මම ඔබව ලස්සනට සරසන්න හදවතින්ම කැපවූ අයෙක්මි. වරෙක ඔබ මට මවකි, වරෙක ඔබ මට යෙහෙළියකි, වරෙක ඔබ මට ආදරණීය සොයුරියකි. සම්මාන උත්සව, විශේෂ අවස්ථාවලට ඔබ යන හැම තැනකදීම ඔබව ලස්සන කරන්න ඔබට මාව නැතුවම බැරි වූයේ ඔබ මට දරුවකුට මෙන් ආදරය කළ නිසාය.
ඉතින්... මා ආයේ මේ සසරේ ඔබව ලස්සනට හැඩගන්වන්නේ කවදාද?
දරාගත නොහැකි හදවතින්ම දෝර ගලන වේදනාවෙන් අවසන් වරටද ඊයේ ජයරත්න මල් ශාලාවේදී උපරිමයෙන් ඔබව ලස්සනට සැරසුවෙමි.
ඒත්... වෙනදා මෙන් ඔබ මා සමඟ සිනාසී ස්තූතියි ධනූ කීවේ නැත.
ආදරණීය මාලිනී අක්කේ ඔබට සමුදෙන්න මගේ හිත වාවාගත නොහැක.
ඔබව ලස්සනට සරසවන්න ආයෙත් ධනූ කියා මට කතා කරන්නේ නැති බව මම කොහොම දරාගන්නද?
ආදරණීය මාලිනී අක්කේ ඔබ යන මේ සසර ගමනට සුගතියක්ම වේවා!
සංසාරයේ ඉක්මන් භවයක නිවනින් නිවී සැනසේවා!”
ආදරණීය මා
ධනූ
සමාජ මාධ්‍යයෙහි මෙලෙස අතිශය සංවේදී සටහනක් තැබුවේ නික්ම ගිය නිළි රැජන හැඩ කළ රූපලාවණ්‍ය ශිල්පියා වූ ධනුෂ්ක කුමාර් විසිනි. අද හදසර කතාබහ අවසන් මොහොතේදී මාලිනී ෆොන්සේකා නම් රාජිනිය හැඩ කළ ධනුෂ්ක කුමාර් සමඟයි.
“ආකාස කුසුම පරව ගියා” ධනුෂ්කට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?
සිනමාවට වගේම මාලිනී අක්කා නැති අඩුව මගේ ජීවිතේටත් කිසිම අවස්ථාවක පුරවන්න බැරි වෙයි.
ධනුෂ්කට මාලිනී ෆොන්සේකා මහත්මිය මුලින්ම මුණගැහුණේ කොහොමද?
ඒක අහම්බයෙන් සිදුවුණු සිදුවීමක්. මාලිනී අක්කා මගේ සැලෝන් එකට ආවා එක්තරා වැඩසටහනක පටිගත කිරීමකට සූදානම් වෙන්න. එහෙම ආපු අවස්ථාවේදී මාව හම්බවෙලා කතා කරලා, මම කරලා තියෙන වැඩ දැකලා ඒ ගැන කැමැත්තක් ඇතිවෙලා තමයි මාලිනී අක්කා මගේ ළඟට එන්න පටන් ගත්තෙ. ඉන්පසු අවුරුදු දහයකට ආසන්න කාලයක් මගේ අතින් ඇයට හැඩගැන්වීම් සිදු කළා.
මාලිනී ෆොන්සේකා මහත්මිය බොහෝ අවස්ථාවලදී හැඩ වුණේ ඔබේ අතින්. ඒ ගැනත් කතා කරමු?
