2025 මැයි 10 වන සෙනසුරාදා

මේක මාරකයක් දෙයියෝ එහෙව් මාරක තව අරගෙන වර දෙයියෝ!

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 55

ජීවිතයේ හැම ද්වාරයක්ම හීන වෙනුවෙන් ඇරලා දාපු මිනිස්සු අපි... ජීවිතයේ පුංචිම කවුළුවකින් වුණත්, එන හීන අංශුමාත්‍රයක් වුණත්, විසල් මාත්‍රික විසල් මාත්‍රයක් වුණත්, ඒ ජීවිතය වෙනුවෙන් හීනයක් නම් ඒ හීනයට කඳුළු පිරිසිඳ අත්තටු අමුණන්න අපි කාටද නොහිතෙන්නෙ...

ජීවිතයත් මරණයත් හරියට හෙට දවස වගේ... හෙට දවස කොහොමද අපි නිර්වචනය කරන්නෙ... සංසාර වීදියෙන් වීදියට කාල යාත්‍රාවක වත්මන් නිමේෂය මේ මොහොතේ ජීවිතය විදිහට අර්ථකථනය කළත් හෙට දවස අර්ථකථනය කරන්න කාටද පුළුවන්... හෙට කියන්නේ හරියට මරණය සහ ජීවිතය වගේ නිශ්චිත රාමුවක තියලා ඇණ ගහලා නිර්වචනය කරන්න බැරි අමුතු දර්ශනයක් කියලා මට හිතෙන්නෙ... ඒත් අන්තිම හුස්මට පෙර හුස්මෙදිත් අපි ජීවිතය වෙනුවෙන් හීන ඉල්ලන මිනිස්සු... ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තුවක් ඉල්ලන මිනිස්සු... හීනයට බලාපොරොත්තුවක් සහ බලාපොරොත්තුවට හීනයක් ඉල්ලන මිනිස්සු...
ඉතින් හීන අනන්තයක් වෙනුවෙන් හීන හතහමාරක්...

වාලම්පුරි...

සිනමා රූපකාරකයක් කියන්නේ තාක්ෂණික සම්මුචිතකරණයෙන් එහාට ගිය ආල මාල හෘද ලීල භාව ප්‍රකම්පනයක හුස්මක් වැටෙන චිත්‍රයක් කියලයි මට හිතෙන්නෙ... ඒත් එහෙම හුස්ම වැටෙන චිත්‍රයක අක්ෂර කියවන්න, වර්ණ මත දැවටෙන්න, ආහ්... චිත්‍රපටයක් කියලා හිතෙන චිත්‍රපට ලාංකික සිනමාවට කෝ කියලා හිතෙන තරමට අයියෝ සාමි හැදුණ චිත්‍රපටවත් හැදෙන චිත්‍රපටවත් නැති තරම්...

එහෙව් ඉඩෝරෙකට මහා වැස්සක් නොවුණත් ආහ් සනීපයි කියලා දැනෙන – දැනෙන වැස්සක් විදිහට මම කැමතියි වාලම්පුරි හඳුන්වන්න... ලක්මාල් ධර්මරත්න වාලම්පුරියෙන් කියන්න යන්නෙ මොකක් වුණත් මම වාලම්පුරි නිර්වචනය කරන්නේ මගේ සිනමාමය හෘද සාක්ෂියත් එක්ක...

මේ ලෝකයේ තියෙන වටිනාම ඉලක්කම තමයි බිංදුව... බිංදුවේ අගය අනන්තයක්... ජීවිතය මොන ඉලක්කමක ඉඳන් පටන් ගත්තත් ජීවිතය හීන මහ කන්දක් මුදුනේ පැල කරන්නේ බිංදුවෙන් උපදින ඉලක්කම්... වාලම්පුරිය තුළ දැවටෙන හැම හුස්මක්ම යාවෙන්නේ බිංදුවෙන් උපදින හීන සහ ඒ හීනවලින් උපදින ප්‍රේමණීය සරාගයක බලා හිඳීම් සහ ඉල්ලීම් වෙනුවෙන්...

