරටකින් සම්මාන නමින් ලැබෙන තබක්ක කැබැල්ලකට මෙරට බහුජන ආලෝලනයෙන් සක්‍රියව පැවති පොදු ජන සංස්කෘතික උරුමයක් උකස් කිරීමේ විනාශය ඇරඹෙන්නේ එතැන් සිටය. මේ විකාරක මනස් පුතුන් විසින් ගුරුකොට ගන්නා ලද පෝලන්ත, ප්‍රංශ සහ ස්විස් වැනි සිනමාවන්හි මූලික ගුණාංග මෙරට සිනමාව තුළ රෝපණය කිරීම ඉන් අනතුරුව සිදු වූයේය. සිනමාව විනෝදය පමණක් සපයන බාල සිල්ලර දෙයක් නොව, ජනතා ප්‍රශ්න යථාර්ථවාදීව වීමංසනය කොට ගැඹුරින් විශ්ලේෂණය කෙරෙන ප්‍රබුද්ධ කලා මාධ්‍යයක් ලෙසින් නව අර්ථකථනයකින් සමාජය ඉදිරියට ගෙන එනු ලැබීය.
ස්ත්‍රීවාදය, ලිංගිකත්වය, යථාර්ථවාදය, වර්ගවාදය යන සාමාන්‍ය ජනතාවට දිරවන්නේ නැති තේමා ඔස්සේ සිංහල සිනමාව අයාලේ ඇදී යන්නට පටන් ගත්තේය. පිටරටවලින් ලැබුණු තබක්ක පදක්කම් ගැන උජාරුවෙන් නන් දෙඩූ විචාරකයන්ගේ උඩගෙඩිදීම් ඔස්සේ යමින්, ඉන් අනතුරුව සිනමාවට පිවිසි බොහෝ නවකයන් සිය නිර්මාණ කළේ පොදු ජනතාවගෙන් දුරස් වූ මේ බහුබූත සංකල්ප හිසින් දරාගෙන, පිටරටකින් තබක්ක කැබැල්ලක් ලබාගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි.
තමන්ගේ විඩාව නිවාගෙන මානසික වින්දනයක් ලබාගැනීමේ අරමුණින් සිනමා ශාලාවට පිවිසි ප්‍රේක්ෂකයන් මේ බහුබූත චිත්‍රපට නරඹා සිනමාහලෙන් පිටතට පැමිණියේ කරකුට්ටන් වූ ඔළුගෙඩි සහිතවය. සිනමාශාලාවේ විනෝද සාගරය තුළ තමන්ගේ ප්‍රශ්න දියකර, සැහැල්ලු සිතින් ගෙදර යන්නට පුරුදුව සිටි ප්‍රේක්ෂකයන්ට සිදුවූයේ, අටෝරාශියක් බරැති බරපතළ පීඩනයකින් සිය මනස ඔද්දල් කරගෙන සිනමාහලෙන් පිටවී නන්නත්තාර වන්නටය. කරදර, හිරිහැර, පීඩා, උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් වුවද සිනමාහල් කරා ඇදී ආ ප්‍රේක්ෂක ජනතාව සිනමාහලෙන් වියුක්ත වන්නට පටන් ගත්තේ එතැන් සිටය.
අපේ රටේ විචාරකයන් විසින් සිනමාකරුවන් වර්ගීකරණය කර ලේබල් ගසන්නට වැඩපිළිවෙළක් දියත් කරනු ලැබුවේ මේ අතරවාරයේදීය. හුදෙකලා සිනමාකරුවන් බිහිවන්නට පටන් ගත්තේ ද ඉන් අනතුරුවය. සිනමාකරුවකු යනු ජනතාව සමඟ සමීප සම්බන්ධතාවක් ඇති, ජනතාව පිරිවරාගත්, ජනතාව ආදරය කරන නිර්මාණකරුවකු මිස හුදෙකලා පුද්ගලයකු නොවේ. මේ ලේබල් ගැසීම මත පොදු ජන සිනමාව ද එම සිනමා සංස්කෘතිය ද හුදෙකලා වූයේය. පොදු ජන සිනමාව වෙනුවට, හුදෙකලා සිනමාවක් තුළ අවසානයේ ඉතිරි වූයේ ප්‍රේක්ෂකයන් නොමැතිව පාළුවට ගිය චිත්‍රපට ශාලා කිහිපයක් පමණකි.
