2025 මැයි 24 වන සෙනසුරාදා

බිඳුණු පොළොවක වහල්වාදයට එරෙහිව හැමදාමත් හඬ නැගූ ලූෂන්

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

ඒ දවස ඒ තත්ත්පරය කවදා දැයි මට නිනව් නොහේ.
සංත්‍රාසයෙන්... අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා කන්‍යාවී...

ඒ පද මා සවනතින් පෙරී විත් හදෙහි ලැගුම් ගත් තත්ත්පරයේ පටන් ඒ ගී පද ලියුවේ කවුරුන්දැයි නොදැනම ඒ වචන අහුරට මම ආදරය කළෙමි. මහා සාගරයක් වැනි වචන සරාගයකින් එතරම්ම සුමට ලෙස පෙරහන්කඩකින් පෙරා වචන සබඳින්නේ කෙලෙසදැයි අසන්නට සිත්වන තරමටම මම ඒ වචන සුසංයෝගයට පෙම් කළෙමි. මාගේ වින්දනාත්මක පවස එදා මෙදා තුර ඔහු ලියාලූ ගී අස නැවතිල්ලේ නැවතෙමින් මා නිවාගන්නේ මා නිවාලන්නට සංගීතයටත් ගීයක වචන වියමනටත් ඒ බැඳුම තාල සංධ්වනියක් ඔස්සේ විදාලන හඬකටත් තරම් ලොව කිසිදු භාවනාවකට නොහැකි හෙයින්මය. ලෞකිකත්වය තුළ මා නිර්වාණය අත්විඳින්නේ සංගීතය තුළ යැයි මට සිතෙන තරමට එය මා නිවාලන අරුමය...
වයන්න වීණා කන්‍යාවී... ජීවිතයේ සුරාන්තය ස්පර්ශයකින් වියුක්තව මා වින්දා නම් එදවසක ඒ වින්දේ එවන් රසාලිප්තයන් ඇසුරෙහිය. ඔහ්... එය කෙතරම් මනරම් අත්දැකීමක් වීද? සංත්‍රාසයෙන්... අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා කන්‍යාවී...

ලූෂන් බුලත්සිංහල මා පළමු වරට කියවන්නේ එදවස පටන්ය. අදටත් මා දෙනයන කඳුළකින් දිලිසෙන තත්ත්පර ගෙන එන්නට ලූෂන් ලියූ රජ මැඳුරක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ ගීයට හැකිය. ඒ ගී පද දිගේ අදටත් ඔව් අදටත් මම අඳුරු කළුවර ළමා වියක හුදෙකලා වූ දැරිවියකගේ ඇඟිල්ලක එල්ලෙමි. ජීවිතයට ස්නේහයෙන් නොව ධෛර්යයෙන් ආලය කරන්නට ආලවන්තියක් සේ ස්නේහවන්තියක් සේ ජීවිතය සියලු කඨෝර මද්දහන් තුළ ඉඹින්නට මට ඉගැන්වූයේ ඒ පුංචි කෙල්ලය. එදවසක ඒ පුංචි කෙල්ල මම වෙමි. පියකුගේ ස්නේහය හිස්තැනක් සහ අඳුරු නොදන්නා අංශුමාත්‍රයක් වූ එසඳ ළඟ හිඳ දැවටෙන්නට මව් තුරුල්ලත් දුරස් වූ දවසක වෙහෙසකරම තත්ත්පරයක වුව හිස රඳන්නට යස උරහිසක් අහිමි කාලයක ළය ලෙය කිරි කෙරූ කිරි ඇබින්දක්වත් තොල නොගෑ බිළිඳියක සේ ජීවිතය දැන හඳුනාගත් ඒ පුංචි කෙල්ල හැමදාමත් මට සිහිපත් කරලන්නට රජ මැඳුරක ඉපදී හිටියානම් නුඹත් රජෙකි පුතුනේ ගීයට හැකිවුණි. බෝනික්කකුගේ අයිතිය හීනයක් වූ ඒ හීනය වෙනුවෙන් බෝනික්කකු අරන් දෙන්නට කෙනෙක් නැති වග වැටහෙන දවසක් තෙක් තනියෙන් හඬාලූ හදක හදගැස්මෙහි සංධ්වනිය අදටත් මහිත පාරවන අරුමය...
ජීවිතය යනු ඉල්ලා හිඳින සියල්ලෙහි එකතුවක් නොවන කල හැඬුම් අරුමයක් වන කිසිවකු මෙලොවට සපැමිණෙන්නට විදිහක් නැත. ජීවිතයේ තවත් එක් කලෙක පෙම්වතියක වී ප්‍රේමයේ මුද්‍රා ජීවිතයේ තැනින් තැන සනිටුහන් කරලන දවස් එළඹි කල්හිද මම තවත් අයුරකින්  ඔහු ගී ගං දෑලේ හුදෙකලා වූ වාර මෙපමණකැයි කියන්නට මම නොදන්නෙමි.

මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ...
ප්‍රේමයේ රිදුම් ලද තැනක මම මගෙන්ම විමසුවෙමි.
දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි...

ඒ සඳ මට ආදරයේ චිත්‍ර වර්ණ ගල්වන්නට ඉගැන්වූයේය. දම් පාටට කොහොමත් පෙම් කරන මම අදටත් දම් පාට ළා සඳක් දකින හීනයකින් වරෙක ඇහැරෙමි... මට ගයන්නට බෑ බෑ කියමින් පණ්ඩිත් අමරදේව මාස්ටර් දිනෙක ගැයූ
කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එනෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ 
ගීතය යථාර්ථයෙන් ඔබ්බට සත්‍ය වෙත දිනෙක මා කැටුව යන මානය මම අද මනසින් දකිමි...
ඒ සියල්ල අතර මට දැනෙන මගේම යැයි හිතෙන ප්‍රේම ගීතයක් ලියාලූ වදන් සිත්තරා ද ලූෂන්ම විය.
මුතු කුඩ ඉහලන
මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වැහි ලිහිණි
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ
දෑස ගියා ඉගිලී...
අදටත්... ඔව් අහන්න අදටත් මේ තත්ත්පරයේත් සහේතුක නොවන හේතුවකට ඒ ගී පද මා හඬවයි.
අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ...
ආහ්...

අවැසි වැසි නොවැසි සඳ
නොවැසි වැසි අවැසි සඳ...
ගිනියම් වූ ජීවිතයේ කාෂ්ඨකයට මම තවමත් වැහි ඉල්ලමි.
ලූෂන් ලියූ ගී දහසක් අතර අදටත් මා ඇඟිලි තුඩු අග්ගිසි මගේ කන්පෙති මත දවටාලන ගීතයක් වෙත්...
පිපුණු මලේ රුව එම මල දනීදෝ...
ඒ ගීතයයි...
පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ...
ඒ පද සවන් වැකෙන හැම මොහොතකම මට හිතෙන්නේ, මට දැනෙන්නේ කන්පෙති සරසන්නට කරපිංචා නැට්ටක්වත් නොතිබූ කලෙක හිත නොපාරනු පිණිස වීදුරු කැඩපත බිම දමන්නට තරම්වත් ළෙන්ගතු හිතක් මා අස නොරැඳි වගයි...
මට අමුතු අපූරු මිනිසෙක් යැයි හැඟෙන හැඟීම තුළ හුස්ම ගත්තේත්, හුස්ම ගන්නේත් හුදෙක් ගී පද රචකයෙක් පමණක් නොවේ. වේදිකා නාට්‍ය නිමැවුම්වේදියෙක්, ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිවේදකයෙක්, රාජ්‍ය නිලධාරියෙක්, මේ ආදී නොයෙක් භූමිකාවන්හි ඔහු ජීවිත රඟ මඬල තුළ රඟපෑවේය. ඒ රඟපෑ සද්දන්ත අප්‍රමාණ පොහොසත්, ඒ පොහොසත් තරමටම රුපියල් අතර නිර්ධන වූ සෞන්දර්යවාදී චමත්කාර යාත්‍රිකයා ජාති ආගම් කුල පන්ති වර්ගවාදී බෙදීම්වලින් වියුක්තව මනුෂ්‍යත්වයේ සුසුවඳට ආදරය කළ වර්ණවත් මිනිසෙකි. මට හිතෙන්නේම කිසිදා ප්‍රතික්ෂේප කළ නොහැකි, පිටමං කළ නොහැකි ගී ඇතුළු නිර්මාණ සමුදුරක් අපට දායාද කළ ලූෂන් බුලත්සිංහල නම් නිර්මාණවේදියා ආර්ථික සමෘද්ධියෙන්ද සාර සුබාවට සුභාවත් වූ කලාවක් ඇති රටක ඉපදී සිටියානම් ඒ ආර්ථික සුඛවිහරණයෙන් විවේකය ලද මානසික සුවතාවය විඳින පසුබිමක ජීවත් වූවානම් තම නිර්මාණ ප්‍රක්ෂේපණය ඔස්සේ කොතෙක් නම් දායාද විශ්වයට තිළිණ කරලන්නට තිබුණාදැයි යන්නය.
“ලෝකය අපිව දාලා වෙන දිහාවකට යනවා