ජීවිතය කියන්නේ ගේමක් නොවුණට ජීවත් වීම කියන්නේ ගේමක්... ඒ ගේම දිනන්න අපරාජිතයන් විදිහට පොළොවට දැනෙන්න පොළොවෙ දෙපතුල් තියන්න ගන්න වෙහෙස සුන්දර තරමටම අසුන්දරයි... හීන අස්සේ මැරි මැරී උපදිද්දි ඉපදි ඉපදි මැරෙද්දි මට හිතෙන්නෙ අපිට ජීවිතය හැරෙන්න හුඟාක් දේවල් හමුවෙනවා... ආදරය හැරෙන්න හුඟාක් දේවල් හමුවෙනවා.... ආත්මීය ආලයකින් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ප්‍රේමයකින් සැප ඉල්ලන, සැප හොයන මිනිස්සු තුදුස්වක ගැහුණු කොඳු දරාගෙන දුක් පිරිපත අස්සේ හුස්මක් ගන්න තත්ත්පරයක් හොයනවා... හුඟාක් මිනිස්සුන්ට ජීවිතය කියන්නෙම එවන් තත්ත්පර අසංඛ්‍යයක ඓක්‍යයක් විතරයි...

ලක්මාල් ධර්මරත්න වාලම්පුරියක් අස්සේ දිගහරින්නේ එහෙව් තත්ත්පර ගැටගැහිල්ලක් කියලයි මට හිතෙන්නෙ... ඒ සිනමා රිද්මයේ එහෙම නොවී මෙහෙම වුණානම් හොඳයි කියලා මට හිතුණ තැන් නැතුව නෙවෙයි. ඒත් ස්ව අනන්‍ය සිනමාමය මුද්‍රාවක් සොයා යන අනාගතවාදී සිනමාවේදියකුගේ සහලක්ෂණ වාලම්පුරිය තුළින් ඉස්මතු කරන්න ලක්මාල්ට හැකි වුණා කියලා මට හිතෙනවා....

සිඩ්නි... ප්‍රියන්ත සිරිකුමාර ලකාගේ වාලම්පුරියේ තේරීම් අතර මගේ හදවතේ පළමු කැමැත්ත. මක් නිසාද යත් සිරි අසිරි වෙන ආත්මගත වීමක් සිරිකුමාර තම රංගන සුවිසැරිය තුළ ප්‍රතිබිම්බගත කරන නිසා. අනේ ඇත්තමයි සිරිකුමාර රඟපානවා කියලා කියන්න මට හිතෙන්නෙ නෑ. සිරිකුමාරට රඟපාන්න බෑ... සිරිකුමාර සිරිකුමාරගෙන් විනිර්මුක්ත වී ආත්මීය ආලයකින් සිඩ්නි එක්ක හුස්ම ගනිද්දි ඒ හුස්මට රඟපෑම කියන වචනය ආදේශ කරන්න මම කැමති නෑ... මගේ දෙයියෝ උඹ නම් මාරකයක් නොවෙයි ආය ඔපමට්ටම් කරන්න දෙයක් ඉතුරු නොවෙච්ච අමුතු මැණිකක් කියලයි මට හිතෙන්නෙ... සිරිකුමාරගේ ඒ හුස්ම මාව කැටුව යන චමත්කාරයේ රන් රේඛාවන් යා වෙන්නේ දමිළ – මලයාලම් සිනමාමය රේඛාවන් තුළ කියලා දැනෙද්දි ඇයි බං උඹ මෙහේ ඉපදුණේ කියලා අහන්න හිතෙනවා. ඒ එහෙව් උන්ට හුස්ම ගන්න තරම් සිනමාමය සුළං ඉඳහිට පමණක් හමන මුඩු බිමක අපි තවමත් කොර ගහන හින්දා....

අඩෝ ලකා වාලම්පුරියත් මදි මට තව හදපන් දෙයියො අමුතු අමුතු මාදිලියේ චිත්‍රපට සිරිකුමාරලාට රිසි රිසි සේ සැරිසරන්න.... හුස්ම ගන්න... මට කියන්න හිතෙන්නේ එහෙම.