හුදෙකලා සිනමාකරුවන්ට අමතරව, එක් එක් ඉවුරුවල සිරවූ සහ මංමාවත්වල තනිවූ සිනමාකරුවන් ලෙසින් ද විචාරකයන් විසින් සිනමාකරුවන් හංවඩු ගසනු ලැබීය. මේ සියල්ලෙන්ම සිදුවූයේ සිනමාවේ මූලික හරය අමතක කර, විවිධ වර්ගීකරණයට යටත් කිරීම නිසා ප්‍රේක්ෂකයන්ගෙන් තොර ඕපපාතික සිනමා කලාවක් ශේෂ වීමය.
ඉන් අනතුරුව සයනයන් මත රති සුව විඳින මස් පරුවත සහිත කාම චිත්‍රපට රැල්ලක් වසංගතයක් මෙන් පැතිර ගිය අතර, එයින් සමස්ත සිනමා ක්ෂේත්‍රයම මස්තබාල්දු වී, නන්නත්තාර වී ගියේය. නග්න රති කෙළියට පමණක් සීමා වූ, ගන්ධස්කාර මස් මඩු ලෙසින් හංවඩු ගැසුණු සිනමා ශාලාවලට යෑම පවා ප්‍රේක්ෂකයන්ට වහ කදුරු මෙන් වූයේය.
සිනමාහල්වල පැල් බැඳගෙන ‘House Full’ බෝඩ් එල්ලාගෙන ප්‍රදර්ශනය වූ විනෝදජනක චිත්‍රපට රැස්කකා නැරඹූ අසීමිත ප්‍රේක්ෂකයන් වෙනුවට, දර්ශන වාරයක් සඳහා හතර පස් දෙනකුවත් එකතු කරගැනීමේ දුෂ්කර වෑයමක නියැළෙන්නට සිනමාශාලා හිමියන්ට අද සිදුවී තිබේ.
විනෝදාස්වාදය උදෙසා චිත්‍රපට නිෂ්පාදනය කළ නිර්මාණකරුවන් එම ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නට වූ අතර, ඊට සමගාමීව ප්‍රේක්ෂක ජනතාව ද එය අතහැර ඉන් ඉවතට ගියෝය. මේ තත්ත්වය තුළ විචාරකයන්ගේ කෙවිටට සහ නාස් ලණුවට හීලෑ වූ සහ එයින් ප්‍රහර්ෂයට පත් වූ නවක සිනමාකරුවන්ගේ ඒකායන ප්‍රයත්නය වූයේ, පිටරටක සම්මානයක් අපේක්ෂාවෙන් ලිංගිකත්වය, යථාර්ථවාදය, දේශපාලනය, වර්ගවාදය, පරපීඩකත්වය යනාදී විවිධ තේමා තිරය මත නිරාවරණය කෙරෙන එලොවටත් නැති, මෙලොවටත් නැති, මෙලෝ රහක් නැති මනස කුරුවල් කරන විකාරරූපී මනස්ගාත බිහි කිරීමය. මේ ගෝතකරුම ඔස්සේ ආයෙත් මේ සම්මජාතියේ ගොඩගැනීමට බැරි තරම් අගාධයකට අද සිනමාව ඇදවැටී තිබීම ඛේදජනකය.
ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ සිනමාව සමඟ සමගාමීව බොලිවුඩයේ ජනප්‍රිය විනෝදකාමී සිනමාව තව තවත් වර්ධනය වී මුළු ලෝකයම ජය ගත්තා හැරෙන්නට, ඒ කිසිවකු රායි පැටව් වෙන්නට ගියේ නැත. අපේ අයියලාට තේරුම් ගන්නට නොහැකි වූ ද, අපට ඉන්දියාවෙන් ඉගෙන ගන්නට තිබූ එකම පාඩම වූයේ ද එයයි.
