2025 ජුලි 12 වන සෙනසුරාදා

මම හැමදාමත් ජීවිතය හොයන්න, අධ්‍යනය කරන්න ගවේෂණය කරන්න කැමති කෙනෙක් - Malaka Yapa

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

ලෝකයේ සෑම අහුමුල්ලක්ම සොඳුරු නවාතැන්පොළක් බවට පරිවර්තනය කරනු පිණිස ලෝකයට අවැසි වන්නේ අමුතු විදිහට වෙනස් විදිහට හිතන මිනිසුන්ය. ධෛර්ය අත්නොහැර ජීවිතය ස්නේහයෙන් සිඹින මිනිසුන්ය. අභියෝග ආදරයෙන් බාරගෙන දෙවුර දරාගන්නා, වගකීම කුමක් වුවත් ඒ වගකීමට උපරිම සාධාරණයක් ඉටු කරන්නට හදවතින්ම පේවෙන මිනිසුන්ය. ඉතින් Mega Live Events නිර්මාතෘවරයා ද එවන් පෞරුෂයක් සහිත මිනිසෙකු ලෙස ඔබට හඳුන්වා දෙන්නට මට සිතෙයි.
ඇයි ඒ?

ශිෂ්‍යයකු ලෙස ඔස්ට්‍රේලියාවට ගිය මාලක හුදෙක් ව්‍යාපාරිකයකු වෙසින් පමණක් නොව නිර්මාණශීලී චින්තනයක් සහිත ප්‍රසංග සංවිධායකවරයකු සහ නිර්මාණශීලී ව්‍යාපාරිකයකු ලෙස ස්ව අනන්‍යතාවක් සහිතව ගොඩනැගෙන්නේ අමුතු වෙනස් සොඳුරු දැක්මක් සහිත පෞරුෂයක අයිතිකාරයකු වූ නිසා යැයි මට සිතේ.

අද වනවිට ශ්‍රී ලාංකික සිනමාව වෙනුවෙන් Mega Live හි නිර්මාතෘවරයා ලෙස මාලක ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් කරන මෙහෙවර අකුරු වියමනකට ලඝු කරන්නට මම නොවෙහෙසෙමි. මක් නිසාද යත් ලාංකික සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනගන්නටත් Mega Live ඔස්සේ සපයන දායකත්වය සුවිශිෂ්ට වන හෙයිනි. වසර ගණනක් පුරා ප්‍රදර්ශනයට වරම් නොලැබ පෝලිම්වල රස්තියාදු වෙන චිත්‍රපට අතර ගුණාත්මක සහ සෞන්දර්යාත්මක චිත්‍රපට ද නැතුවාම නොවේ. එවන් චිත්‍රපට ලාංකික ප්‍රේක්ෂකාගාරය අබිමුව දිගහැරෙන්නටත් ප්‍රථම ඔස්ට්‍රේලියානු මෙන්ම වරෙක නවසීලන්ත ප්‍රේක්ෂකාගාර ඉදිරියේ දිගහැරෙන්නේත් ඒ ඔස්සේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ට ආර්ථිකමය වශයෙන් සහ තෘප්තිමත් මානසික සතුට සහ සහනය උදෙසා ශක්තියක් වන්නේත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ රංගන ශිල්පීන්ට උත්තේජකයක් සපයන්නේත් සැබැවින්ම ශ්‍රී ලාංකික සිනමාව වෙනුවෙන් ඉටුකරන සේවාවේ තරම කොතෙක්දැයි විවරණය කරන්නට අසීරු තරම් සීමාවක සිටය.
ඒ උදාරතර සිනමාමය සේවාවට ස්තුතියේ මල් කළඹක් පිරිනමමින් මාලක හා කතාබහේ තතු මෙලෙස අකුරු වියමනකට ගෙත්තම් කරමි.

ලංකාවේ ඉඳන් ඔස්ට්‍රේලියාවට ගිය ඔබට ඔබ සෙවූ ජීවිතය හමුවුණාදැයි මට කියන්න?

