දෙසවන ද දෙනෙත ද මනස ද එක සේ පිනවාලූ ශ්‍රී ලාංකික කලාවේ සකලවිධ කලාංගයන් මත සන්නාමයක් ගොඩනංවාලූ ලූෂන් බුලත්සිංහල නම් මහා කලා පෞරුෂය පිළිබඳ “හදසර” තුති මල් මිටක් මෙලෙස පුද දෙමු. සහෘද ඔබට අප මෙලෙස ඇරයුම් කරන්නේ, ඒ මල් මිටේ එක් මලක සුවඳ විඳ සැනහෙන්නටය.
ලූෂන් බුලත්සිංහලයන් දෙසවන මත මවාලූ කන්කළු රූ රටා අප නිමිත්තයි. වරෙක මේ මහා කලාවේදියා ”මට ගී රචකයෙක් වීමේ හීනයක් තිබුණේ නෑ. එය අහම්බයක්...” යනුවෙන් පවසාලයි. ඒ අහම්බකාර කතාන්දරය නොකියා මේ අකුරු වියමන සිදුකළ නොහැකිය. ශ්‍රී ලාංකික ගී කලාවට මියුරු අරුතැති හැඟුම් සිතුවම් කළ ලූෂන් නම් ගී උල්පත සොයා ප්‍රේමණීය පේරාදෙණිය වෙත ඇවිද යා යුතුය.
මෙකල ලූෂන් බුලත්සිංහලයන් පේරාදෙණියේ ප්‍රකට සුගතදාස නම් ඇදුරුන් වෙත බටනලා වාදනය ඉගෙනීම පිණිස යමින් සිටියේය. මෙම ශිෂ්‍ය හවුලේ පසු කලෙක ප්‍රසිද්ධියට පත් කලාකරුවෝ වූහ. මේ අතර කලෙක ප්‍රකට වූ ඉන්ද්‍රා කුමාරි විජේරත්න නම් ගායිකාව ද සිටියාය. ලූෂන් බුලත්සිංහලයන් වෙත ගීයකට පද පබඳින්නට ඇරියුම් කළේ ඇයයි.
ඊට ද අපූරු නිමිත්තක් විය. එකල බණ්ඩාර නම් පාසල් ඇදුරුවරයකුගේ ඉල්ලීමකට ලූෂන් තරුණ කලාවේදියා ගීත නාට්‍යයක් ලියා දී තිබුණි. එම ගීත නාට්‍ය පාසල් වේදිකාව මත යම් ජයග්‍රහණයක් ලැබීමට සමත් විය. එම පුවත මේ ශිල්පය ලූෂන් බුලත්සිංහලයන් සතු බව කියා පෑමට මනා සාක්ෂියක් වූ නිසාම මෙම ඇරියුම ඔහු වෙත ලැබුණි.
එහෙත් හැටේ දශකයේ මුල් වසරක ලියැවුණු මෙම ගීය ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරන්නට ලූෂන් බුලත්සිංහලයන්ට වරම් නොලැබුණි. කාලය ගෙවී ගොස් ලිපිකාර සේවයට සමු දී ගුවන්විදුලිය තුළ සිය වෘත්තීය භූමිකාව අරඹන ලූෂන් හට සිය ගීතය සිහිපත් වූයේය. තමන් හට ගුවන්විදුලියේ ගුරුහරුකම් ලබා දුන් ඇග්නස් සිරිසේන මහත්මියගෙන් තමා ලියූ ගුවන්විදුලියේ පටිගත කළ ගීතය ඇත්තේ කොහේදැයි ලූෂන් බුලත්සිංහලයන් විමසා ඇත. ඉනික්බිති එම ගීතය ගුවන්විදුලියේ ප්‍රචාරය වීම ඇරඹිණි. මේ වූ කලී අප මහා කලාවේදියාගේ ගී පද රචනා කලාවේ ඇරඹුමයි.
පසුව මෙම නිර්මාණයම පාදක කොටගෙන ගුවන්විදුලි යුගයේ තවත් ගායන තරු වෙතින් ගී පද රචනා කරන්නට ලූෂන් බුලත්සිංහලයන් හට ඇරියුම් ලැබී තිබේ. සුජාතා අත්තනායක වෙතින් ලැබුණු ඇරියුම එහි සලකුණුගත අවස්ථාවක්ව ඇත. ගුවන්විදුලියේ මෙකල සමකාලීනයකු වූ, ඒ වන විටත් චිර ප්‍රසිද්ධ ගී පද රචකයකු බවට පත්ව සිටි ප්‍රේමකීර්ති ද අල්විස් තමන් හට දිරි දුන් බව, වරෙක ලූෂන් බුලත්සිංහලයන් නිහතමානීව සිහිපත් කොට තිබේ. අනතුරුව ගුවන්විදුලියට ආ-ගිය ගායක ගායිකාවන් වෙතින් පද පබැඳුමට මෙම තරුණ ගී පද රචකයාට තවත් ඇරියුම් ලැබිණි. එසේම ලූෂන් නාමය විරාජමාන වන වේදිකා නාට්‍ය කලාව තුළ, ඔහු විසින් නිර්මිත නාට්‍යවල ගීත ද ගීත රචනා කලාවේ ලූෂන් සන්නාමය තවත් තහවුරු කළේය.
