2025 මැයි 24 වන සෙනසුරාදා

එයත් එක්ක වචනයක් කතා කළත් හොඳ පොතක් කියෙව්වා වගේ.... සමන් අලංකාරගේ ළෙන්ගතුම මතකයෙන්...

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ලූෂන් බුලත්සිංහල කියන මිත්‍රයා කොහොමද ඔය පපුවට දැනෙන්නෙ?

ඇත්තටම ලූෂන් බුලත්සිංහල කියන මිත්‍රයා, මනුස්සයා හුඟාක් කිට්ටුවෙන් අඳුනගන්න ඉස්සර ඔහු ගැන මගේ හිතේ ප්‍රතිනිර්මාණය වී තිබුණෙ ටිකක් රළු දැවැන්ත අමුතු චරිතයක් තියෙන මනුස්සයෙක් කියන හැඟීම. නමුත් මට එයාව ආශ්‍රය කරන්න ලැබුණම ඒ මහා ප්‍රතාපවත් චරිතය ඇතුළේ ඉන්න හරිම නිර්මාණශීලී, විනයවත්, හරි සංවේදී, හරි ආදරණීය, සොබාදහමට ආදරය කරන, සොබාදහමත් එක්ක මිනිසුන් සංසන්දනය කරන, හරිම නිහතමානී, ලංකාවේ මිනිසුන් අතර ඉහළම තැනක ඉන්න මනුස්සයෙක් විදිහට මට පෙනෙන්න ගත්තා. අවංක, කෙළින් කොන්දක් තියෙන මිත්‍රයා මට අඳුනගන්න ලැබුණා. එයාට ජීවිතය ගැන, ලෝකය ගැන, මනුස්ස හැඟීම් ගැන ලොකු අධ්‍යනයක් තියෙනවා. එයාගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි එයා දකින දේවල් ඇයි මිනිස්සු නොදකින්නේ කියලා. ඇයි මිනිස්සු තේරුම් නොගන්නෙ කියලා. ඒ කාරණාවට එයා හරිම සංවේදීයි.

ඒ තරම් සංවේදී දේවල් ඔහු හා ඔබ කතා කරන්නේ කොහොම වෙලාවල්වලදීද?

අපි දෙන්නා මුණගැසී කතා කරන වේලාවල් තියෙනවා. එයා හරි කැමතියි සිංගල් මෝල්ට් සහ බ්‍රැන්ඩිවලට. එයා හුඟක් මධුවිත පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඇත්තටම එයා කරන්නේ හරි පොඩි ෂොට් එකක් හුඟක් වෙලා රසවිඳින එක. ඉතින් එහෙම මධුවිතක් එක්ක අපි දෙන්නා කතාබහ කරන වෙලාවට හුඟාක් ගැඹුරින් ජීවිතේ සමහර දේවල් ගැන එයා මාත් එක්ක කියනවා. එයා වෙලාවකට මගෙන් අහනවා, මල්ලි මේ සමාජයේ මිනිස්සු ඇත්තටම මොකද කරන්නේ කියලා? එයා ලෝකේ ඇවිදපු, ලෝකය හොඳින් දැන අඳුනාගත්ත මනුස්සයෙක්. ඇත්තටම ලූෂන් බුලත්සිංහල කියන්නේ මට හිතාගන්න බැරි දැනුමක් සහ ප්‍රායෝගික බුද්ධියක් තියෙන මනුස්සයෙක්. ඒත් ඒ සියල්ල අතරේ ඔහු තුළ ජීවත් වෙනවා හරිම සංවේදී පුංචි දරුවෙක් වගේ ආදරණීය මනුස්සයෙක්. ඒ වගේම ලූෂන් බුලත්සිංහල කියන්නේ ඇත්ත කතා කරන, කෙළින් කතා කරන, කිසි කෙනෙක් හෙලා නොදකින, නමුත් කිව යුත්ත කාට හෝ කෙළින් ප්‍රකාශ කරන, කාගෙවත් වැරදි කියලා තමන් ඉස්සරහට යන්න දඟලන්නේ නැති, අනුන් පහත් කරලා කතා කරලා තමන්ගේ දක්ෂතාවය ගැන උදම් අනන්නේ නැති පරිණත මනුස්සයෙක්. ඇත්තටම ලූෂන් බුලත්සිංහල කියන්නෙ දැවැන්තයෙක්. දක්ෂයෙක්. අාධ්‍යාත්මිකව දියුණු මනුස්සයෙක්. ඒ වගේම තාත්තා කෙනෙක් විදිහට ලෝකේ ඉහළම තැනක ඉන්න තාත්තා කෙනෙක් එයා.

ලෝකයේ ඉහළම තැනක ඉන්න තාත්තා කෙනෙක් එයා... ඇයි ඔබ එහෙම කියන්නෙ?

