සංගීත්... ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ගිරිරාජ් කෞශල්‍යගේ පිටපතක් වුණු “කාසි වාසි” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
සිවා සර් වගේම ගිරා මාමාත් මම කාලයක පටන් හඳුනනවා. මුලින්ම සිවා සර් මට කතා කරලා “චිත්‍රපටයක් කරනවා. ඒකට එන්න පුළුවන්ද?” කියලා ඇහුවා. මමත් ඒකට හරිම කැමැත්තෙන් සම්බන්ධ වුණා. සිවා සර්ගේ නිර්මාණ කිහිපයකටම මම ඊට පෙර සම්බන්ධ වෙලා හිටියේ. විශේෂයෙන් “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍ය හරිම ජනප්‍රිය වුණා. ඒ වගේම ගිරා මාමාත් එක්කත් මම වැඩ කරලා තිබුණා. ඒ නිසා ඔවුන් දෙදෙනා නිසාම “කාසි වාසි” නිර්මාණයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ජයප්‍රකාශ් සිවගුරුනාදන් මොනවගේ අධ්‍යක්ෂවරයෙක්ද?
“නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් නිර්මාණ කිහිපයකටම මම සම්බන්ධවෙලා තියෙනවා. “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍ය ඔස්සේ මාව බොහෝ දෙනා හඳුනා ගත්තා. ඇත්තටම සිවා සර් හරි අපූරු අධ්‍යක්ෂවරයෙක්. හරිම සරල මනුස්සයෙක්. රූගත කිරීම් කරද්දි ඔහු අපිට නිදහස දීලයි තියෙන්නෙ. කිසිම වෙලාවක අපිව චරිතයත් එක්ක පීඩනයකට ලක් කරන්නෙ නැහැ. මම විතරක් නෙවෙයි මේ ක්ෂේත්‍රයේ වැඩ කරන හැමෝම හරිම ආදරය කරන, ගරු කරන චරිතයක් විදිහට සිවා සර්ව හඳුන්වන්න පුළුවන්. “කාසි වාසි” නිර්මාණය කරද්දිත් ඔහු තුළ තිබුණු ඒ සුන්දර මනුස්සයා වෙනස් නොවී හිටියා. සිවා සර්ට මම හරි ආදරෙයි. ඒ වගේම ඔහුත් අපිට හරි ආදරෙයි.
“කාසිවාසි” තිර පිටපත් රචකයා වෙන්නෙ ගිරිරාජ් කෞශල්‍යයි. ඔහුත් මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා. රඟපෑමේදී ඔහුගෙන් ලැබුණු උපදෙස් හා සහයෝගය කොහොමද?
“කාසි වාසි” රූගත කිරීම් කරද්දී මට ඔහු එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. ගිරා මාමා කියන්නෙ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. අත්දැකීම් බහුල රංගන ශිල්පියෙක්. ඔහු එක්ක රඟපාද්දී අත්දැකීම් අඩු අපිට හරියට විශ්වවිද්‍යාලයක් වගෙයි. “නාඩගම්කාරයෝ” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරද්දිත් ඔහුගෙන් පුදුමාකාර සහයෝගයක් වගේම උපදෙස් ලැබුණා. “කාසි වාසි” නිර්මාණයේදීත් ඒ වගේම තමයි.
සංගීත්ගේ මේ කී වැනි සිනමා නිර්මාණයද?
ඇත්තම කිව්වොත් “කාසි වාසි” කියන්නෙ මගේ තිරගත වුණු මුල්ම සිනමා නිර්මාණයයි. හැබැයි මේ වෙද්දි මම චිත්‍රපට තුනකට දායකත්වය ලබා දීලා තියෙනවා.
මේ දිනවල කරන්නෙ මොනවද?
මේ දිනවල ලොකු කාර්යබහුල බවක් නැහැ. “කාසි වාසි” චිත්‍රපටය තිරගත වෙන නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න උත්සාහ ගන්නවා. ඊට අමතරව තව නිර්මාණයකටත් සම්බන්ධ වුණා. ඔය අතරේ මගේ ව්‍යාපාරයට වැඩි කාලයක් වෙන් කරන්න උත්සාහ ගන්නවා.
“Prabhu Unisex Salon” ඔයාගේ හීනයක් සැබෑවීමක්ද?
ඇත්තම කිව්වොත් ඒක හීනයක් නෙවෙයි. ඒක අහඹුවක්. හැබැයි ඒක හීනයක් කරගෙන තමයි ඉදිරියට වැඩ කරගෙන යන්නෙ.
ව්‍යාපාරිකයෙක් විදිහට රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කරන්න හිතුණේ ඇයි?
කලාකරුවෙක්ට, කලාකාරියකට රූපලාවණ්‍යාගාරයට යන්න සිදුවෙන අවස්ථා වැඩියි. ඒකත් එක්කම රූපලාවණ්‍යාගාරයක් දැම්මොත් මට වගේම මගේ යාළුවන්ට ඒක පහසුවක් වේවි කියලා හිතුණා. ඒ විදියට තමයි 2021 අවුරුද්දේ ඉතාම පොඩියට, බොහොම පොඩි ඉඩ සීමාවක සැලුන් එකක් ආරම්භ කළේ. එතැන් සිට මම හෙමිහිට මගේ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ කළා. මේ වෙද්දි ඒක කෝට්ටාව නගරයේ "Prabhu Unisex Salon" නමින් පවත්වාගෙන යනවා.
කොට්ටාව නගරය කවදාවත් සංගීත්ට ජීවිතයේ අමතක කරන්න බැරි නගරයක්. මම හරි නේද?
