සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂ චාලක රණසූරිය සමඟ සිදුකළ සොඳුරු කතාබහයි මේ.
අලුත් අවුරුද්දේ වැඩ කටයුතු කොහොමද?
අලුත් අවුරුද්දේ මුලින්ම සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යයේ සියවැනි දර්ශන වාරය, අප්‍රේල් මාසයේ 24 වැනි බ්‍රහස්පතින්දා දවසේ නාමෙල් මාලිනි පුන්චි තියටර් හිදී ප්‍රදර්ශනය වෙනවා.
ඒ වගේම අප්‍රේල් මාසයේ 27 වැනි ඉරිදා නාට්‍ය ගැන විවෘත කථිකාවතක් පැවැත්වෙනවා, සුදර්ශි එළිමහන් රංග පීඨයේදී. මෙය මෙහෙයවන්නේ ප්‍රියන්ත කොඩිප්පිලි හිතවතා. එමෙන්ම ජයන්ත චන්ද්‍රසිරි සහ ඉන්දික ෆර්ඩිනෑන්ඩු යන මහත්වරු දෙපළ විසින් නාට්‍ය පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කරනවා. ඊට සමගාමීව සඳුදා වැටෙන්නේ සිකුරාදාට කියන මුද්‍රිත පොත එළිදැක්වීමත් එදිනම සිදු කරනවා. මේ කටයුතු තමයි මූලික වශයෙන් අලුත් අවුරුද්දෙදි සිදු වෙන්නෙ. තව ලියන කියන වැඩ කටයුතුත් කරගෙන යනවා. මේ අතරේ මගේ අලුත් වේදිකා නාට්‍ය, අටවෙනි බුවනෙක පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට... ඇත්තටම මොකක්ද මේ?
මේක ඛේදාන්ත ප්‍රහසන ගණයට අයත් වේදිකා නාට්‍යයක්. 2022/ 2023 අවුරුදු දෙකම අළලා තමයි පනස් වැනි රාජ්‍ය නාට්‍ය උළෙල ඒ කාලයේ පැවැත්වුණේ. ඒ රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන අටක් සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යයට ලැබුණා. සාමාන්‍යයෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේදී ජයග්‍රහණය ලබන වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට යනවා අඩුයි. නමුත් සඳුදා වැටෙන්නේ සිකුරාදාට කියන වේදිකා නාට්‍ය එහෙම වුණේ නෑ. එදා ඉඳන් අද වෙනකම් ප්‍රේක්ෂකයන් අතරට ගියා සහ මේ වන විටත් වේදිකාගත වෙමින් පවතිනවා. ඉදිරියේදී විදේශ සංචාර කිහිපයක් සඳහාත් අවස්ථාව ලැබිලා තියෙනවා.
මේ වෙනකොට මෙම වේදිකා නාට්‍ය දර්ශන වාර සියයක් සම්පූර්ණ කර තියෙනවා. මේ වගේ කාලයක මේ ලැබූ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නෙ?
දර්ශන වාර සියයක් කියන්නේ මේ කාලයේ ලංකාවේ හැටියට වේදිකා නාට්‍යයකට ටිකක් ලොකු ඉලක්කයක්. සංගීත ප්‍රසංග, සිනමා ශාලාවලට තරම් වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකයන්ගේ ලොකු නැඹුරුවක් තිබුණේ නැහැ. මේ වගේ තත්ත්වයක් තුළ දර්ශන වාර සියයක් ප්‍රදර්ශනය කරන්න ලැබුණු එක එක්තරා විදිහක ජයග්‍රහණයක්. හැබැයි අනිත් පැත්තෙන් තවත් කාරණයක් කියන්න ඕනෑ. මේ වෙනකොට ප්‍රේක්ෂකයන් වැඩි නැඹුරුවක් දක්වනවා වේදිකා නාට්‍ය නරඹන්න. කොළඹ වගේම කොළඹින් එපිටත් මේ තත්ත්වය දැකගන්න පුළුවන්. නාට්‍ය පැත්තෙන් වගේම ලංකාවේ ප්‍රේක්ෂකාගාරය පැත්තෙන් ගත්තම ඒක සතුටට කරුණක්.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට පොතක් විදිහටත් එළි දකිනවා. ඒ ගැනත් කතා කරමු?