තමන් සන්තක සියල්ල තමන්ට අහිමි කරගෙන ඒ සියල්ල දරුවන් වෙනුවෙන් දන් දුන්න තාත්තා කෙනෙක් එයා. අද එයාට කියලා මේ ලෝකේ එක බිම් අඟලක්වත් නෑ. එහෙම තාත්තලා ලෝකෙ සුලභ නෑ. ඉන්නවා ඇති. ඒත් විරලයි. එයාගේ ගෙදර විකුණලා ඒ මුදල් තමන්ගේ දරුවෝ දෙන්නට සහ මිනිබිරියට සමානව බෙදලා දීලා තමන්ගෙන් වෙන්න ඕනෑ සියලු‍ යුතුකම් ඒ දරුවන් වෙනුවෙන් කරපු තාත්තා කෙනෙක් එයා.

ඔබ කොහොමද එතරම්ම මිත්‍රයෙක් විදියට ඔහුට ළං වුණේ... කෙනෙක් කෙනෙක්ට ළං වෙන්න මොකක් හෝ හේතුවක් තියෙන්න ඕනෑ. මට කියන්න හේතුව හෝ හේතු?

ඇත්තටම මම හරි ආදරෙයි ආසයි ඇසූ පිරූ තැන් ඇති නිහතමානී සුන්දර මිනිස්සුන්ට. මොකද ඒ මිනිස්සුන්ගේ ඇසුර හොඳ පොතක් කියවනවා වගේ දෙයක්. ඇත්තටම එයත් එක්ක වචනයක් කතා කළත් හොඳ පොතක් කියෙව්වා වගේ. ජීවිතයට පුදුමාකාර ආශිර්වාදයක් සහ ධනාත්මක අත්දැකීමක්. අනික් එක ඔහු කුහකයෙක් නොවෙයි. එවැනි මිනිස්සුන්ගේ හදවත් තුළින් දැනෙන්නෙම මනුෂ්‍යත්වයේ සුවඳ. යහළුවෙක් විදියට ඇසුරු කළත් ඇත්තටම ඔහු මට ගුරුවරයෙක් වගේ දැනෙන කෙනෙක්. ඇත්තටම ජීවිතේදී දෙවියන් සදිසි මිනිසුන් අපිට හම්බවෙන්නෙ ඉතාමත් ඉතාමත් ඉතාමත් කලාතුරකින්. ඔහු හා ඇසුරු කරද්දී මට හිතුණු දෙයක් තමයි ඇයි ඔහු දෙවියෙක් නොවී මිනිසෙක් වුණේ කියලා.

මට හිතුණු දෙයක් තමයි ඇයි ඔහු දෙවියෙක් නොවී මිනිසෙක් වුණේ කියලා.. එහෙම කියන්න තරම් ඔබට ඔහු දැනුණු තැන් මොනවද?

ආත්මාර්ථයෙන් තොර පරාර්ථය මිනිසුන් ළඟ තියෙන්නේ හුඟාක් කලාතුරකින්. ඔහු කවදාවත් මිනිසුන්ට වෛර කරපු කෙනෙක් නෙවෙයි. මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරපු කෙනෙක් නෙවෙයි. ඔහු තුළ තියෙන පරාර්ථකාමී ස්වභාවය ඇත්තටම මා පුදුම කරවන සුළු දෙයක්. ඇත්තටම ඔහු වැනි යහළුවෙක්, ඔහු වැනි මනුස්සයෙක් මට ජීවිතයේ හමුවෙලා නැති තරම්. ඇත්තෙන්ම ඒ උතුම් ගති ස්වභාවයන් තියෙන මට හමුවූ පළවෙනි මිත්‍රයා, පළවෙනි මනුස්සයා, පළවෙනි දැවැන්තයා සහ පළවෙනි කලාවේදියා ලූෂන් බුලත්සිංහල.

ඔහු ජීවිතේ වඩාත් සතුටට පත්වුණු තැන් ගැන, සංසිද්ධින් ගැන ඔබත් එක්ක කතා කරලා තියෙනවාද?

ඔව්. ඔහු වරක් යුරෝපා සංචාරයකට ගිහිල්ලා ප්‍රංශයට ගියපු වෙලාවේ ප්‍රංශයේ කන්දක් නැගලා තියෙනවා. ඒ ප්‍රංශ සංචාරය ඔහු ජීවිතයේ හුඟාක් තෘප්තිමත් වෙච්ච සංචාරයක්. විශේෂයෙන් මේ කන්ද නැංග දවස ගැන ඔහු කතා කරන්නේ හරිම තෘප්තියකින්.

ඔහු ඔබ හා විශේෂයෙන් කියන දේවල් මොනවද?