දකුණු ඉන්දීය සුපිරි නළු සහ ගායක විජේ රඟපාන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණොත් මේ පවතින ගරාවැටුණු තත්ත්වය යටතේ වුවද, අතුරු සිදුරු නැතිව සිංහල සහ දෙමළ ප්‍රේක්ෂකයන් සිනමාහල් කරා රොද බැඳෙනු සිකුරුය. අලුත්ම හින්දි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණද තත්ත්වය එසේමය. රහස අන්න එතැනය. සිදුවී ඇත්තේ මිනිසුන්ට සිනමාව එපාවීම නොවේ. මිනිසුන්ට එපාවන චිත්‍රපට හැදීමය. හොඳ දේ පිළිගනිමින්, නරක දේ පිළිකෙව් කිරීම ප්‍රේක්ෂකයන්ගේ සිරිතය.
ඉන්දියාව සිනමා කර්මාන්තයේ කෙළ පැමිණ සිටියද කලාව සහ කර්මාන්තය යන දෙකම රැකෙන පරිදි චිත්‍රපට නිර්මාණය කිරීමට ඒ නිර්මාණකරුවෝ සමත්ව සිටිති. විනෝදය නැති සිනමාවකට ප්‍රේක්ෂක ආකර්ෂණයක් නැති බවත්, එය නැති තැන සිනමා කර්මාන්තයක් නැති බවත් ඔවුහු අවබෝධ කරගෙන සිටිති. ප්‍රේක්ෂකයන් පොදිගැසී සිනමාහල්වල රැස්කන්නේ ඒ චිත්‍රපටවලින් අපේක්ෂිත විනෝදාස්වාදය ඔවුන්ට ලැබෙන නිසාය. ඉන්දියාවට ජාතක වූ සිංහල සිනමාව දැන් අවජාතක වී ඇත්තේ වල්මත් වී හසරක් නොදැක දුවන්නන් වාලේ දුවන තරමට ඇට්ටකුණා වී ඇති නිසාය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ නින්දා සහගත බිහිසුණු කාලපරිච්ඡේදයක් සනිටුහන් කළ 1983 කළු ජූලියේදී ජාතිවාදී තිරිසන් උන්මත්තකයන් විසින් කරන ලද සැහැසි, ම්ලේච්ඡ ක්‍රියා ද සිංහල සිනමාවේ කඩා වැටීමට අනියමින් බලපෑ සාධකයන්ය. දෙමළ විරෝධය විසින් උසිගන්වන ලද මිනීමරු කැනහිලුන් විසින් ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන හා නිවෙස් ගිනිබත් කර ඔවුන් අමුඅමුවේ මරා දමන ලද්දේ ඉතාම තිරශ්චීන අන්දමිනි. මේ විනාශකාරී ත්‍රස්තවාදී භීෂණ රැල්ලෙන් මුළු රටම ගිනිගෙන දැවෙද්දී ද්‍රවිඩ ජාතිකයන්ට අයත්, සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණු ප්‍රධාන පෙළේ සිනමා ශාලා 15 ක් සහමුලින්ම ගිනිබත් කර විනාශ කර දමන ලද්දේ හිත්පිත් නැති අයුරිනි.
මරදානේ - ගාමිණී, වැල්ලවත්තේ - සැපායර්, කොම්පඤ්ඤවීදියේ - රියෝ, කොළඹ - නවා, කිරුළපන - කල්පනා, දෙහිවල - ට්‍රියෝ, මීගමුවේ - රාජ්, මාතලේ - කැසිනෝ, කඳපොල - රාධා, ත්‍රිකුණාමලයේ - නිර්මලකාන්ත්, බදුල්ලේ - ලිබර්ටි, බදුල්ලේ - මොඩර්න්, බණ්ඩාරවෙල – මොඩර්න්, අනුරාධපුර - සිත්තම්පලම් සහ මුතුර්හි - ඉම්පීරියල් යනු එසේ විනාශ කර දමන ලද සිනමා ශාලාය. ප්‍රධාන ධාරාවේ සිනමාහල් 15 ක් මෙසේ විනාශ වී යාමෙන්ද සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට වැදුණේ මරු පහරකි.