2024 වසරේ සාහිත්‍ය මාසය අළලා මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සන්ථව ප්‍රකාශන ආයතනයෙන් තමයි සඳුදා වැටෙන්නේ සිකුරාදාට පොත ප්‍රකාශයට පත් කළේ. විවිධ හේතු නිසා පොත දොරට වැඩීම නිල වශයෙන් කරන්න බැරි වුණා. ඒක කල් ගියා. නාට්‍යයේ කෘතියම තමයි මේ පොතේ ඇතුළත් වෙලා තියෙන්නෙ. මේ නාට්‍ය කෘතියක් විදිහට එළි දක්වන්න හිතුවේ මේ ගණයේ නාට්‍ය අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා ඉතාම අඩුයි. බේදාන්ත ප්‍රහසන ගණයේ නාට්‍ය ලංකාවේ වේදිකාගත වුණේම පරිවර්තන අනුවර්තන විදිහට. බේදාන්ත ප්‍රහසන ශානරයේ ස්වතන්ත්‍ර නාට්‍ය ලංකාවේ ඉතාම අඩුයි. ඒ නිසාම තමයි මේක මුද්‍රිත කෘතියක් විදිහට පළ කරලා සංරක්ෂණය කරන්න සහ පාඨකයන් අතර යවන්න හිතුවේ.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට ලැබූ සම්මාන ගැන කතා කරමු?
පනස් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම වේදිකා නාට්‍ය බවට සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍ය පත්වුණා. අපිට මෙහිදී මේ නාට්‍ය වෙනුවෙන් සම්මාන අටක් හිමිවුණා. හොඳම නිෂ්පාදනයට හිමි සම්මානය මෙහි නිෂ්පාදිකාව වන දිලූපා නිරෝෂණී අල්විස් ලබා ගත්තා. හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම පිටපත් රචනය වෙනුවෙන් මට සම්මාන ලැබුණා.
අපිට හොඳම රංග වින්‍යාසය සඳහා කුසලතා ඇගයීමක් ලැබුණා. හොඳම සහාය නළුවාට හිමි සම්මානය සරත් කරුණාරත්නටත්, හොඳම නිළියට හිමි සම්මානය සුලෝචනා වීරසිංහටත් හිමිවුණා. ඒ වගේම සිළිඳු රන්වල හොඳම නිළිය විදිහට නිර්දේශ වුණා. කුසල් මදුරංග හොඳම නළුවා විදිහට නිර්දේශ වුණා.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් කතා කරමු?
සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍ය, කොළඹින් පිට දර්ශන වාර විශාල සංඛ්‍යාවන් ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ හැම තැනකදීම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් තැන්වලදි පළවෙනි පාර නාට්‍ය බලපු ප්‍රේක්ෂකයන්ම ආපු අවස්ථාත් තිබුණා. ප්‍රේක්ෂකයන් ඉතාම ආසාවෙන් නාට්‍ය රසවින්දා. නාට්‍ය උළෙලේදී සංවිධායකයන් විසින් මුස්ලිම් ප්‍රේක්ෂකයන් පිරිසකට මේ නාට්‍ය නරඹන්න ආරාධනා කරලා තිබුණා. එයාලා සිංහල වේදිකා නාට්‍ය කලින් බලලා තිබුණෙත් නැහැ. එයාලටත් මේ නාට්‍ය ඉතාම වින්දනාත්මක එකක් වුණා. එයාලා අපිත් එක්ක කතා කරලා කිව්වා, අපි මෙච්චර කාලයක් ටීවී විතරයි බලලා තිබුණේ. නමුත් වේදිකා නාට්‍ය කියන්නේ වෙනස්ම අත්දැකීමක්. අපිත් වේදිකා නාට්‍ය බලනවා මීට පස්සේ කියලා.
වර්තමානයේ වේදිකා නාට්‍ය කලාවට ලැබෙන වටිනාකම ගැන ඔබේ අදහස් මොනවාද?
වේදිකා නාට්‍ය පැත්තෙන් බැලුවම ඉතා දිගු අතීතයක් තියෙනවා. නමුත් ඒ වටිනාකම තවමත් වේදිකා නාට්‍යකරුවන්ට ලැබිලා නැහැ. ඒ වටිනාකම මීට වැඩිය ඉහළ මට්ටමක තිබිය යුතුයි කියලා මම හිතනවා. සිනමාව ගත්තත්, වේදිකාව ගත්තත් ඒ වෙනුවෙන් වෙනම පුහුණු පාසල් ලංකාවේ නැහැ. දැනට සිනමා ක්ෂේත්‍රය ගත්තත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ගත්තත් ඒවායේ පෙරළි කරන බොහෝ අය එන්නේ වේදිකා නාට්‍ය ඔස්සේ. නමුත් වේදිකාවට ලැබිලා තියෙන අගය කිරීම සහ සැලකිල්ල ප්‍රමාණවත් මදි කියලා මට හිතෙනවා. මොකද, දැනට වේදිකා නාට්‍යයක් සංවිධායකවරයකුට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ දර්ශන දෙකක් ලක්ෂ තුනක් වගේ මුදලකට. මම කියන්නේ මේ වටිනාකම මීට වඩා වැඩි වෙන්න ඕනෑ. රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, රචකයන්ට මීට වැඩිය වැඩි වටිනාකමක් ලැබිය යුතු තත්ත්වයක් තියෙනවා. නමුත් ඒක අපේ රටේ තවම හැදිලා නැහැ. හැබැයි අපේ රටේ වේදිකා නාට්‍ය ගැන විදේශ රටවල අවධානය යොමුවෙලා තියෙනවා. මේ කාල වකවානුව තුළ විදේශ රටවලින් අපේ වේදිකා නාට්‍ය ගෙන්වාගෙන ප්‍රදර්ශනය කරන්න මේ කාලයේ වැඩි නැඹුරුවක් තියෙනවා. මේක ඇත්තටම බොහොම හොඳ තත්ත්වයක්. ලංකාවෙත් මේ වගේ තත්ත්වයක් මීට පසුව හරි උදාවෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
සඳුදා වැටෙන්නේ සිකුරාදාට නිෂ්පාදනයේදී මුහුණ දුන් අභියෝග මොනවාද?