ඔව් සහ ජීවිතය තවදුරටත් සොයමින් සිටින කෙනෙක් තමයි මාලක කියන්නේ කියලා මම කිව්වොත් ඒක තමයි හරිම උත්තරය.

“ජීවිතය තවදුරටත් සොයමින් සිටින කෙනෙක්”... ඇයි එහෙම කියන්නෙ?

මම හැමදාමත් ජීවිතය හොයන්න, අධ්‍යනය කරන්න, ගවේෂණය කරන්න කැමති කෙනෙක්. ජීවිතය නොයෙක් පැතිකඩ ඔස්සේ ගවේෂණය කරන්න, අධ්‍යනය කරන්න මම කැමතියි සහ ආසයි. ඒ වගේම උපරිම මානසික නිදහසකින් නිදහස් ජීවන රටාවක් ඔස්සේ ජීවිතය මෙහෙයවමින් ජීවත් වෙන්නත් මම ආසයි.

ලංකාවේ ඉඳන් ඔබ ඔස්ට්‍රේලියාවට ගියාම වෙනස කියන දේ අත්වින්ඳෙ කොයි විදිහටද?

2005 පෙබරවාරි 04 වැනිදා මම ඔස්ට්‍රේලියාවට ගියේ ශිෂ්‍යයෙක් විදිහට. ගිහින් ඉගෙන ගත්තා. ඉගෙනගෙන රැකියාවක් කරන්න පටන් ගත්තා. පසුව ව්‍යාපාර ක්ෂේත්‍රයටත් යොමු වුණා. ඇත්තටම වෙනස කියන එක විවිධාකාරයෙන් මම අත්විඳින්න පටන් ගත්තා. තමන්ට ලොකුම ශක්තිය තමන් වෙමින් ජීවත් වෙන්න පටන් ගත්තා. තමන්ගේ ජීවිතයේ බලගතුම තීරකයා තමන් කියන එක මට හුඟාක් තදින් දැනෙන්න පටන් ගත්තා. කුරුණෑගල ශාන්ත ඈන්ස් විද්‍යාලයෙන් ඉගෙන ගත්ත මම ශිෂ්‍යත්වය සමත් වී කුරුණෑගල මලියදේවයට ඇතුළු වුණා. පාසල් ජීවිතයේදී මාලක කියන්නේ පාසල් අධ්‍යාපනයට සහ විභාගවලට පමණක් කොටුවෙච්ච ශිෂ්‍යයෙක් නෙවෙයි. කවදාවත් ඒ විදිහට අධ්‍යාපනයට විතරක් ලඝු වෙන්න මම කැමති වුණේ නෑ. පොඩි කාලේ දරුවන්ගේ හීන ලොකු වෙද්දි වෙනස් වෙන තැන් තියෙනවා. පුංචි කාලේ පයිලට් කෙනෙක් වෙනවා, ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා අනාගත ප්‍රාර්ථනා ගැන කතා කරන දරුවන් සමහර විට ජීවිතය තුළ පරිණත වෙද්දි වෙනස් වෙනස් හීන හොයාගෙන යනවා. නිහඬව නිස්කලංකව මගේ අතීතය සහ ජීවිතය ගැන මමම අධ්‍යනයක යෙදෙද්දි මට හිතෙනවා මමත් එහෙම වෙනස් වෙනස් හීන හොයාගෙන ගිය දරුවෙක් සහ තරුණයෙක් කියලා. ලංකාවෙන් එද්දි මට උයන්න බෑ. හැබැයි ඔස්ට්‍රේලියාවට ඇවිත් තනියෙන් ජීවත් වෙද්දි මම උයන්න පුරුදු වුණා. දැන් මට තනියෙන් උයන්න පුළුවන්. මම මගේ දරුවන්ව වුණත් නිදහසේ තමන්ගේ වැඩ තමන් කරගෙන කාත් කවුරුත් නැති වුණත් තමන්ට තමන්ගේ ස්ව ශක්තියෙන් ජීවිතය ගොඩනගාගෙන ජීවත් වෙන්න පුළුවන් ජීවන රටාවකට පුරුදු කරලා තියෙන්නෙ.
ඇත්තටම ශිෂ්‍යයෙක් විදිහට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙච්ච කාලය හරි වෙනස්. ජීවත් වෙන්න රැකියා හොයන ගමන්, රැකියා කරන ගමන් තමයි ඉගෙන ගත්තේ. දවසට පැය තුනක් විතර නිදාගන්න වෙන් කරගෙන ඉගෙන ගන්න ගමන් රැකියා කරපු කාලයක් තිබුණා. දවල්ට ඉගෙනගෙන රෑට රැකියාවට ගිය කාලයක් තිබුණා. හැබැයි ජීවිතයේ අපි ගෙවන දුෂ්කරම කාල හරි සොඳුරු වෙහෙසක් විදිහට බාරගන්න පුළුවන් අපි ඒ දුක වෙහෙස දරාගන්නෙ කොයි වගේ අනාගතයක් සහ අනාගත ප්‍රාර්ථනා වෙනුවෙන්ද කියලා හිතට දැනෙද්දි.