දර්ශන් ධර්මරාජ් කියන අමුතු කඩවසම් කළු පිරිමි නළුවා කියන්නේ ලාංකික සිනමාවේ මම දැකපු දඩ පිරිමියා... වාලම්පුරිය තුළත් දර්ශන් ධර්මරාජ් දඩ පිරිමි ලකුණ තමන්ගේ සිනමාමය මුද්‍රාවේ හරි අපූරුවට සලකුණු කරලා තියෙනවා... ඇයි බං මෙච්චර ඉක්මනට මැරුණේ... දර්ශන්ගෙන් එහෙම අහන්න හිතෙනවා වාලම්පුරිය බලද්දි... මම කවදාවත් මරණය විශ්වාස කරන්නෙ නෑ දර්ශන්... ඒ මරණය කියලා දෙයක් ලෝකයේ නැති හින්දා. මරණය කියන්නේ ගමනක නැවතුමක් විතරක් හින්දා... ඒත් හිතට දුක මැරිච්ච උඹ මැරිච්ච උඹ විදිහටම අපිට යළි හමු නොවෙන එක... ලංකාවෙ චිත්‍රපට හදද්දි අනේ උඹත් හිටියනම් කියලා හිතෙන තරමට දර්ශන් වාලම්පුරියේ සැරිසැරීම පට්ට... ඇත්තමයි උන් එකෙක්වත් රඟපාන්න දන්නෑ කියලා හිතෙන තරමට සිරිකුමාර, දර්ශන්, අශාන් ඇතුළු හිතට වැදිච්ච කිහිප දෙනෙක්ගේ රංග සුවිසැරිය මාරයි....

ඒත් සිරිකුමාරගේ සිනමාමය ඇවිදිල්ල හරි වෙනස්... සිරිකුමාර කියන්නේ ඕනෑම මුඩු බිමක දිලිසෙන දෙපයින් ඇවිදින්න පුළුවන් අමුතු පට්ට නළුවෙක්... සිරිකුමාරගේ ඒ රංග සරාගයේ සාරය උපරිමයන් පෙරළා වාලම්පුරිය තුළට වත් කරන්න ලකා සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට ආය වචන නෑ.... සිරි වෙන්න සිරි වෙලා තියෙනවා...

වාලම්පුරිය කියන්නෙ වාලම්පුරිය... මම කැමති නෑ මෙතෙන්ට කූඹියෝ කියන නමවත් ඈඳෙනවට... ඒ කූඹියෝ වෙනම තැනක... මේ වාලම්පුරිය තවත් තැනක... ඒ ලකයි මේ ලකයි දෙන්නෙක්... සිනමා අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, නළුවෙක් හෝ නිළියක් කියන්නෙ මම දකින විදිහට හැම නිර්මාණයක් තුළම නැවත නැවත අලුත් හුස්මක් එක්ක අමුතු බැල්මක් හෙලන පෙර නොවූ විරූ එකෙක් වෙන්න ඕනෑ... සිරිකුමාර එහෙම වෙනවා... ඒකයි මම එයාට එච්චර ආදරේ... එයා නිවන්නේ අපේ ගින්න.... එයා නිවන්නෙ අපේ පිපාසය.... සිංහල සිනමාව සිනමාවක් විදිහට දකින්න, කියවන්න, රසවිඳින්න බලාගෙන ඉන්න අපිට තියෙනවා පුදුමාකාර පිපාසයක් සහ පුපුරු පුපුරු ඇවිලෙන ගින්දරක්....

