2025 ජනවාරි 24 වන සිකුරාදා

කවුරු මොනවා කීවත් මම කරන්නේ මෙහෙම චිත්‍රපටමයි... - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

 2025 ජනවාරි 24 වන සිකුරාදා, ප.ව. 02:00 36

මේ මොහොතේත් ඔබ කෙරේ මගේ කැමැත්ත ආකර්ෂණය සහ ආදරය යා වෙන්නේ ඔබ ලියූ ගීතත් එක්ක. ඒත් මීට අවුරුදු ගණනාවකට පෙර ඔබ ගීත රචනයෙන් සම්පූර්ණයෙන්ම වගේ අයින් වුණා. ගීතයෙන් දුරස් වී සිනමාව හා යා වුණා. ගත්ත තීරණය දරුණු තීරණයක් කියලා හිතුන් නැද්ද? හිතෙන්නෙ නැද්ද?

නෑ... ඒ තීරණය දරුණු තීරණයක් කියලා මට හිතිලත් නෑ. මම හිතන්නෙත් නෑ. ගීත රචනා කලාව මම අත්හැරලා දැනට අවුරුදු පහළොවක් විතර වෙනවා. මගේම චිත්‍රපටයකට හෝ මගේ යාළුවෙක්ගේ චිත්‍රටයකට ගීතයක් ලියන්න කියලා ඉල්ලීමක් කළ මොහොතකදි හැරෙන්න මම කිසිම මොහොතක ගීතයක් ලියන්නෙ නෑ. ගීත රචනයෙන් අත්හල තැන මගේ ආධ්‍යාත්මික රික්තකය පුරවගන්න මම සොයා ගිය මාධ්‍ය සිනමාව. මම කියූ කොන්දේසි මත මිසක් මගේ අවසන් හුස්ම තෙක් මම ආය කවදාවත් ගීතයක් ලියන්නෙ නෑ.

මහාචාර්යතුමනි ඇයි ඔබට ගීත රචනය ඒ තරමටම එපා වුණේ? මට කියන්න එපා වෙන්න හෝ එපා කරවන්න සාධාරණ හේතුවක් හෝ හේතු තියෙනවද?
ඔව්... අතිශය සාධාරණ හේතුවක් තියෙනවා. ගීතයට මම ප්‍රාණ සමානව ආදරය කරපු කෙනෙක්. ගීතය කියන අතිශය ඉසියුම් මාධ්‍ය ඉතා ඉහළ තැනක තිබුණු යුගයක් තිබුණා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, පණ්ඩිත් අමරදේව වැනි පරිණත නිර්මාණවේදීන්ගේ ගීත, තනු රචනා කලාව ස්වර්ණවත් වග කවදාවත් අමතක කරන්න බෑ. ඒත් මොන අවාසනාවකටද මම දන්නෙ නැහැ අපේ ඇස් පනාපිටම ඒ සුගීතවත් සුලාලිත සුභාෂිත ගී යුගය අවසන් වුණා. සාහිත්‍යමය රසයෙන් සපිරි ගී, විශිෂ්ට ගී තනු සහ විශිෂ්ට ගායක ගායිකාවන්ගේ ගීත වෙනුවට බොහෝ පෞද්ගලික රූපවාහිනී සහ සහ එෆ්.එම්. නාලිකා බොහොමයක් හඹා ගියේ අරුත් සුන්, රස හීන කඨොර ගීත. ඇත්තටම පෞද්ගලික රූපවාහිනී සහ එෆ්.එම්. නාලිකා බිහිවීමත් එක්ක ලංකාවේ ගීත කලාව විනාශ වුණා. ඒ බොහෝ නාලිකා එම විනාශයට ඍජු වගඋත්තරකරුවන් විය යුතුයි. ගීත රචනා කලාව සහ ගීතය බංකොලොත් කිරීමට එදා මෙදා තුර ඔවුන් බොහෝ දෙනා දැක්වූයේත් දක්වන්නේත් ඍජු සහ ප්‍රබල දායකත්වයක්. ගීත සහ ගී තනු කලාව බිංදුවටම වැටුණා. හොඳ ගීතයක් හොඳ තනුවක් දැන් ඇහෙන්නේ ඉතාම කලාතුරකින්. සමහරු තනු හොරකම් කළා. ජෝතිපාලලා වගේ ගායකයන් කවදාවත් අනුන්ගේ තනු හොරකම් කළේ නෑ.