ඔව්... හරියටම හරි. කොට්ටාව නගරය මගේ ජීවිතයේ අමතක නොවන නගරයක්. මගේ ජීවිතයේ වෙනස්කම් සිදුවුණේ කොට්ටාව නගරයත් එක්කයි. අනුරාධපුර ඉඳන් මම කොළඹට ඇවිත් එතැනින් කොට්ටාව බස් එකේ නැගලා කොට්ටාව නගරයෙන් බැහැපු ගමන තමයි මාව මේ තරම් දුරකට එක්කගෙන ආවේ. මේ ගමන ලේසි ගමනක් වුණේ නැහැ. ඒක හරි දුෂ්කර ගමනක්. එතැන් සිට මම රංගන ශිල්පියෙක් වෙන්නෙත්, ව්‍යාපාරිකයෙක් වෙන්නෙත් මේ කොට්ටාව නගරයට ජීවිතය හොයාගෙන ආපු නිසයි. ඒ නිසා කොට්ටාව නගරය කියන්නෙ මට හරි ලස්සන නගරයක්.
සංගීත් අද කොට්ටාව නගරයේ ව්‍යාපාරිකයෙක්. ඒත් කාලයක් ඔයා කොට්ටාව නගරයේ ප්‍රසිද්ධ ආහාරපාන ව්‍යාපාරයක සේවකයෙක්?
ඔව්... කොට්ටාවට ඇවිත් මම මුලින්ම KFC එකේ වැඩ කළා. ඒ ගමන ඉතාම දුෂ්කර වුණාට ඒ හැමදේම මම සතුටින් විඳ දරා ගත්තා. කවදා හරි දවසක මගේ අරමුණුවලට මම යනවා කියන දේ හැම මොහොතකම මගේ ඔළුවේ තිබුණා. ඒ අරමුණුවලට තාමත් මම ගිහින් නැහැ. තාමත් මම හෙමින් ගමනක් යනවා. මට වේගයෙන් ගමනක් යන්න ඕනෙ නැහැ. හෙමිහිට යන ගමනේදී ලොකු මහන්සියක් නැහැ. මගේ උපන් ගම බදුල්ල. මම හැදුණේ වැඩුණේ අනුරාධපුර.
අනුරාධපුර ඉඳන් කොළඹ එන්න හිතුණේ ඇයි?
අනුරාධපුර ඉඳන් මම කොළඹට ආවේ නළුවෙක් වෙන්නමයි. ඒක තමයි මගේ හීනය වෙලා තිබුණේ. මම කොළඹට එද්දි දන්න කියන කෙනෙක් කොළඹ හිටියේ නැහැ. මට නවතින්න තැනක් තිබුණේ නැහැ. හැබැයි ඒ හැමදේම නොතිබුණත් මගේ හිතේ හයිය තිබුණා. මට පුළුවන් කියන විශ්වාසය තිබුණා. කොහේ ගියත් ගේමක් ගහලා මට ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබුණා. ඒ විශ්වාසය තුළින් ජීවිතය හොයාගෙන යන්න පුළුවන් බව මට තේරුණා. කොට්ටාවට ඇවිත් තමයි මම රස්සාවක් හෙව්වේ. ඒකත් ලේසි වුණේ නැහැ. ජීවිතේ එහෙම පටන් ගත්ත කොට්ටාව නගරයේ අද මට සැලොන් එකක් තියෙනවා දකිද්දි ඇත්තටම මට මම ගැන ලොකු සතුටක් දැනෙනවා. එදා වැඩ කරපු KFC එක ගාවින් අද යද්දි මට මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් හිතට දැනෙනවා.
අනුරාධපුර ඉඳන් තනියම කොළඹට එද්දි අම්මාගේ අකමැත්තක් තිබුණේ නැද්ද?
අකමැති වුණා. හැබැයි ඊට කලින් මම සෑහෙන්න එහෙම ගෙදරින් ඇවිත් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ලියලත් මම ගෙදරින් ආවා. මට ඕනෙ කියලා හිතෙන දේ මම කොහොම හරි හොයාගෙන යනවා. ඒ මගේ හැටි. ඒක ගෙදර හැමෝම දැනගෙන හිටියා. උවමනාවක් තිබුණොත්, දරා ගැනීමක් තිබුණොත්, කැපවීමක් කළොත්, ඕනෑම දෙයක් දිනාගන්න පුළුවන් කියන දේ මම විශ්වාස කළා. ජීවිතය අතහරින්නෙ නැතුව හීනය ඉලක්කය කරගෙන හිටියොත් ගමනක් යන්න පුළුවන්.
සංගීත් දෙවැනි මනමාලයා විදියට කී පාරක් ලෑස්ති වුණාද?
අප්පච්චියේ... දැන් ගණන් කරන්න බැරි තරම් ගාණක් ඉඳලා තියෙනවා.
ඉතින් දැන් මනමාලයෙක් වෙන්න කාලේ නේද?
බලමු... ඒකත් මම එදාට අනිවාර්‌යෙන්ම දැනුම් දෙන්නම්. තවම දින වකවානු තීරණය කරලා නැහැ. අපි දෙන්නා ඉතාම සතුටින් ආදරය කරනවා. මේ දවස්වල අපි දෙන්නම අපේ ඉලක්කවලට යන්න උත්සාහ කරනවා.
අද ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම සතුටින්. මම හම්බකළේ ආදරණීය මිනිස්සුන්වයි. ඒ මිනිස්සුන්ගේ ආදරය මට හරියට දැනෙනවා. ඒ ආදරයට මමත් ආදරෙයි. මේ කොහේ හරි මම වපුරපු දේවල් ඇති. ඒවා කවදා හරි මට ලැබේවි.
• දිශානි ජයමාලි
• ගයාන් අමරසේකර