මාලක ඔස්ට්‍රේලියාවේ ප්‍රසංග පැවැත්වීම ආරම්භ කළේ කොයි කාලයෙදිද?

2014 තමයි මම පළමුවෙන්ම මගේ ආරම්භය සටහන් කළේ. ඒ වෙද්දි කාලෙකින් වේදිකා නාට්‍යයක් ඔස්ට්‍රේලියාවට ගෙනත් තිබුණෙ නෑ. ඉතින් මම හිතුවා ඒ හිස්තැනට වේදිකා නාට්‍යයක් හොඳ ආයෝජනයක් වෙයි කියලා. ඒ වෙද්දි ජයලත් මනෝරත්න ප්‍රවීණ රංගන ශිල්පියාගේ පුතා ජීවත් වුණෙත් ඔස්ට්‍රේලියාවේ. මම එයාටත් කතා කරලා ජයලත් මනෝරත්න, මාදිනි මල්වත්ත වැනි ප්‍රවීණයන් රඟපෑ උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍ය ගෙන්නුවා. දවස් දහයක් තුළ ප්‍රාන්ත පහක මම ඒ නාට්‍ය පෙන්නුවා. මම මගේ ආරම්භයේ ඉඳන්ම සැලකිලිමත් වුණු දෙයක් තමයි නාට්‍යයක්, ගී ප්‍රසංගයක්, මොන දේ කළත් කලාකරුවන්ගේ වෘත්තිය වටිනාකම හා ගෞරවයට උපරිම ගරුත්වයක් දිය යුතුයි කියන කාරණය. ඔවුන් වෙහෙසට පත් නොකර ඔවුන්ගේ සැප පහසුව සහ මානසික තෘප්තිය රැකෙන විදිහට හැමදේම උපරිමයෙන් සංවිධානය කරන්න මම මහන්සි වුණා. මම එය හැමදාමත් සැලකුවේ මගේ වගකීමක් විදිහට.

කොයි තරම් හිතලා බලලා තීරණ ගත්තත් මාලක යාපා කියන ප්‍රසංග සංවිධායකවරයාට වැරදිච්ච තැනුත් තියෙනවද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකක්ද?

මම ඒ ප්‍රශ්නයට මෙහෙම උත්තරයක් දෙන්නම්. ප්‍රසංග සංවිධානයේදී හෝ ජීවිතයේ ඕනෑම සංසිද්ධියකදී වැරදුණොත් ඒ වැරදීමට හේතු විශ්ලේෂණය කරමින් ඒ වරද දිහා විවෘත මනසින් බලමින් ඒ වරද ඔස්සේම නිවැරදි දේ ඉගෙන ගැනීම තමයි මගේ විදිහ. මගේ ප්‍රතිපත්තිය. මම විශ්වාස කරනවා එතකොට එකම කාරණයක් සම්බන්ධයෙන් මනුස්සයෙකුට දෙපාරක් වරදින්න විදිහක් නෑ කියලා.