අම්මෝ.... සිඩ්නි... උඹ නම් මාරකයක් දෙයියෝ. මට හිතෙන්නෙම එහෙම... මම පට්ට ආසයි සිනමා විශ්වවිද්‍යාලයක් වගේ වෙච්ච ඉර්ෆාන් ඛාන්ට... අදටත් ඉර්ෆාන් මේ ලෝකයේ නැහැ කියලා විශ්වාස කරන්න නොහිතෙන තරමට මම ආයෙත් මගේ සිනමාමය තිබහ නිවාගන්න ඉර්ෆාන් හොය හොයා යනවා.. ඉර්ෆාන්ගේ ලොකු ඇස් දෙක හැඟීම් ප්‍රතිබිම්බගත කරන දර්පණ තලයක් වගේ.... ඉර්ෆාන් කියන්නේ මට ඇවිදින සිනමා සරසවියක් වගේ. ඉර්ෆාන් වගේම මගේ සිනමාමය ආලවන්තයෙක් වෙච්ව Fahadh Faasil මතක් කරවන්න ඕනෑම චරිතයක් එක්ක තමන් ගන්න හුස්ම ප්‍රේක්ෂකාගාරය වෙත මුදාහරින මුදාහැරිල්ලෙන් ප්‍රියන්ත සිරිකුමාරට පුළුවන්... දමිළ, මලයාලම්, ඉරාන, ප්‍රංශ වැනි සිනමාවන් කෙරේ මගේ තියෙන ආලවන්ත ආලයේ රේඛාවන් සිංහල සිනමාවට යා වෙච්ච තැන් අල්පමාත්‍රිකයි... ඒ අල්පමාත්‍රික ආලය තුළ විසල් මාත්‍ර තවරන්න ප්‍රියන්ත සිරිකුමාර වගේ සිනමාමය ජවයක් ආත්මය කරගත් නළුවන්ට නිළියන්ට හැකි වෙච්ච හැම ඉඩකටම මම හරි ආදරෙයි...

පාරිශුද්ධ නිල්ලක් වන් නිම්නයක් කවදා කොහේ කොතැනකදි හමුවේදැයි සිතන්නටවත් නොදන්නා තරමට සමස්ත මානව සංහතියම ලැගගෙන ඉන්නෙ නා නා මාදිලියේ මඩ ගොහොරුවල කියලා මට හිතෙනවා... අති ධාවනකාරී පාරිභෝගිකවාදී හැඩතලවලින් නිමැවුණු ගඳ ගහන මඩ වලක ඕජස් ගලන තුවාල මත සුවඳැති විලවුන් පයගසා හිඳින පන්තියේ හැටියට තවරගෙන ජීවිතයේ ඉරිච්ච තැන්වලට රහසේම මැහුම් දමන මිනිසුන්ගේ පපු පලාගෙන නැගෙන අසංවාදී සුසුම් වේගයන්හි ස්වර ප්‍රකම්පනය ළා සුළං සහ සුළි සුළං තුළ කැකෑරෙමින් කොහේ කොහේ හෝ නොදන්නා අසෙනි අනන්තයන් තුළට ගලාගෙන යනවා... තනි වී සුසුම්ලන මිනිස් හෘද ස්වරයන් සේම ඉපදෙන තැනක්, සැඟවෙන තැනක්, තනිවෙන තැනක් හෝ මිය යන  තැනක් නොදන්න ඒ සුළං පවා කොයි තරම් නම් අසරණද කියලා මට හිතෙනවා... පොළොව බදාගෙන ජීවිතය හොයන, එහෙම ජීවිතය හොයලා නන්නත්තාර වෙන, සම්මුති මරණය මුණගැසෙන්නට පෙර අසංඛ්‍ය වාරයක් ජීවිතය තුළ මැරෙන මිනිස්සුන්ගේ අප්‍රමාණ විලම්භීත ඛේදවාචක අකුරු කරන්න කැටපත් පවුරු රජවරු නිමැවූයේ නැතිවූවාට ලෙයින් ලියැවුණ එවන් කතන්දර අංකයක් නොදන්න තරමට මේ අහස පොළොව අතර හුඟාක් හිස්තැන්වල තියෙනවා...

මොකක් නැතත්
මොනවා නැතත්
මොකක් වුණත්
ජීවිතය මාරයි අප්පා...