ඊට අමතරව සිංහල සිනමා නිෂ්පාදන කාර්යයේ මර්මස්ථානයක්ව පැවති සීමාසහිත සිනමාස් සමාගමට අයත් හැඳල විජය ස්ටුඩියෝ චිත්‍රාගාරයට මෙම ජාතිවාදීන් විසින් කරන ලද විනාශය ඊට නොදෙවැනිය. ඒ අවස්ථාවේ විජය චිත්‍රාගාරයේ සිටි චිත්‍රපට නිෂ්පාදක විජය රාමනායකත්, මාත් ඉදිරිපිටදීම චිත්‍රාගාරයේ සිය දේපළ පාදඩ රස්තියාදුකාරයන් විසින් විනාශ කර දමන ලද්දේ ඉතාමත් සැහැසි අන්දමටය. දළ සේයාපට, රූගත කරන ලද සේයාපට සහ චිත්‍රාගාරයේ ගබඩා කර තිබූ සිංහල චිත්‍රපටවල පිටපත් විශාල සංඛ්‍යාවක් මහමඟ දිගේ ඇදගෙන ගිය අන්දම සියැසින් දුටු අපගේ සිත් හඬාවැටුණේ වේදනාව දරාගත නොහැකිවය. එම සේයාපට පිළිස්සීමෙන් රිදී ලබාගත හැකි බවට පැතිර ගිය මිථ්‍යා මතයකින් මුලාවට පත් තිරිසනුන් අතර එම සේයාපට තොග තමන් සතු කර ගැනීම සඳහා පැවතියේ බලගතු සටනකි.
විජය කුමාරණතුංග සහ රවීන්ද්‍ර රන්දෙණිය ඒ අවස්ථාවේ එතැනට පැමිණ ඉතා අසීරුවෙන් තත්ත්වය පහදා දීමෙන් පසු විනාශකාරීන් පාලනය කර ගැනීමට හැකි වුවද, ඒ වනවිටත් බරපතළ හානිය සිදුවී අවසන්ය. මෙම මුග්ධ ක්‍රියාව නිසා එවකට නිෂ්පාදන කටයුතු කෙරෙමින් පැවති චිත්‍රපට රැසක්ම විනාශ වූ අතර, සිංහල සිනමා වංශකතාවේ පිරවිය නොහැකි හිස්තැන් රැසක් සනිටුහන් කරමින් චිත්‍රපට විශාල ප්‍රමාණයක් දැවී අළු වී ගියේය.
මේ සැහැසි අළුගුත්තේරු ක්‍රියා අතර සිත් කම්පා කරවන ඉතාමත් ම්ලේච්ඡ තිරශ්චීන ක්‍රියාවක් වූයේ සිංහල චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඉතාම අහිංසක පුද්ගලයකු වූ චිත්‍රපට අධ්‍යක්ෂ කේ. වෙන්කට් අමුඅමුවේ මරා දැමීමය. ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’, ‘උතුම් ස්ත්‍රිය’, ‘අද මෙහෙමයි’, ‘ගොපලු ̈ හඬ’, ‘දමයන්ති’, ‘නිලූකා’, ‘ශ්‍රී පතුල’ සහ ‘මගේ අම්මා’ යන සිංහල චිත්‍රපට සිනමා රසිකයන්ට දායාද කළ ඔහු, පාහර සිංහල මස් වැද්දන් අතින්ම මරණයට ගොදුරු වීම දෛවයේ සරදමකි.
ලෝකය ඩිජිටල්කරණයට පිවිසීමත් සමඟ ඊට අනුරූපව සිනමාව ද එම තාක්ෂණයට යොමුවීමේ අවශ්‍යතාව පැරමවුන්ට්, වෝල්ට් ඩිස්නි, යුනිවර්සල් සහ සෝනි පික්චර්ස් වැනි ලොව ප්‍රධාන පෙළේ චිත්‍රපට සමාගම්වලට දැඩිව දැනෙන්නට පටන් ගත්තේය. චිත්‍රපට නිෂ්පාදනයේ එතෙක් පැවැති දැවැන්ත නිෂ්පාදන වියදම් අඩුකර ගැනීමත්, ගබඩා පහසුකම් අවම කර ගැනීමත්, බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමත් සඳහා මෙය අත්‍යවශ්‍යයෙන්ම ගත යුතු කඩිනම් පියවරක් වූයේය.
