ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ cineartsfilm නිෂ්පාදනය කළ “රිවස්ටන්” සිනමා පටයට පසුගිය දිනක අන්තර්ජාතික සම්මාන දෙකක් හිමිවුණා. මුලින්ම හදසර අපෙන් සුභ පැතුම්?
ගොඩක් ස්තූතියි. චීනයේ ෂැංහායි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී අපේ රිවස්ටන් සිනමා පටය වෙනුවෙන් හොඳම කැමරාකරණය සහ හොඳම සිනමා පිටපත වෙනුවෙන් සම්මාන දෙකක් හිමිවුණා. රටවල් එකසිය දහනමයක් පමණ මෙම සම්මාන උළෙල නියෝජනය කළා. එයින් සම්මාන නිර්දේශ වුණු රටවල්වලට ඔවුන් ආරාධනා කළා. ඒ වෙනුවෙන් අපිටත් ආරාධනා ලැබුණා. මෙය ඉහළ ගණයේ ජාත්‍යන්තර සම්මාන උළෙල පහළොවෙන් එක් සම්මාන උළෙලක්. ඒ නිසා එවැනි සම්මාන උළෙලක් නියෝජනය කිරීමම ජයග්‍රහණයක් විදියටයි අපි දකින්නේ.
නිමන්ති... මේ අන්තර්ජාතික සම්මාන උළෙල නියෝජනය කරපු අනෙකුත් රටවල් මොනවාද?
රටවල් එකසිය දහනමයක් පමණ තිබුණා. ඒ අතරින් ඉතාලිය, ඉන්දියාව, ජපානය, චීනය, ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක්ම තිබුණා. එයින් හොඳම අධ්‍යක්ෂණයට සම්මාන හිමිවුණේ ඉතාලියේ Liryc Dela Cruz ට. අවසාන වටය නියෝජනය කළ චිත්‍රපට දහයක් ඒ සම්මාන උළෙලෙදී තිරගත කළා. ඒ අතර අපේ චිත්‍රපටයත් තිබුණා.
ප්‍රභාත්... මේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරපු සිනමා පටය ගැන කතා කළොත්?
ශ්‍රී ලංකාව නියෝජනය කළේ රිවස්ටන් සිනමා පටයයි. ඒක නිෂ්පාදනය කළේ Cinearts film ආයතනය වෙනුවෙන් මමයි නිමන්තියි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලලිත් රත්නායක. රූගත කිරීම්, සංස්කරණය ඇතුළු සියලුම කටයුතු අවසන් වුණාට පස්සේ මෙය ජාත්‍යන්තර සම්මාන උළෙලවලට සුදුසු සිනමා පටයක් කියලා අපිට හිතුණා. මෙහි පිටපත, කැමරාකරණය, අධ්‍යක්ෂණය, රංගන ශිල්පීන්ගේ දක්ෂතාවය, සංස්කරණය, ඇතුළු සියල්ලම ඉතා සාර්ථක වුණා. උදිත ලක්මාල් තමයි ලංකාවේ චිත්‍රපට ජාත්‍යන්තර සම්මාන උළෙලවලට ඉදිරිපත් කරන්නේ. ඔහු රිවස්ටන් සිනමා පටයත් මෙම සම්මාන උළෙල ඇතුළු සම්මාන උළෙල කිහිපයකටම යොමු කළා.
මේ සම්මාන උළෙලට ප්‍රභාත්ටත් නිමන්තිටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී අපේ නිර්මාණවලට අනිත් රටවල්වල පිළිගැනීම කොහොමද?
ඇත්තම කිව්වොත් ඒක අපූරු පිළිගැනීමක්. ඒක අපි අපේ ඇස්වලින්ම දැක්කා. ඒ සම්මාන උළෙලේදී රිවර්ස්ටන් සිනමා පටය තුන් වතාවක් තිරගත වුණා. ඒ තුන් වතාවේම සිනමා ශාලාව පිරෙන්න ප්‍රේක්ෂකයන් හිටියා. හැම රටකම අය මේ සිනමා පටය නැරඹුවා. චිත්‍රපටය නරඹා සිනමා ශාලාවෙන් එළියට ආපු ඒ හැමෝම අපේ චිත්‍රපටය හරියට අගය කළා. එතැන තිබුණු රටවල් එක්ක බලද්දි අපේ සිනමා පටයට මෙවැනි පිළිගැනීමක් ලැබේවි කියලා අපි මුලින් හිතුවෙම නැහැ. චිත්‍රපටය පෙන්වන කාලසටහන සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරලා තිබුණා. අපේ චිත්‍රපටය දවස් තුනක් ඒ අය තිරගත කළා. ඒ වගේම සම්මාන උළෙලට ආපු මාධ්‍යවේදීන් අපේ චිත්‍රපටය ගැන බොහෝ තොරතුරු ඇහුවා. චිත්‍රපටය ගැන සම්මාන උළෙලට සහභාගි වුණු හැමෝම කතා කළා. ඒක ලොකු ජයග්‍රහණයක්.මෙම සිනමා පටයට ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, මහේන්ද්‍ර පෙරේරා සහ රන්දික ගුණතිලක රංගනයෙන් දායක වෙනවා.
