2025 ජුනි 07 වන සෙනසුරාදා

ලෝකයේම හදගැස්මට අමුතුම සිනමා ආමන්ත්‍රණයක්!

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

දම් පාට හැන්දෑවක් දිගේ තරුවක් තරම්වත් අහසට නාව කළුවරම රාත්‍රියක් හොයාගෙන ඇවිදින්න නොහිතෙන්නෙ කාටද? අත අතනෑර අල්ලගෙන සංසාර වීදියෙන් වීදියට ආ වගක් දැනෙන සුළැඟිල්ලක හරි එල්ලීගෙන... ආහ්... අමුතු පිරිමි පපුවක උණුහුමට වාරුවෙන, පපුතුරක ගිම් නිවන රාත්‍රියකට අඬගසන්නට නොහිතෙන ආලවන්ත හිත් තියෙනවද ගැහැනුන්ගේ ලෝකයක... ඒත් ජීවිතයේ අසීරුම කාර්තුවක වුණත් අත්නොහරින්න පාරමී පුරන බැඳීම් අස්සෙනුත් නොදැනීම ගිලිහී යන ආල කතාන්දර... ආදර කතාන්දර... ප්‍රේම කතන්දර... අනේ කොච්චරක්ද? එහෙත්...

අත්හැරියත් අත්නොහරින
මඟහැරියක් මඟනොහැරෙන
ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද?
ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?
ඉතින් හමුවීමක් මිස වෙන්වීමක් තිබුණාද... මේ මහ පොළොව මත ලියැවුණු කිසිම පෙම් කතාන්දරයක...

මට හිතෙන්නෙම ආදරය ආදරයෙන් වෙන් කරන්න හැකි නමුත් ආදරය ආදරය හා යා වෙච්ච මතක පුරාණයෙන් ගලවලා වෙන් කරන්න බෑ කිසිම දවසක...

ප්‍රේමයෙන් තොර ලෝකයක්... ආදරයෙන් තොර මහ පොළොවක් නොමැවුණේ ඒ හින්දා වෙන්න ඇති...
පිපුණු මල් නටුව හැර යන වස්සානයට වැඩියෙන් මලක් නොපිපෙන ගිම්හානය සුන්දර වග කවියකට නිමිත්තක් වුණාට ආත්මයකට නිමිත්තක් නොවන්නේ ප්‍රේමයෙන් තොර ලෝකයක්.... ආදරයෙන් තොර මහ පොළොවක්... මේ විශ්වයට සපැමිණෙන කාගෙවත් ඉල්ලීමක් නොවෙන නිසා වෙන්න ඇති...

හමුවීම් - වෙන්වීම්

කවදා කොතැනකදී කවර තත්ත්පරයකදැයි නිශ්චිතව නොදන්නා හමුවීම් සහ කවදා කොතැනකදී කවර තත්ත්පරයකදැයි නිශ්චිතව නොදන්නා වෙන්වීම් අතර තීර්ථ යාත්‍රාවේ යාත්‍රිකයන් වූ මිනිසුන්ගේ හදගැස්මේ සංවාදී ස්වර රිද්ම සහ අසංවාදී නිර්වචන අතර “විඳින ආදරේ අරන් මඟහැරුණු ආදරේ සොයා යන සිනමාත්මක සංගීතමය චාරිකාවේ අවසන් පරිච්ඡේදය ලියා නිම කරන්නට කොළොම්පුර ආදරණීය වළ ළඟ මායාකාරී රාත්‍රියකින් ආයෙමත් අප මුණගැසෙන බැව් ස්ථිරයි” කියලා සනිටුහන් කරන්නෙ සුපුන්ලා...

දවසක් දා රාත්‍රියකදී කතාවක් - Film in Concert හා දැහැනක වෙළාලූ සිනමාත්මක කතාන්දරය විහාරමහා දේවි උද්‍යානයේ අසුනක හිඳ කියවන්නට විඳින්නට රස සාර මියුර හා ඇස් පියාගන්නට මම නොහිටියත් කතාවක් - Film in Concert ගැන ඇසූ මොහොතේ සිට එදා ඒ මඟහැරුණු තත්ත්පර ගැන නොලියා ඉන්න බෑ හිතුණේ එය අමුතුම වෙනස්ම රස සරාගයක් තුරුල් කරගත් සංකල්පයක් වග මට දැනිච්ච හින්දා...
ඒ සංකල්පයේ අයිතිකාරයා මේ තත්ත්පරයේ මාත් එක්ක...