ඔව්... මාලිනී අක්කා සහභාගිවෙන විශේෂ උත්සව අවස්ථාවලදී විතරයි මම ඇයව හැඩගැන්වීම් කළේ. චිත්‍රපටවලදී ඒ ඒ චරිතවලට ගැලපෙන විදිහට තමයි මේකප් කරන්නෙ. මම කරන්නේ සාමාන්‍ය වියානා මේකප් එකක්. ඉතින් මම කරන මේකප් එක චිත්‍රපටවලට ගැලපෙන්නෙ නැහැ. ඒවාට බොහොම ස්වභාවික මේකප් එකක් තමයි කරන්න ඕනෑ. මම අවුරුදු දහයකට ආසන්න කාලයක් ඇයව හැඩගැන්වූයේ උත්සව අවස්ථාවලට විතරයි. මාලිනියගේ ජීවිත කාලයත් එක්ක බලනකොට මම බොහොම පුංචි කාලයක් තමයි ඇය වෙනුවෙන් සේවය කරලා තියෙන්නෙ. මාලිනියගේ නිවසේ නැවතිලා ඇයගේ ඇඳුම් සකසන්න, මේකප් කරන්න, කොණ්ඩය සකසන්න, බොහෝ පිරිසක් ඇය වෙනුවෙන් කැපවෙලා වැඩ කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඒ හැම දෙනෙක්ම මතක් කරන්න ඕනෑ. සමහර වෙලාවට ඒ අයත් එක්ක බලද්දී මම බොහොම පොඩි කාලයක් තමයි ඇය වෙනුවෙන් සේවය කරලා තියෙන්නෙ. ඉතින් ඒ අයත් මම වගේම බොහොම ආදරයෙන් තමයි මාලිනී අක්කාව සරසන කටයුතු සිදු කළේ. මම හිතුවේ නෑ මේ තරම් ඉක්මනට මාලිනී අක්කා අපි අතරින් වෙන්වෙයි කියලා. මාලිනී අක්කාව එයා ආසා කරපු විදිහටම ලස්සනට ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න පුළුවන් වීම පිළිබඳව මම සතුටු වෙනවා සහ නිහතමානීව ආඩම්බර වෙනවා.
ඇය වැඩිපුරම ප්‍රිය කළේ මොනවගේ විලාසිතාද?
රංගන ශිල්පිනියක් විදිහට ඕනෑම ඇඳුමක් මාලිනී අක්කාට හරි ලස්සනට ගැලපුණා. විලාසිතා කිරීමේදී ඇය එක රාමුවකට කොටු වුණේ නැහැ. අලුත් මෝස්තර සහ විලාසිතාවලට අනුව සහ තැනට ගැලපෙන පරිදි ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්නත්, මේකප් කරන්නත් ඇය මට සහාය දුන්නා.
මාලිනී ෆොන්සේකා කියන්නේ හෙළයේ නිළි රැජන. ඇය සමඟ වෘත්තීය වශයෙන් කටයුතු කිරීම මොනවගේ අත්දැකීමක්ද?
මාලිනී අක්කා වගේ දැවැන්ත චරිතයක් එක්ක වැඩ කරන්නට ලැබීම මගේ ජීවිතයේ ලබපු ලොකුම භාග්‍යයක්. මාලිනිය වගේ විශිෂ්ට චරිතයක් මගේ අතින් ලස්සන කරන්න, ලස්සන කරලා ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්. ඇත්තටම ඒ වගේ දැවැන්ත චරිතයක් හැඩගන්වන්න ලැබුණු හැම අවස්ථාවක්ම මට ලොකු අභියෝගයක් වුණා. මොකද, අපි නිර්මාණය කරන ඇඳුම ඒ තැනට ගැලපෙයිද, මාලිනී අක්කා ඒ ඇඳුම හොඳයි කියයිද කියලා. නමුත් මට විශ්වාසයක් තිබුණා මම නිර්මාණය කරන ඇඳුම් ඇයට ලස්සනට තියෙයි කියලා. කොහොම වුණත් මාලිනිය වගේ තාරකාවක් සරසනවා කියන දේ මට අභියෝගයක් වුණා.