මේ සම්මාන උළෙලේදී අනිත් සිනමා පට අධ්‍යක්ෂණය කරපු, නිෂ්පාදනය කරපු කලාවේදීන් සමඟ කතාබහ කරන්න ඔබ දෙපළට අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?
ඔව්... ඔවුන් එක්ක කතාබහ කරන්න අපිට අවස්ථාව ලැබුණා. හොඳම චිත්‍රපටය වුණු ඉතාලියේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Liryc Dela Cruz අපි එක්ක බොහෝ දේවල් කතාබහ කළා. ඔවුන් අපේ රටේ සුන්දරත්වය හරියට අගය කළා. අපේ චිත්‍රපටය ජීප් රථයක් ඇතුළත රූගත කෙරුණු චිත්‍රපටයක්. කුඩා ඉඩ ප්‍රමාණයක සිනමා පටයක් රූගත කිරීම් කළේ කොහොමද කියන දේ එයාලටත් කුතුහලයක් වුණා. පාතාල නායකයාව ආයුධ පෙන්වන්න කොළඹ ඉඳන් රිවස්ටන් දක්වා රැගෙන යන කොටසේ දී චිත්‍රපටයේ 90% ක්ම රුගත කිරීම් කළේ ජීප් රථය ඇතුළතයි. ඒක හරි අභියෝගයක්. ඉඩකඩ සීමා වුණු තැනක කැමරාකරණය කිරීමම ලොකු අභියෝගයක්.
නිමන්ති... මේ අන්තර්ජාතික සම්මාන උළෙලේදී රිවස්ටන් සිනමා පටයට සම්මාන දෙකක්ම හිමිවුණා?
ඔව්... රිවස්ටන් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන උළෙලේදී හොඳම කැමරාකරණය (best cinematography) වෙනුවෙන් ප්‍රභාත් රෝෂන්ටත්, හොඳම තිර රචනය (best screenplay) වෙනුවෙන් ලලිත් රත්නායකට සහ නිලන්ත පෙරේරාටත් සම්මාන හිමිවුණා. සම්මාන උළෙලේදී එකම රටකට සම්මාන දෙකක් හිමිවුණු එකම රට වුණෙත් අපේ රට විතරමයි. ඒකත් තවත් ජයග්‍රහණයක් විදියට අපි හිතනවා.
ප්‍රභාත්... රිවස්ටන් සිනමා පටය කැමරා කරද්දී ලබපු අත්දැකීම් සහ අභියෝග මොනවද?
මේ චිත්‍රපටය සාර්ථක කරගන්න රංගන ශිල්පීන්ගෙන් වගේම කාර්මික ශිල්පීන් ඇතුළු හැමෝගෙන්ම උපරිම සහයෝගය ලැබුණා. ජීප් රථයේ එල්ලිලා තමයි ජීප් එක යන දර්ශන රූගත කිරීම් කළේ. ඒ අතර වරින් වර ජීප් එක ඇතුළේ කැමරා සවි කරමින් රූගත කිරීම් කළා. ඒක ලොකු අභියෝගයක්. මෙම සිනමා පටයේ එක් දර්ශනයක් අපිට ලොකු අභියෝගයක් වුණා. රිවස්ටන්වල සුළං කපොල්ලක පහළ ලොකු හෙලක් වැනි තැනක් තියෙනවා. එතැනට ජීප් රථය ගෙනියන්න බැහැ. කෝටි එකහමාරක් විතර වටිනා ජීප් රථය අපි කේබල් ආධාරයෙන් පහළට ගත්තා. අපි එතැන දවස් තුනක් රෑ එළිවෙනතුරු රූගත කිරීම් කළා. ඒ අතරේ වැස්සා. ඒ වැස්සත් එක්ක හමපු සුළඟ හරි සීතලයි. රංගන ශිල්පීන් ජීප් එකෙන් එළියට ආපු ගමන් ඒ අය වෙව්ලන්න පටන් ගත්තා. ඒක ලොකු අභියෝගයක්. හැබැයි හැමෝගෙම එකමුතුවෙන් අපි දවස් විස්සකින් රූගත කිරීම් අවසන් කළා.
එවැනි අභියෝගයක් එක්ක නිර්මාණය වුණු චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිවුණා. මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි.. ඒ වෙනුවෙන් මෙම නිර්මාණයට දායක වුණු හැමෝටම ස්තූති කරනවා. චීනයේ ෂැංහායි අන්තර්ජාතික සම්මාන උළෙල ආරම්භ කරලා දැන් වසර තිහකට ආසන්නයි. හැබැයි මීට පෙර ෂැංහායි අන්තර්ජාතික සම්මාන උළෙලේදී අපේ රටට සම්මානයක් ලැබිලා තිබුණේ නැහැ. මේ සම්මාන උළෙලේ සම්මාන දෙකක් ලබා ගැනීමම ලොකු ජයග්‍රහණයක්. රිවස්ටන් තවත් ජාත්‍යන්තර සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කරන්න නියමිතයි. ඔය අතරේ ලබන වසර මුලදී පමණ රිවස්ටන් අපේ ශ්‍රී ලාංකික සිනමාලෝලීන්ටත් දැක බලාගන්න පුළුවන් වේවි.
• දිශානි ජයමාලි