Mega live ඔස්සේ ලාංකික චිත්‍රපට ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ප්‍රේක්ෂකාගාර වෙනුවෙන් ගෙන්වද්දි ඔබ නැරඹීමෙන් අනතුරුව යම් චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කරනවානම් ඒ ප්‍රතික්ෂේප වීමට හේතු මොනවද?

අතිශය සාධාරණ හේතු මත ඇතැම් චිත්‍රපට ප්‍රතික්ෂේප කිරීමට සිදුවන වෙලාවල් තියෙනවා. ආදරය සහ විශ්වාසය මත ගොඩනගාගත් මෙම ප්‍රේක්ෂකාගාර සුරක්ෂිත කර ගැනීමේ වගකීම අපට තියෙනවා. බහුතර රසවින්දනය සහ කැමැත්ත කියන කාරණාවේදී ඔවුන් අපෙන් ඉල්ලා හිඳින දෙය කුමක්ද යන වග තේරුම් ගැනීම සහ ඊට යෝග්‍යතම ප්‍රතිචාරය දැක්වීම ඇත්තටම අපේ වගකීමක්. ඒ නිසා චිත්‍රපටයේ තාත්වික බව, එය අභව්‍ය නොවීම, එහි ගුණාත්මක හා වින්දනාත්මක වටිනාකම, මේ ආදී කරුණු රැසක් කෙරේ අපි අවධානය යොමු කරනවා. අපේ චිත්‍රපට ගෙන්වීමේ ජාලය හා බැඳුණු තවත් පාර්ශ්ව ඉන්නවා. ඒ අය චිත්‍රපටය සහ ‘ට්‍රේලර්’ එක බලලා අපට දක්වන ප්‍රතිචාරයත් අපට වැදගත්. මෙවැනි කාරණා කිහිපයක් ගැනම අවධානය යොමු කරලා සාධනීය ප්‍රතිචාර මත තමා චිත්‍රපටයක් ගෙන්වනවද නැද්ද කියන එක තීන්දු කරන්නේ. ඇත්තටම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කර ගැනීමට වඩා අසීරුම කාරණාව වන්නේ ඒ ප්‍රේක්ෂකාගාරය විශ්වසනීයත්වය සුරකිමින් දිගුකාලීනව පවත්වා ගැනීමයි. එවැනි පසුබිමක ආවට ගියාට නිතර චිත්‍රපට ගෙන්වමින් මෙහි ගුණාත්මක වටිනාකම නැතිකර ගත්තොත් ලැබෙන ප්‍රතිඵල ඍණාත්මක වීමේ සම්භාවිතාවය ඉතා ඉහළයි.

කොහොමද ඔබට ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත ප්‍රේක්ෂකාගාරවලින් ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් ධනාත්මක සුබවාදී ප්‍රතිචාර ලැබෙනවා. ලාංකිකයන් විතරක් නෙවෙයි වෙනත් විදේශිකයන්ගෙන් පවා අපේ ප්‍රේක්ෂකාගාර සමන්විතයි. එක් උදාහරණයක් විදිහට ගාඩි චිත්‍රපටය තිරගත වෙද්දි ඉන්දියානුවන් පවා ආවා ඒ චිත්‍රපටය නරඹන්න.වාලම්පූරි අපි දර්ශන වාර එකසිය හැටක් පෙන්වූවා. එය අති සාර්ථකව තිරගත වුණා. සාර්ථකත්වය උදෙසා එවන් උදාහරන රැසක් අප සතුයි. 

සිනමාව කියන්නෙ එක් භාෂාවකට, ජාතියකට, ආගමකට, පන්තියකට සීමා නොවුණු සහ සීමා කළ නොහැකි විශ්වීය භාෂාවක් සහ කලාවක් බව මාලකට දැනිලා තියෙනවද? මාලක විශ්වාස කරනවද?

