2025 ජුනි 07 වන සෙනසුරාදා

එක දෙබසකට ඔහු දෙන මහන්සිය මාරයි - Divyasharika Brendon

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

 

ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කළ “දේවි කුසුමාසන”‍ සිනමාපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මට ඒ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන්. ඔහු “ඉන්ද්‍රජාලික පෙම්වතිය”‍ වේදිකා නාට්‍ය නරඹලා තිබුණා. ඒකෙන් තමයි ඔහු මාව “දේවි කුසුමාසන” චිත්‍රපටයේ එමානුවෙලාගේ චරිතයට තෝරා ගත්තෙ

ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකට අවස්ථාව ලැබීම ගැන මොකද හිතුණෙ?

ඒක වචනයෙන් කියාගන්න බැරි සතුටක්. ඔහු මේ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්. රංගන ශිල්පිනියක් විදිහට මගේ ජීවිතෙත් කලාව ගැන පුංචි පුංචි හීන ටිකක් තිබුණා. ඒ අතරින් ජයන්ත චන්ද්‍රසිරි නම් දැවැන්ත, ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකට සම්බන්ධ වීමත් මම දැකපු එක්තරා හීනයක්. ඉතින් ඒ හීනය හැබෑ වෙද්දි ඒක පුදුමාකාර සතුටක්.

ලැබුණු චරිතය ගැන යමක් කියන්න?

මම රඟපාන්නේ එමානුවෙලාගේ චරිතයයි. ඇය විදේශීය කාන්තාවක්. ඇය ගැන මම වැඩිය කියන්නේ නැහැ. එහෙම වුණොත් මම කියන රාමුව ඇතුළේ ප්‍රේක්ෂකයන් ඇයව දකින්න පුළුවන්. එමානුවෙලා කියන චරිතය මේ සමාජයේ අපි අතරේ ජීවත් වෙන්න පුළුවන්.

ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මොනවගේ අධ්‍යක්ෂවරයෙක්ද?

ඔහු ඇත්තටම හරි සුන්දර මනුස්සයෙක්. සොඳුරු අධ්‍යක්ෂවරයෙක්. ඔහුගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. ඔහු එක්ක කතා කරද්දි ඔහු පුස්තකාලයක්. ඔහු විශ්වවිද්‍යාලයක්. එක දෙබසකට ඔහු දෙන මහන්සිය මාරයි. අපිට ඒ රංගනය නිසි විදිහට කරන්න අවශ්‍ය පරිසරය සර් හදලා දුන්නා. ඒ කතාවේ පසුබිම, ඒ චරිත ගැන හරියටම නිර්මාණයකට අදාළ විදිහට සර් චරිත ගොඩනැගුවා. ඒ කාලය හරි අපූරුයි. මට රූගත කිරීම් තිබුණේ දින දෙකයි. ඒ දින දෙකට මම ඉගෙන ගත්ත දේවල් එක්ක බලද්දි නිර්මාණය පුරාවට රඟපාපු අය කොයිතරම් වාසනාවන්ත වෙන්න ඇතිද කියලා අද මට හිතෙනවා. මට ඒ ගත කරපු දවස් දෙක තුළදී මගේ රංගන ජීවිතයේ බොහෝ අත්දැකීම් එකතු කරගන්න ලැබුණා. ඒ වගේම ඉගෙන ගන්න බොහෝ දේවල් තිබුණා.

රංගනයට දායක වුණු සෙසු අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

මට රඟපාන්න ලැබුණේ හේමාල් අයියා එක්කයි. චරිතයක් තනිවම සාර්ථක කරගන්න බැහැ. මට එමානුවෙලාගේ චරිතය ගොඩනගන්න උදව් කරපු ජයන්ත චන්ද්‍රසිරි සර්ට ගොඩක් ස්තූති කරනවා. ඒ වගේම මාත් එක්ක රඟපාපු හේමාල් අයියටත් ස්තූති කරනවා. ඔහු මට වඩා ගොඩක් ජ්‍යෙෂ්ඨ කෙනෙක්. නිර්මාණයේදී ඔහු මට පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා. ඔහුත් හරි සුන්දර මනුස්සයෙක්. සිනමාවට ආධුනිකයෙක් වුණු මට එමානුවෙලාගේ චරිතය කරන්න ලබා දුන්න සහයෝගයට දේවි කුසුමාසන මුළු කණ්ඩායමටම මම ස්තූති කරනවා.

නිළියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?