ඔබ එක තැනකදී කියනවා ඇය ඔබට දරුවකුට මෙන් සැලකුවා කියලා. ඒ ගැනත් වචනයක් සඳහන් කරමු?
මාලිනී අක්කා කියන්නේ කෙතරම් දැවැන්ත චරිතයක් වුණත් ඒ චරිතය ඇතුළේ බොහොම නිහතමානී සහ ආදරණීය කෙනෙක් හිටියා. මගේ ජීවිතයට සහ මගේ වෘත්තියට මාලිනී අක්කා බොහොම ලොකු ශක්තියක් වුණා.
වෘත්තීය මට්ටමෙන් ඇය නිළි රැජනක් වුණාට, සාමාන්‍ය ජීවිතයේදී ඇය බොහොම සරල කෙනෙක්. ඇයත් සමඟ ගත කරපු මොහොත හරිම සුන්දරයි. වෘත්තීය මට්ටමෙන් විතරක් නෙවෙයි, අපේ පෞද්ගලික යාළුකම් ශක්තිමත්ව තිබුණා. මාලිනී අක්කා කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට ගුරුහරුකම් ගන්න පුළුවන් කෙනෙක්. මගේ ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණු සමහර අභියෝගාත්මක අත්දැකීම්වලට මුහුණ දෙන්න මාලිනී අක්කා මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම අපි අතර හොඳ යාළුකමක් තිබුණා. මාලිනී අක්කා අසනීප වුණත් මම ගිහින් සුව දුක් බැලුවා. මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මාලිනී අක්කා ගොඩක් උපදෙස් දුන්නා. මගේ අම්මා වගේම මාලිනී අක්කාත් මගේ දියුණුව දිහා බලාගෙන ගොඩක් සතුටු වුණා. සමහර වෙලාවලදී මම මොනවා හරි දෙයක් කරන්න යනකොට මම මාලිනී අක්කාගෙන් උපදෙස් අරගෙන තියෙනවා. මාලිනී අක්කා කියන්නෙ මගේ වැඩවලදී අඩුපාඩු නිවැරදි කරලා ගොඩක් ගුරුහරුකම් දීපු කෙනෙක්. ඒ වගේ බැඳීමක් තමයි අපි අතර තිබුණේ.
නිළි රැජන අවසන් වරට හැඩ වෙන්නේත් ඔබේ අතින්. ඒ අවස්ථාව සිහිපත් කළොත්?
ඒ වෙලාවේ මට දැනුණේ නැහැ මාලිනී අක්කා අපි අතර නැහැ කියලා. වෙනදා වගේම මට මාලිනී අක්කාව සරසන්න ඕනෑ වුණා. මොකද මට හිතුණෙම එයා නිදාගෙන ඉන්නවා කියලා. අවසාන වතාවේදී ඇයව දැකපු අයත් කිව්වේ ඇය නිදාගෙන ඉන්නවා වගේ කියලා. මම හිතන්නේ මට ශක්තිය ධෛර්යය ලැබුණා ඇයව ඒ විදිහට සරසන්න. මාලිනී අක්කා ජීවත් වෙලා ඉන්න කාලේ එයාගේ ප්‍රේක්ෂකයෝ අනේ එයා හරි ලස්සනයි කියලා ඇයව බලන්න ළඟට යනවා. ඇයව අතගානවා. ඉතින් ඇය නික්ම යන මොහොතේ මට ඕනෑ කළා ඇගේ ගෞරවය තියලා ඇයව රාජිනියක් විදිහටම පිටත් කරන්න. ඇත්තටම ඒ අවස්ථාවේදී මම ගොඩක් සංවේදී වුණා. මම කවදාවත් ඒ විදිහට මාලිනී අක්කාව දකින්න හිතපු කෙනෙක් නෙවෙයි. මම හැමදාම හිතුවේ මාලිනී අක්කා මටත් වඩා කල් ජීවත් වෙන්න ඕනෑ කියලා.
• මංගලා පවිත්‍රානි