මේ මහා කලාවේදියාගේ ගී පද රචනා ඉතිහාසයේ වං හුං සොයා බැලීම ඉතා රසවත් කාර්යයකි. එහෙත් ඔහු විසින් සීරුමාරුවට නිමවූ නිර්මාණ කිහිපයක් මත හෝ පරිස්සමින් ඇවිද යාමට අප ඉඩකඩ වෙන් කරගත යුතුව ඇත. ලූෂන් බුලත්සිංහලයන් විසින් හදවත සියුම් ස්වර ප්‍රකම්පනයක් කර දෙනෙත් තෙත් කෙරවූ සොඳුරු ගීයක් අද්දර අපි පළමුව නතරවීමු.
“රජ මැඳුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...
පුංචි පැටික්කන් මඟ දිග හඬවන සිල්ලර රසකැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මඟ දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ”
මේ රජ මැඳුරක නොඉපදුණු දරුවන්ගේ සුරඟන ලෝකය සුරකිනු රිසින් අනේක විධ දුක්ඛ දෝමනස්සයන් උහුලන මව්වරුන්ගේ ගීතයයි.
එච්.එම්. ජයවර්ධනයන්ගේ සුමධුර ස්වර රටා අතරේ මාලනී බුලත්සිංහලයන්ගේ මධුර හඬින් හැඩවී මේ ගීය සවන් වැකෙන විට හදවතේ සියුම් පැළුම් අතරින් හඹා යන මද මාරුතය අප කරා රැගෙන එන්නේ වේදනා නිමිත්තකි. වරෙක මේ ගීය පිළිබඳ විචාරයකදී තෙත්වූ දෙනෙතින් බිඳුණු හඬින් “මේ තමයි මගේ බාල විය” යනුවෙන් ලූෂන් බුලත්සිංහලයන් මුමුණනු අප සවන් වැකුණි. එදා ඔහු සිය බාලවියේ වූ සොඳුරු රුදුරු මතක රැසක් සභාව හමුවේ දිග හැරියේය.
සිංහල ගීත සාහිත්‍යයේ රූපකාර්ථ මැවීමේ දිව්‍යමය කවිත්වයක් ලූෂන් බුලත්සිංහලයන් සතු බව නොයෙක් වර අපට සිතී ඇත. පෙර කී ගීය සේම, මෙරට ගීත සාහිත්‍යයේ අග්‍රඵලයක් ලෙස සැලකිය හැකි මෙම අපූරු ගීය ද ඊට නිදසුනකි.
“සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//
සඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//”
තනිකඩ පිරිමියකුගේ හැඟුම් මෙතරම් සියුම් ලෙස ස්පර්ශ කළ තවත් සාහිත්‍ය කෘතියක් ශ්‍රී ලාංකික සාහිත්‍ය තුළ පවතීද යන්න සැකයකි. මෙම ගීතය වූ කලී ලූෂන් බුලත්සිංහලයන්ගේ ප්‍රතිභාව මනාකොට ලොවට ප්‍රකට වූ නිර්මාණයකි. මෙම ගීය පිළිබඳ සාහිත්‍යමය විචාර දස දහස් ගණනක් මෙතුවක් ඉතිහාසය පුරා ලියැවී තිබේ. එබැවින්ම මේ සොඳුරු නිර්මාණයට තවත් විවරණයක් ලිවීමට අපි උත්සුක නොවෙමු.
කෙසේ නමුදු මෙවන් නිර්මාණ තුළින් ප්‍රකට වන ලූෂන් බුලත්සිංහලයන්ගේ, සුභාවිත ගීයේ විප්ලවීය රැඩිකල් භාවිතයන් සියුම් ලෙස සලකුණු කොට තැබිය යුතුය. එය හුදෙක් ලූෂන් බුලත්සිංහල නම් සොඳුරු මිනිසා තුළින්ම වරක් දෙවරක් ප්‍රකට වන්නක් නොවෙයි. අප මතු උපුටා දක්වන ගීයත් ඊට කදිම නිදසුනකි.
“දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං”
දම් පාටින් සඳ බැස යන විට නිහඬව නික්ම යන්නට සැරසෙන ඒ මිනිසා කවුරුන්ද? මෙම ගීය ද සිංහල ගී විවරණය කරන්නට යත්න දරන සියලු පාර්ශ්ව තුළ කුතුහලයක් මෙන්ම තර්කයක්ද ගොඩනගාලූ නිර්මාණයකි.
එය කෙසේ නමුදු සඳ දම් පාටින් බැස යන සලකුණු සැබැවින්ම ලූෂන් බුලත්සිංහලයන් සිය දෑසින් දැක තිබේ. තම පෙම්වතියත් සමඟ වෙසක් බලන්නට ගිය රැයක, වෙසක් සඳ කොළඹ සමුදුර ගිලගන්නා පසුයම අහස දම් පාටට හැරී තිබූ’යුරු වරක් තමා දුටු බව අප මහා කලාකරුවා පවසයි. දම් පාටින් බැස යන සඳක් පිළිබඳ ගීයක් ලියැවෙන්නට නිමිත්ත වූ බව සැක නැත.
මේ ගීය මත රැඳවූ සැඟවුණු අරුත සැබවින්ම ප්‍රේමයේ අසීමාන්තික බව පිළිබඳ හැඟුම් අප තුළ ජනිත කරයි. එසේම මේ ගී පද රසගැන්වෙන ගුණදාස කපුගේ සුමධුර හඬ ද අමතක කළ නොහැකිය. මන්ද, ගතානුගතික ගී පද සාහිත්‍ය යථාවබෝධයෙන් යුතුව අතික්‍රමණය කොට ගිය ලූෂන් බුලත්සිංහලයන්ගේ නිර්මාණ රැසකට විප්ලවීය සංගීතවේදියකු ලෙස ගුණදාස කපුගේ ශූරීන් පණ පොවා ඇත. “සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ”, “විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනහ රැලී”, “තරු මල් යායම පොඩිකර අහස් විලේ” ආදී ගී කපුගේ - ලූෂන් සුසංයෝගයේ රස මහිම කියාපායි.
ලූෂන් බුලත්සිංහලයන් ගීත සාහිත්‍ය තුළ වේදිකා නිර්මාණ වෙනුවෙන් ලියැවුණු ගීත ද සුවිශේෂී බැව් සිහිපත් කළ යුතුය. “තාරාවෝ ඉගිලෙති” ඓතිහාසික වේදිකා නිර්මාණයේ එන ”මඩේ ලගින තාරාවන්” ගීතය, “රතු හැට්ටකාරී” වේදිකා නිර්මාණයේ එන “යස ඉසුරු පිරුණු තැනා” ගීතය ඒ සඳහා උදාහරණ ද්විත්වයක් පමණි. තවත් වේදිකා ගී නිර්මාණ රැසක් ලූෂන් බුලත්සිංහල නාමය ඉදිරියේ ලියැවී තිබේ.
සැබවින්ම මේ සොඳුරු කලාවේදියාගේ ගීත සාහිත්‍යයේ උරුමය පිළිබඳ කතාව කෙටියෙන් ලියා නිම කළ නොහැකිය. ලූෂන් නාමයෙන් ලියැවී ඇති ගී සමුදාය පෙළින් පෙළ අප සිහියට නැගෙයි. “කොළොම්තොට නැත මහළු වී”, “අහසින් තරුවක්”, “පිනිබර යාමේ”, “මේ ගඟ මේ දුරු කතර ගෙවා”, “පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ”, “පිපුණු මලේ රුව එමල දනීදෝ”, “සැන්දෑ අහස වගේ”, “බිංදු බිංදු තාරකා” ආදී ගීත ඒ අතරින් කිහිපයක් පමණි.
ඉඳින් අතීත පුවත් එකිනෙක යා කරමින්, ගී පද අරුත් විමසමින් මේ චාරිකාවේ තව බොහෝ දුර ඇවිද යා හැකිය. ගීත රචනය සඳහා පිදෙන ඉහළම සම්මාන කිහිපයකටම ලූෂන් බුලත්සිංහලයන් හිමිකම් කියයි. එහෙත් අදට අපි මෙම සටහන නිමා කරමු. මේ වූ කලී බුලත්සිංහලයන්ගේ මහා ගී සාහිත්‍ය මහා හැඟුමක අල්පමාත්‍රික අකුරු වියමනකි. ඉඩක් ලැබුණු ඇසිල්ලක ඔබට ද මේ හැඟුමේ කොටස්කරුවකු වී ලූෂන් ගී සමුදුරේ ගිලී යා හැකිය.
• චමිඳු නිසල්
• ජයමාල් චන්ද්‍රසිරි