සුපුන් සේනානායක... සුපුන් තවම ජීවිතය කියන මහා පුස්තකයේ පිටු පෙරළන්න පටන් ගත්තා විතරයි කියලා හිතෙන වයසක හිටියත් ඒ පෙරළපු පිටු මත ලියාලූ සටහන් පරිච්ඡේද අතරේ කතාවක් - Film in Concert කියන්නේ චමත්කාරවත්ම පරිච්ඡේදයක්... අමුතු වෙනස් උණුහුම් පරිච්ඡේදයක්...

වින්දනීය සිනමාවක් ඇස ගැටෙන මානයක තබා ඇස ගැටෙතැයි සිතෙන මානයකවත් නැති රටක... සිනමා අයිතිකාරයන් තමන් යැයි සිතාගෙන ඉන්නා උන් හිඟ නැති රටක... කළ කෙහෙල්මලක් නැතිවුණත් කෙරුම්කාර පොර මානසිකත්වයෙන් සිනමාමය ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටිනා උන් අඩුවක් නැතුව ඉන්න රටක කතාවක් - Film in Concert කියන්නෙ ඒ යකඩ දොරටු බිඳගෙන හැර දැමිය යුතු රිදීවන් ද්වාරයක් කියලයි මට හිතෙන්නෙ...

Qසුපුන්... කතාවක් Film in Concert සංකල්පය කොහොමද ඔය හිතේ ඉපදුණේ?