කියලා හිතලා දත්වලින් නෙවෙයි හැඟීම්වලින් ජීවිතයත් එක්ක හිනා වෙන්නේ සිඩ්නිලා වගේ අන්න එහෙව් මිනිස්සු. සිඩ්නිලා සහ සිඩ්නිලාගේ බජාර් එකේ උන්, ඒ බජාර් එකෙන් පිට උන් ජීවත් වෙන්නේ වාලම්පුරියේ විතරක් නෙවෙයි.... රුපියල් ඕවිලි මත දූවිලි සුවඳැති පොළොවට අරක්ගත් යක්ෂ ආත්ම කැණ කැණ ධෛර්යයත්, යුක්තියත්, සාධාරණයත්, වංචාවත්, ප්‍රේමයත්, රැවටිල්ලත් එකට කලතා තම්බා සිඳ දේවත්වයට යා වෙන්නට පෙරුම්කායම් බඳින දෑත් මතම යක්ෂයන් නිදිගන්වන ලෝකයක අපි මනමෙලාට ආලයෙන් බැඳෙමින් වැද්දන්ට කාටවත් නොපෙනෙන හදවතේ අහුමුල්ලකින් පෙම් බඳින මනමේ කුමාරිකාවන්.  ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ එමා බෝවාරිහී... එමා වගේ දිග ගවුම උස්සාගෙන පින්නෙ තෙමි තෙමී පිරිමින්ගේ රාග සංසිඳවන්ට සිරුර දන් දිදී උන්ගේ පපු කැනතු කැණ කැණ ආදරයේ බිංදු හොයන එමාලා අපි.... ඒ ගැහැනුද පිරිමි ද ලිංගිකත්වයේ වෙනසක් නැහැ අපි මනමෙලා සහ එමාලා කියලා මට හිතෙනවා. රුපියල්, ඩොලර්, රූබල්, මේ මොනවා අස්සෙ හෙව්වත් ජීවිතය හම්බවෙන්නෙ අරික්කාලයි... අපරාජිත හීන අස්සේ වරෙක පරාජිත ඇස් මත දිලිසෙන සිඩ්නිගේ කඳුළක් කියන්නෙ එහෙව් සත්‍යයක්....

යථාර්ථය කියන්නේ මේ මොහොතේ පවතින දෙය... මේ මොහොතේ පොදු මිනිසා අවසඟව නොයන ඇත්තට තමයි යථාර්ථය කියන්නෙ. එහෙත් සත්‍ය පවතින්නේ යථාර්ථයට හුඟාක් ඈතින්... යථාර්ථයට හාදු දී සිඹින දෙකොපුලකට සත්‍ය මඟහැරෙන තාක් ඇත්තටම ජීවිතය සුන්දරයි... චමත්කාරය කියන්නේ සියලු සෞන්දර්යන්ගේ හරය එකතැන් වූ ඉසව්වකට... සත්‍ය හමුවන්නේ එවන් මානයක... එවන් මානයක හිස තබා  සැනසිල්ලේ ඇස් වසන හැම අංශුමාත්‍රයකදීම මුණගැසෙන්නේ මිනිසා මඟහරින හෝ මිනිසාට මඟහැරෙන සත්‍යයයි... ඒ සත්‍ය දෙකොපුල් තබා සිඹින විට ජීවිතය නිර්මලයි... සුරම්‍යයි...

එහෙත් මේ මනුස්ස ලෝකයේ කොතැනකදිද අපිට එවන් නිර්මල, සුරම්‍ය එකම එක හාදුවක් වෙනුවෙන් තත්ත්පරයක් හමුවෙන්නේ... ප්‍රේමය තබා ආදරයවත්, දිව්‍යමය නොවන අදේශපාලනික නොවන අපායක් තුළ ජීවිතය ඔස්සේ සුරාන්තය අත්විඳිය හැකි සුයාමයන් කොතැනදීද මිනිසුන්ට හමුවන්නේ.... හීන හීන හීන... ඔව් හීන ඔව් හීන හොයාගෙන හුස්මක් හුස්මක් ගාණේ ඇත්තටම නැති වුණත් හීනෙන් හරි ඉගිල්ලෙන මිනිස්සු හැමදාමත් 

පරාජිත – අපරාජිතයන්...
අපරාජිත – පරාජිතයන්
අපරාජිත – අපරාජිතයන්
සහ
පරාජිත – පරාජාතියන්...

වාලම්පුරි හෙවත් - හීන හතහමාරක් මාව කැටුව යන්නෙ එහෙව් දුරක්...

(ඉතින් වාලම්පුරියට ගෑවිච්ච තිරයේ අයිතිකාරයන්ටත් තිරයෙන් එහා  අයිතිකාරයන්ටත් ඇත්තටම ස්තූතියි.)

• සංජීවිකා සමරතුංග