අපි කැලේ යනවා...”
ඍජු කශේරුකාවක් සහිතව ගීතයක කර්තෘභාගය ඇතුළු කලාවේ සාධාරණ සහ වෙනස් විය යුතු දිශානතින් පිළිබඳව විශ්වීය න්‍යායන්ට අනුව හැමදාමත් හඬ නැගූ ලූෂන් සරදම් ඔච්චම් මැද කලාවේ ස්වර්ණවත් වටිනාකම් සේදී යන බිඳුණු පොළොවක වහල්වාදී වැඩවසම් චින්තනයට හැමදාමත් තම හෘද සාක්ෂියට එකඟවම හඬ නැගුවේය.
මගේ අම්මා තරම් මට ජීවිතය කියා දුන්න කෙනෙක් නෑ
ආදරය කියා දුන්න කෙනෙක් නෑ
එයාට වෙන විකල්පයක් නෑ...
රජ මැඳුරක ඉපදී සිටියානම් ගීතය ඇතුළේ තියෙන්නේ මගේ ජීවිතය. දුප්පත්කමේ ආගාධයටම ගිලී සිටිය මගේ පුංචි කාලයේ ජීවිතය...
මතක... ලූෂන් බුලත්සිංහලගේ ජීවිතයේ සියලු ඉසව්වන් ඔස්සේ අප කැටුව යන චාරිකාමය පුස්තකයකි... ස්තූතියැයි කිව යුතු සියල්ලන්ටම මතක ඔස්සේ ස්තූතියැයි කියන්නට තරම් ඒ අමුතු සුන්දර මිනිසා කෘතවේදී වී ඇත. වෙස්මූණ ගලවන්න නාට්‍යයේ පොතෙහි පිදුම ලූෂන් වෙන් කරන්නේ වේලුපිල්ලේ ආරුමුගම් නම් තම ළබැඳි හිතවතාටය.
ඔබේ වර්ගයට අයත් නොවේයැයි කියා
වර්ගවාදී ඇසකින් අනෙකා දෙස නොබලමින්

සියල්ලෝම මිනිස් වර්ගයට අයත් වෙතියි අදහන උතුම් දහමක ඔබ පිහිටා සිටියේය.
ඒ නිසා ඔබේම දරුවකු සේ සලකා
මගේ අනාගත මංපෙත් විවර කරගනු පිණිස
රාජකාරියේදී ඔබ හට සිදුවන අපමණ දුෂ්කරතා
අබැටක් තරමට කොතකමින්
සියලු වගකීම් ඔබ පිටම පවරා ගනිමින්
මගේ ජීවිත ගමනට ආශිර්වාදය එක් කළේ ඔබය.

ඒ අයුරින් රාජ්‍ය සේවයේදී එනම් අඹේවෙල සත්ව ගොවිපොළේදී තමාට හමුවූ මනුෂ්‍යත්වයෙන් භක්තිපූර්ණ තම කළමනාකාරවරයාට තුති පිදූ ලූෂන් හැමදාමත් කිසිවකුට වෛර නොකළ අහේතුක ප්‍රතික්ෂේප වීම් පවා නිහඬව සංයමයකින් විඳ දරාගත් භාවනාමය මිනිසෙකි.

සිය දහස් වරක් මා විඳින, මා සනසන ගීතාවලියෙහි අයිතිකාරයා වූ ඒ නිර්මාණවේදී මිනිසාට නිර්මල එක් දම් පාට මලක් මිස පුද කරන්නට අන් කිසිවක්ම මා සන්තක නොහේ...
ගුරුදේවයනි... ඉඳින් බැතියෙන් දෙපා නමදිම්...

• සංජීවිකා සමරතුංග 
• ජයමාල් චන්ද්‍රසිරි