මම පුංචි කාලේ ඉඳන් ප්‍රසංග නරඹන්න විඳින්න ආසයි. ඒ ආසාව විසින්ම මාව මේ සංකල්පය දක්වා එක්ක එන්න ඇති කියලා මට හිතෙනවා. මම සල්ලිකාර පවුලක කොල්ලෙක් නෙවෙයි. සල්ලි තිබුණට පටන් ගත්ත... කරපු වැඩකුත් නෙවෙයි. ඒ කාලේ මම රැකියාවක් කරන ගමන් නිට්ටඹුවේ බෝඩිමක නැවතිලා හිටියේ... වැරදුණත් පැරදුණත් කමක් නෑ එහෙම වුණොත් රට ගිහින් හම්බකරලා හරි මේ වෙනුවෙන් වෙන ණයක් තිබුණොත් ගෙවනවා කියලා හිතලා... ඒත් නෑ මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය මත තමයි මම කතාවක් - Film in Concert කළේ.
සුපුන් එහෙම කියද්දි ඒ කතාවේ ඌණ පූරණයක් වෙනුවෙන් මාත් එක්ක කතා කළේ දේව්. දේව් කියන්නේ Red films දේව්... Red films කියන්නේ අවුරුදු 15 ක් විතර තිස්සේ මියුසික් වීඩියෝ, දැන්වීම්, කී නොකී බොහෝ නිර්මාණාත්මක කාර්යයන්හි නියැලෙන ආයතනයක්. කතාවක් - Film in Concert සංකල්පය සුපුන් නිර්මාණය කරද්දි එහි අධ්‍යක්ෂවරයා වුණේ දේව්...
ඉතින් දේව්...
ඇත්තටම අපි යාළුවෝ. සුපුන් හරි වාසනාවන්තයි. සුපුන්ට කතාවක් - Film in Concert කරන්න හරියන නිර්මාණාත්මක හිත් දරාගත්ත යාළුවෝ ටිකක් හිටියා. මම සුපුන් එක්ක එකතු වුණෙත් ඒ යාළුකමට...
සැබැවින්ම අවුරුදු 22 ක් තරම් පුංචි වයසකදි අමුතු වෙනස් සංකල්පයක් ඔස්සේ වෙනස්ම සිනමාවේදයක් සොයා ගිය ඒ තරුණයාගෙන් මට අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි කතාවක් - Film in Concert වෙනස වෙනස් වෙන්නෙ කොහොමද කියන එක...
මම විශ්වාස කරනවා ලංකාවේ සහ ලෝකයේ ප්‍රේක්ෂකයන්ට මෙවැනි ප්‍රාසාංගික අත්දැකීමක්... සිනමාව සහ සංගීතය කියන කලා ශානරයන් දෙකම පදමට සම්මිශ්‍රණය වූ සජීවී අත්දැකීමක් තිළිණ කරන ප්‍රාසාංගික අත්දැකීමක් නිර්මාණය වුණේ පළමු වතාවට කියලා. අපේ පළමු අත්දැකීමත් එක්කම කතා කළොත් එදා විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ අපි චිත්‍රපටය පෙන්වාගෙන යනවා... එහෙම පෙන්වාගෙන යද්දි හරි හැඟීම්බර තැනකින් චිත්‍රපටය දර්ශනය වීම එක්වරම නවතිනවා. ඒ නැවතුණාට පසුව ඒ අවසන් දර්ශනය හා බැඳුණු මනෝභවයන් හා යා වෙච්ච ගීතයක් සජීවීවම වේදිකාව මත ගයනවා.. වාදනය සපයන්නෙත් සජීවීවමයි. ගීතයෙන් පසු චිත්‍රපටය නැවත දර්ශනය වෙනවා. ඒ ගායනයට පෙර තව සුන්දරම අත්දැකීමක් ප්‍රේක්ෂකයාට විඳින්න ඉඩ ලැබෙනවා.. අපේ නාට්‍යවල හිටියනේ පොතේගුරා කියලා චරිතයක්. ඉතින් නවීකරණය වූ පොතේගුරා චරිතයක් මෙතෙන්දි වේදිකාවට එනවා. ඒ ගී ගයද්දි බටනලාව වාදනය කරන ඒ බටනලා වාදකයා බටනලාව වයමින් ගීතයට අවශ්‍ය ප්‍රවේශය අරගෙන දෙනවා.
සුපුන්ගේත් දේව්ගේත් වදන් සම්මිශ්‍රණය දිගේ මම ඔහේ ඇවිද යමි. රස සරාගයක නිතැතින්ම ඇවිද යමි. මට අඳ වාදකයා පොතෙහි පිටු අතර නැවත නැවත සරන්නට සිතෙයි. නාට්‍ය කලාවේ හරයාත්මක සංස්කෘතිකවාදී ප්‍රවේශයන්ද අත්නොහැර ඒ සාම්ප්‍රදායිකත්වයේ ආභාෂයද අවැසි ලෙස සරහා සිනමාමය සංගීතමය සංයෝජනයට කැන්දාගෙන ආ ඒ නිමැවුමෙහි රස වර්ණ විසල් මාත්‍ර ඉඳින් මම මනසින් ස්පර්ශ කරමි.

Qඑතරම් මනරම් අත්දැකීමක් අස ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙසේදැයි ඉතින් නොඅසා කෙලෙසද?

ඇත්තටම ප්‍රේක්ෂකාගාරයෙන් එන ඒ ප්‍රතිචාර පුදුම උණුසුම්... පුදුම ආදරණීයයි. ආදරය, විරහව, සිනමා රස, සංගීතමය රස ෆැන්ටසිය සහ යථාර්ථය අතර දෝලනය වන අත්දැකීමක් අපි ප්‍රේක්ෂකයන්ට අරගෙන එන්නෙ.
තවත් විශේෂයක් තියෙනවා... පළමු වතාවට තමයි 5000ක විතර විශාල පිරිසක් එකම ප්‍රේක්ෂකාගාරයක ඉඳන් චිත්‍රපටයක් බලන්නෙ. කතාවක් - Film in Concert එකේ Thank you Colombo ටික් ටොක් එකට එක්ලක්ෂ ගණනක් නැරඹුම් සංඛ්‍යාතයක් (Views) තියෙනවා. හිතාගන්න බැරි තරම් සුබවාදී ප්‍රතිචාර ලැබිලා තියෙනවා. Entertaintment Catagory එකේ අලුත් වැඩක් අපි කළා. ඒ වැඩේදි උදව් කරපු, මාව ධෛර්යමත් කරපු හැම කෙනෙක්ටම මම හදවතින්ම ස්තූතියි කියනවා. එක නමක් හරි මඟහැරුණොත්... ඒ නිසා නම් නොකීවාට ඒ හැම නමක්ම මගේ හදවතේ තියෙනවා... ඇත්තටම පළමු ප්‍රසංගයෙන් පසු විදේශීය ප්‍රසංග සඳහා ඇරියුම් ලැබුණා. ඒත් ඒ වෙනුවෙන් මම තව ටික කාලයක් ඉවසනවා. මට ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේ අත්දැකීම  ලබා දී තවත් ඔවුන් පිනවීමට කාලයක් අවශ්‍යයි.