ඇත්තටම ඔව්. භාෂාව, ප්‍රස්තුතය, ප්‍රස්තුතයට වලංගු පසුබිම, ඒ සිනමා නිර්මාණය අයත් රට මොකක් වුණත් සිනමාව කියන්නේ විශ්වීය භාෂණයක්, විශ්වීය කලාවක් සහ සෞන්දර්යයක්. මට එය දැනිලා තියෙනවා සහ මම එය විශ්වාස කරනවා.

කාර්යබහුලත්වය තුළ සතුට සහ නිදහස ඔබ අත්විඳින්නේ කොහොමද?

නිසි කළමනාකරණය තුළ මම ඒ සියල්ල අත්විඳිනවා. ඇත්තටම ජීවිතය තුළ දැ​ෙනන වෙහෙසකාරී බව, පීඩනය වෙනුවට සතුට නිදහස අත්විඳින මාර්ගය තමයි නිසි කළමනාකරණය කියන්නේ. මම Mega live ඔස්සේ මගේ වගකීම් සමුදාය වගේම මගේ ව්‍යාපාරික වගකීම්, තාත්තා කෙනෙක්, ස්වාමිපුරුෂයෙක් විදිහට වගකීම් වගේම මගේ සමාජීය හා වෘත්තිය වගකීම්, මේ සියල්ල මට පීඩනයක් නොවන පරිදි ඉටුකරගන්නේ මගේ නිවැරදි කළමනාකරණය තුළ කීවොත් එය සැබැවින්ම නිවැරදියි. නිවැරදි කළමනාකාරිත්වයක් තියෙන මනුස්සයකුට වැඩ කියන්නෙ වෙහෙසක් නෙවෙයි.

අපි දකිනවා විශේෂයෙන් විදේශීය ප්‍රසංග සඳහා කලාවේදීන් හෝ කලාකරුවන් ගෙන්වා ගන්නා ඇතැම් සංවිධායකයන් ඔවුන්ගේ නිවෙස්වලට එම කලාවේදීන් හෝ කලාකරුවන් ගෙන්වා ගන්නා අවස්ථාවල සහ ඔවුන් වෙනුවෙන් සාද පවත්වන විට ඔවුන් සමඟ ගීත ගයන හෝ ඔවුන් ගීත ගයන, කන බොන, කතා කරන අවස්ථා වීඩියෝගත කරමින් සමාජ මාධ්‍යයට මුදාහරිනවා. ඔබ එකඟද එයට?

කිසිසේත්ම කොහොමත් නැහැ. ඔවුන්ගේ තරු ගුණයට අපි හැමවිටම ගෞරව කළ යුතුයි සහ ඔවුන්ට අපි ඇත්තටම අවංකවම ආදරෙයි නම් ඒ තරු ගුණය රැකගන්න ඔවුන්ට අපේ අංශුමාත්‍රික සහාය හෝ ලබා දිය යුතුයි. ඔවුන් තරුවක් ලෙස නිර්මාණය කරගෙන ඇති වටිනාකම සහ ගුණාත්මක අගය ආරක්ෂා කර දීම යුතුකමක්. ඒ විදිහට වීඩියෝ පින්තූර සමාජ මාධ්‍ය තුළ මුදාහැරීම එය මුදාහරින පුද්ගලයන්ට අතිරේක වටිනාකමක් හෝ ජනප්‍රියත්වයක් වෙන්න පුළුවන්. ඒත් එය ඕනෑම ‘Artist’ කෙනෙක්ගේ ‘Star value’ එකට හානියක් විදිහටයි මම දකින්නේ. අනවශ්‍ය ලෙස ඔවුන්ගේ පෞද්ගලිකත්වය නිරාවරණය කිරීමක් විදිහටයි මම දකින්නේ. ස්වයං විනය, ආචාරශීලීත්වය සහ අවංකවම ආදරය සහ ගෞරවය ප්‍රදානය කිරීම පුද්ගල වගකීමක් සහ යුතුකමක් වග මම විශ්වාස කරනවා.

• සංජීවිකා සමරතුංග
• ඉසුරු පෙරේරා