මම හිතන විදියට ඒක මගේ යටි හිතේ තිබුණු දැඩි ආශාවක් වගේම ආදරයක්. හැබැයි මම නිළියක් වෙන්න බලාගෙන උසස් පෙළ කරන තුරාවට වැඩ කරපු කෙනෙක් නෙවෙයි. මම නීතිඥවරියක් වෙන්න ආසා කළා. හැබැයි පහු කාලයේදී නාට්‍ය හා රංග කලාව කරලා නීති අංශයට යන්න අමාරුයි කියලා මම දැනගත්තා. මේ හැමදේම සිදුවිය යුතු විදිහට වුණා කියලයි මට හිතෙන්නෙ. අද මම නිළියක් වීම ගැන ගොඩක් සතුටුයි.

ජීවිතයේ ඒ හැරවුම සිදුවුණේ කොතැනින්ද?

මම හිතන්නේ කලාවේ මගේ හැරවුම සිදුවුණේ කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණීමත් සමඟයි. මම ප්‍රියංකර රත්නායක සර් යටතේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එතැනදි තව අධ්‍යක්ෂවරුන් මුණගැහුණා. ඔවුන් මාර්ගයෙන් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. ඊට පස්සේ නිවේදන වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ විදිහට තමයි කලා කටයුතුවලට සම්බන්ධ වුණේ.

දිව්‍යශාරිකා පාසල් වේදිකාවට සම්බන්ධ වුණේ නැද්ද?

නැහැ... මම කිසිම දේකට ඉදිරිපත් වුණු ශිෂ්‍යාවක් නෙවෙයි. මම පාසල් තුනක අධ්‍යාපනය ලැබුවා. ඒ පාසල් තුනේදීම මම කිසිම දේකට සම්බන්ධ වුණේ නැහැ. රංගනය තියා නිවේදනයටවත් මම සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා අද මම කලාවේ නියැලීමම මගේ බොහෝ පාසල් ගුරුවරුන්ට පුදුමයක්. ඒ කාලේ ඒ කිසිම දේකට ඉදිරිපත් වෙන්න මම හරි ලැජ්ජයි.

කැලණිය විශ්වවිද්‍යාලය මොන වගේ තැනක්ද?

මම තෝරාගත්තේ ජන සන්නිවේදනය, සිංහල නාට්‍ය හා රංග කලාවයි. මම විශේෂ උපාධිය සඳහා ජන සන්නිවේදනය තෝරාගන්නත් හිතුවා. හැබැයි නාට්‍ය හා රංග කලාව මගේ ආසම විෂය නිසා මම ඒක තෝරා ගත්තා. ප්‍රායෝගිකව මේ විෂය හදාරද්දිත්, ගුරුවරුන් එක්ක වැඩ කරද්දිත්, මගේ මොකක්දෝ හැකියාවක් ඒ ගුරුවරුන් හඳුනාගන්න ඇති. ඇත්තටම විශ්වවිද්‍යාලය මට හරි අපූරු තැනක් වුණා. රංග බණ්ඩාරනායක මහතා ජාතික රූපවාහිනී නාලිකාවේ නුග සෙවණ වැඩසටහනේ නිවේදන කටයුතුවලට මට ආරාධනා කළා. ඒ අනුව මම රූපවාහිනී නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණා.

මේ දිනවල දිව්‍යශාරිකා මොකද කරන්නෙ?

මේ දිනවල ජාතික රූපවාහිනියේ “රිද්ම”‍ වැඩසටහන නිවේදනය කරනවා. ඊට අමතරව ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ “පිරිමි ළමයි”‍ ටෙලිනාට්‍යයටත්, හසුන් සමීර මහතාගේ “පාරාදීසේ”‍ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔය අතරේ “දුක්ගිනි සින්දන” වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක අධ්‍යක්ෂණය කළේ ඉසුරු ගුණවර්ධනයි.

කලාවට සම්බන්ධ වෙනවට දෙමව්පියන්ගෙන් අකමැත්තක් තිබුණේ නැද්ද?

නැහැ... මගේ අම්මා නැත්නම් මම කලා විෂය කරන්න ලැබෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නෙ. ඇය හරිම විවෘතව හිතන කෙනෙක්. අම්මා හැම වෙලේම මට කිව්වේ “ඔයා සතුටු දේ, ආදරය කරන දේ කරන්න”‍ කියලයි. පහුගිය කාලයේදී කෙටි කලකට මම කලාවෙන් ඈත්වෙලා හිටියා. හැබැයි “ඔයා මේ කරන දේ හරිද?” කියලා අම්මා මගෙන් නිතරම ඇහුවා. ඇය තමයි මට ලොකුම ශක්තිය වුණේ. මේ ගෞරවනීය විෂයට මගේ අම්මා හරියට ආදරය කරනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

දේවි කුසුමාසන සිනමාපටය වගේ හොඳ අපූරු නිර්මාණවලට දායක වෙන්නත්, අලු‍ත් චරිත කරන්නත් මම හරිම ආසාවෙන් ඉන්නවා.

• දිශානි ජයමාලි
• ගයාන් අමරසේකර