චිත්‍රපට නිෂ්පාදනය ඩිජිටල්කරණයට නතුවීමත් සමඟ නැගුණු මතවාදයක් වූයේ එම චිත්‍රපට පෙන්වීම සඳහා නව තාක්ෂණයට අනුරූප වූ සිනමා ශාලා නොමැති බවය. ඊට විසඳුමක් ලෙසින් යට කී ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදන සමාගම් ලොව පුරා චිත්‍රපට ප්‍රදර්ශන ශාලා ඩිජිටල්කරණය කිරීම සඳහා ඉතා සහනදායක, ප්‍රායෝගික අනුග්‍රාහකත්වයක් ලබාදීමට ඉදිරිපත් වූ අතර, ඒ සඳහා ලොව පුරා සිනමාශාලා හිමියන්ගේ කැමැත්ත පළවූයේ එසැණිනි. එහෙත්, කරුමයක මහත! මෙරට සිනමාහල් හිමියන් එම ශුභවාදී යෝජනාව පිටුදැක්කේ ඉතාම මුග්ධ විදියටය. නව තාක්ෂණයෙන් යාවත්කාලීන වීමට වරම් නොලද මෙරට සිනමා ශාලා වවුලන් ලගින පාළු අම්බලම් බවට පත් වූයේ නිරායාසයෙනි.
මේ සියලු සිදුවීම් සිංහල සිනමා කර්මාන්තයේ බිඳවැටීමටත්, එහි අනාගතය බරපතළ ලෙසින් අඳුරු වීමටත් බලපෑවේය. ම්ලේච්ඡ තිරිසන් ක්‍රියා නිසාත්, අපේ සිනමාකරුවන් පිටපොට වරද්දාගෙන පිස්සු කෙළීම නිසාත්, නව තාක්ෂණය පිටුදැකීම නිසාත්, සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයන් සහ සිනමා ශාලා අතර පැවති අවියෝජනීය සම්බන්ධතාව සහමුලින්ම බිඳී ගියේය.
දකුණෙන් රෝන් සයිඩ් එකේ වාහන පදවා චකබ්ලාස් කරගන්නා එල් බෝඩ් නාමධාරීන් ලෙසින් චිත්‍රපට නිර්මාණයට බට යථාර්ථවාදී සිනමා පකීර්ලා සහ ත්‍රාඩ රස්තියාදුකාර අවජාතක කබ්බන් ෆෝම් වීමෙන්, නවීන තාක්ෂණය පිටුදැකීමෙන් යහපත් විනෝද මාධ්‍යයක්ව පැවති සිංහල සිනමාවට කෙළවුණේ ඒ ආකාරයටය. ප්‍රේක්ෂකයන්ට විනෝදයත්, ආදර්ශයත් සපයමින් සිනමාහල්වල දින 100 - 200 වාර්තා පිට වාර්තා පිහිටවූ නිර්මාණකරුවන් බයිස්කෝප්කාරයන් ලෙස අවඥාවෙන් හෙළා දකිමින්, සිනමාවේ තෝන් ලණුව අතට ගෙන අයාලේ ගොස් නන්නත්තාරව මඤ්ඤං කර දැමූ පාපය, ලේ පිපාසිත මිනීමරු පාදඩ මස් වැද්දන් විසින් සිනමා ශාලාවලට කරන ලද විනාශයේ ශාපය සහ නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳගැනීමට පසුබෑම යන සියල්ලෙන්ම ඔත්පලව මර ඇඳේ සිටින සිංහල සිනමාවට යළිත් වසන්තය උදාකරවීම දැන් නම් සක්කරයාගේ පුතා වයිමාටවත් බැරි බව සක් සුදක් සේ පැහැදිලිය.