ආදරය, විරහව සහ සංවේදී මානව මනෝභාවයන් ජීවිතයේ තත්ත්පර අතර නොවිඳින්නෙක් මේ විශ්වයට සපැමිණියේවත් මතු සපැමිණෙන්නේවත් නැත. ලෞකිකත්වය තුළ නිර්වාණය, ආදරය සහ ප්‍රේමය තුළින් මිස අන් කිසිවකින් ලද නොහැකි යැයි මම විශ්වාස කරමි. සම්මුතිය මරණයට පෙරාතුව මිනිසුන් මිය යන්නේත්, යළි උපදින්නේත්, ඉපදෙමින් හුස්මක් වැටෙන ජීවිතයක් නොව හුස්මක් ගන්න ජීවිතයක් සොයා යන්නේත් අවැසි වැසි නොවැසි... නොවැසි වැසි අවැසි ජීවිත මද්දහනේ සරතැස නිවාගනු පිණිසය. එහෙයින් සිනමාමය සංගීතමය සරාගයක සුරාන්තය දක්වා ප්‍රේක්ෂකයා කැටුව යන වගට සුපුන් සහ දේව් හෘදසාක්ෂියට එකඟව දෙන පොරොන්දුව කොතරම් නම් මනරම්දැයි සිතෙන්නේ කතාවක් - Film in Concert අවසානය සනිටුහන් කරලූ අයුරු අසන විටය.

චිත්‍රපටයේ අන්තිම දර්ශනය සජීවීවම වේදිකාව මතට ගේනවා... ඒක වෙනම අත්දැකීමක්. කතාවක් - Film in Concert එකේ කතාවේ හැටියට කොල්ලා සංගීතය ඉගෙන ගන්න විදේශගත වෙලා ආය ලංකාවට ඇවිත් ගුවන් තොටුපොළේ ඉඳන් එන තැනින් නවත්වද්දි ඒ ඇඳුමෙන්ම ඒ කොල්ලා ඒ මොහොතේ එනවා ඇත්තටම වේදිකාවට. ඇවිත් ගීය ගයද්දි එයාගේ හැරගිය පෙම්වතිය,.. දැන් ආදරවන්ත සැමියා එක්ක ඒ සංගීතය විඳින්න ඇවිත් ඒ කෙල්ලව ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙනවා. ඇය සජීවීව ප්‍රේක්ෂකාගාරයේ ඉන්නවා. ඒක රඟපෑමක් කියලා දැනෙන්නෙ නෑ...

රඟපෑමක් ලෙස නොදැනෙන ආත්මීය ආලයකින් චරිතය හා හුස්මක් ගන්නා ඒ තත්ත්පර අතර සරනය ඔහ්... මොන තරම්නම් හදවතට යා වීදැයි දන්නේ ඒ තත්ත්පර හා එදා හුස්ම ගත් ප්‍රේක්ෂකාගාරයම මිස අන් කවුරුන්ද?

ඉතින් එදාටත් වඩා සිනමාවේදයේ ආලවට්ටම් දවටාගෙන සැප්තැම්බරයේ දවසක කතාවක් - Film in Concert ඊළග  පරිච්ජේදය ඔබ අස රැඳෙන්නට එන්නට නියමිතය. ඉතින් ඒ නොපැමිණි දවස ගැන කියන්නට තවම කල් වැඩි යැයි මට සිතේ...
ඉතින් සපැමිණෙන සැප්තැම්බරයේ 
කතාවක් - Film in Concert යළිත්
කියවන්නට
විඳින්නට
මගේ කරගන්නට...ආදරයෙන් බලා හිඳිමු.

• සංජීවිකා සමරතුංග