මූලික වශයෙන්ම පෙර තිබුණු ගැටලුවලට, ප්‍රශ්නවලට වඩා වෙනස් ගැටලු රාශියක් මේ නිර්මාණය සිදුකරනකොට අපිට මතු වුණා. ඒ වගේම පෙර තිබූ ගැටලු ඒ විදිහටම මතුවුණු අවස්ථාත් තිබුණා. විශේෂයෙන්ම මූල්‍යමය පැතිකඩ බැලුවොත් මේ වෙනකොට පෙරට වඩා වැඩි වශයෙන් බරපැනක් දරන්න වෙනවා, වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න. ඉස්සර නම් එහෙම නැහැ. අපි කිහිප දෙනෙක් කොහේ හරි තැනක එකතුවෙලා පුහුණුවීම් කරලා වේදිකා නාට්‍යයක් පෙන්වන්න හැකියාව තිබුණා. දැන් ඒ වගේ පහසුකමක් නැහැ. මේ වෙනකොට වේදිකා නාට්‍ය වෙනුවෙන් නිෂ්පාදකවරුන්ට විශාල පිරිවැයක් දරන්නට සිදුවෙලා තියෙනවා. මේවා තමයි පෙර නොතිබුණු වර්තමානයේ ඇතිවුණු අභියෝග.
මම කලින් කිව්වනේ පෙර තිබුණු අභියෝග මේ වෙනකොටත් ඒ වගේම තියෙනවා කියලා. ඒවා තමයි, පනස් වැනි නාට්‍ය උළෙල පැවැත්වුණත් සංස්කෘතික අමාත්‍යාංශයෙන්වත් වෙන කිසිම තැනකින්වත් නාට්‍යවේදීන්ට නාට්‍ය පුහුණු වෙන්න තැනක් හදලා දීලා නැහැ. බොහෝ වෙලාවට නාට්‍යවේදීන්ට තියෙන බරපතළම ගැටලුවක් තමයි නාට්‍ය පුහුණු වෙන්න තැනක් නැති එක. විසඳනවා නම් ඇත්තටම ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. රජයේ පාසල් තියෙනවා, ඒවායේ ප්‍රධාන ශාලාවල් තියෙනවා. ඉතින් අධ්‍යාපන අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මැදිහත් වෙලා අවම වශයෙන් ජාතික මට්ටමේ නාට්‍යවේදීන්ට තමන්ගේ පුහුණුවීම් කරගන්න ළඟපාත තිබෙන රජයේ පාසල්වල ගොඩනැගිල්ලක් හෝ රංග ශාලාවක් පුහුණුවීම් කරන්න ලබා දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් මේ වෙනකොට ඒ කිසිම දෙයක් වෙලා නැහැ.
ඊළඟ කාරණාව තමයි රංග ශාලාවල තිබෙන අර්බුදය. කොළඹ ප්‍රධාන පෙළේ රංග ශාලා තුනක් ඇරුණුකොට ප්‍රාදේශීය මට්ටමේ තිබෙන රංග ශාලා, ඇත්තටම ඒවා රංග ශාලා නෙවෙයි. ඒවා නිකම් ප්‍රජා ශාලා වගේ. කිහිප දෙනකුට වාඩිවෙලා ඉන්න පුළුවන් වුණාට නාට්‍යයක් රසවිඳින්න අවශ්‍ය ගුණාත්මක පරිසරය ඒ ස්ථානවල නැහැ. හැබැයි ඒවායේ මිල ඉතාම ඉහළයි. කොළඹින් පිට පළාත්වල තමයි දරුණුවටම මේ අර්බුදය තියෙන්නෙ.
• මංගලා පවිත්‍රානි