මල්ලි සල්ලි හම්බ කරලා ඒ සල්ලි හම්බ කරන්නේ ඉතුරු කරන්න විතරක් කියලා හිතන්න එපා. හම්බ කරන මුදල්වලින් ලෝකය දකින්න. වියදම් කරන්න. කවදාවත් හම්බ කරලා ඉවරවෙලා ලෝකය දකින්න යනවා, ඇවිදින්න යනවා කියලා හිතන්න එපා. මොකද මිනිස්සු හම්බ කරලා ඉවරවෙන දවසක් සහ හම්බ කරලා ඇතිවෙන දවසක් මිනිස්සුන්ට එනවානම් ඒ එන්නෙ හරි කලාතුරකින්. ජීවිතය විඳින්න. අද දවසේ ජීවත් වෙන්න. හැම මොහොතක්ම සතුටත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඇවිදින්න. සංචාරය තරම් සුන්දර දෙයක් තවත් නැහැ කියන එක ඔහු නිතර කියනවා.

ලූෂන් බුලත්සිංහල ලියූ ගී අතරින් ඔබට වඩාත්ම දැනුණු ගීයක් තියෙනවද?

මම ලූෂන් අයියා හම්බවුණොත් හැමදාම කියන කතාවක් තමයි අයියේ ඔයා ලියපු සින්දුවලින් මම ආසම සිංදුව මුතු කුඩ ඉහළන මල් වරුසාවේ කියන සිංදුව කියන එක... ඒක මම ආත්මීයව විඳින ගීයක්.

මම දන්න ලූෂන් බුලත්සිංහල කියන්නේ සල්ලිවලට විකිණිච්ච මනුස්සයෙක්වත්, සල්ලි බලාගෙන ගීත ලියපු මනුස්සයෙක්වත් නෙවෙයි. ඔබ ඔහු ගැන ඒ විදිහට දන්නෙ මොනවද?

ඇත්තටම ලූෂන් අයියා කවදාවත් කාගෙන්වත් සල්ලි ඉල්ලගෙන සල්ලිවලට සින්දු ලියපු කෙනෙක් නෙවෙයි. දවසක් ලූෂන් අයියා මට කිව්වා එයාට නිර්මාණයක් වෙනුවෙන් හම්බවෙච්ච ලොකුම මුදල හම්බවුණේ විදේශයක ඉන්න කාන්තාවකගෙන් කියලා. මම ඇහුවා ඒ කොච්චරක්ද කියලා. ලූෂන් අයියා කීවා රුපියල් 50,000 ක් කියලා. සර්වකාලීන වටිනාකමින් යුත් නිර්මාණ කරපු, ගීත ලියපු නිර්මාණවේදියෙක්ට මේ රටෙන් කොච්චර ඇගයීමක් ලැබෙන්න ඕනෑද කියන එක ගැන කතා කරලා වැඩක් නැහැ. අද අනුන්ගේ සිංදු කියලා සල්ලි හම්බ කරන කලාව නෙමේ සල්ලි උපයන එක අංක එක කරගත්ත මිනිස්සු අතරේ ඇත්තටම ලූෂන් බුලත්සිංහල කියන්නේ දෙවියෙක් වගේ නිර්මාණවේදියෙකුත් නෙවෙයිද? වේදිකාවක අනුන්ගේ සින්දු කියන්නත් ලක්ෂ ගාණක් ඉල්ලන සමහර ගායක ගායිකාවන් අතරේ ලූෂන් බුලත්සිංහල වගේ මිනිස්සු ආයේ බිහිවෙයි කියලා මම හිතන්නේ නෑ කවදාවත්.

මම දැන් නිදහස් මිනිහෙක් කියන හැඟීම එයා දැන් භුක්ති විඳිනවද?

මට හිතෙනවා තනිකම කියන එකේ අර්ථය එයා දැන් හුඟාක් ගැඹුරින් අඳුනාගත්ත මනුස්සයෙක් කියලා. දැන් මට කිසිම දෙයක් නැහැ කියන හැඟීමත් එයාගේ හිතේ තියෙනවා. මට දැන් මේ රටේ බිම් අඟලක්වත් නෑ කියන කතාව එයා කියනවා. ඒත් ලූෂන් බුලත්සිංහල කියන්නේ ජීවිතය හඳුනාගත්ත මනුස්සයෙක් මිසක් ජීවිතේ විඳවන මනුස්සයෙක් නෙවෙයි. මට හිතෙන්නේ ඔහු සියල්ලන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් සියලු‍ යුතුකම් ඉටු කරපු මනුස්සයෙක්. මට හිතෙන්නේ එයාට ලෝභකමින් ජීවිතයේ අල්ලගෙන ඉන්න කිසි දෙයක් දැන් නැහැ. ඇත්තටම් ඔව් එහෙම බලද්දි ඔහු අමුතුම නිදහස් මනුස්සයෙක්.

• සංජීවිකා සමරතුංග 
• ජයමාල් චන්ද්‍රසිරි