ප්‍රසිද්ධියේ ඒවා ගායනා කළා. හොරෙන් කිරීමේ කලාවක් හෝ හොරකම් කිරීමේ කලාවක් ඔවුන් සතු වූයේ නැහැ. ඉතින් මේ ගීත බංකොලොත් යුගය ගීත රචනයට හදවතින්ම ආදරය කළ මා වැන්නවුන්ට දරාගන්න අසීරු වුණා. මම විතරක් නෙවෙයි ගීත රචකයන් ලෙස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හැඳින්විය හැකි හුඟාක් ගීත රචකයන් ගීත නොලියන්න මේ විනාශය හේතු වුණා. මම කවදාවත් සල්ලි උපයන්න ගීත ලියුවේ නැහැ. මම ගීත ලියුවේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඉතින් ගීතය නිසා රිදෙන තැන් ඇයි මම අත්නොහරින්නේ? පෞද්ගලික නාලිකා ප්‍රමුඛව මේ රටේ ගීතය රසවිඳි රසිකයන්ගේ රසඥතාව හුඟාක් පහළ මට්ටමකට අරගෙන ආවා. ඇත්තටම එක රැයකින් මේ රටේ බහුතරයක් පෞද්ගලික නාලිකා මේ රටේ ගීත කලාව විනාශ කළා. ගුවන්විදුලිය, රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය යුග ගණනාවක් තිස්සේ ගීතය සහ ගීත රසඥතාව වෙනුවෙන් කළ මෙහෙවර මේ මොහොතේත් මම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් මම මොකටද තවත් ගීත ලියන්නේ.

ඇයි ඔබ සිනමාවේදියෙක් විදිහට ඉතිහාස කතා සහ බෞද්ධ – දේව සංකල්ප සහ තේමාවන් තුළටම කොටුවෙන්නේ? ඇයි ඒ රාමුවෙන් එළියට පැමිණ ප්‍රස්තුත සොයා යන්න ඔබ අකමැති?
ඓතිහාසික කතාවලට මම ඇත්තටම ආසයි. එය අත්හැර සිනමාවක් ගැන හිතන්න මගේ සිනමාකරණය තුළ මම කැමති නැහැ. මගේ සිරිබෝ අයියා සහ සරුංගලේ යන චිත්‍රපට ගත්තත් සිරිබෝ අයියා චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ 1800 ගණන්වල ප්‍රස්තුතයක්. සරුංගලේ චිත්‍රපටයට ප්‍රස්තුත වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක යුගයේ කතාවක්. එතැනදිත් මම නූතන සමාජය සහ නූතන ජීවිතය අත්හැරලා ඓතිහාසික රස සාරයම තමයි හොයාගෙන ගිහින් තියෙන්නේ. සිනමා විචාරකයන් හෝ තව කවුරුන් මොනවා කීවත් මම ඓතිහාසික ප්‍රස්තුතයන්ට ඇති සිනමාමය ආලය අත්හරින්නෙ නෑ. ඓතිහාසික කතා, බෞද්ධ රජ කතාවලට මම ආසයි. බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් මම නිර්මාණය කරලා තියෙන්නෙ යශෝධරා, බුද්ධ මාතා සහ කදිර දිව්‍යරාජ විතරයි. ක්ෂීර සාගරය කැළඹිණ කියන්නෙ ෆැන්ටසියක්. ඒ කතාවට කාලයක් දේශයක් නෑ.
මට හමුවූ නිෂ්පාදකවරු කවදාවත් මට උවමනා දේ කරන්න නිදහස දුන්නා මිස මට බලපෑම් කළේ නෑ. මම දන්නවා ඓතිහාසික බෞද්ධ රජ කතා තේමා කරගත් සිනමා කෘති නරඹන්න අසීමිත ප්‍රේක්ෂක පිරිසක් නෑ. ඉන්න පිරිස සීමිතයි. ඒත් ඒ සීමිත පිරිස වෙනුවෙන් මම හැමදාමත් ඒ දහරාවේ චිත්‍රපට හදනවා. ලංකාවේ ගීත කලාව විනාශ වුණාට සිනමා කලාව ඒ විදිහට විනාශ වුණේ නෑ. ඒ විනාශ නොවුණු සිනමාව තුළ මම මගේ රුචිකත්වය අනුව මගේ ගමන යමින් සිටිනවා.

ලාංකික සිනමාවට වසර 78 ක් සපිරුණා. ඒත් අදටත් ලාංකික සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරන්න නොහැකි වුණා. ප්‍රස්තුතමය අතින් මෙන්ම සිනමාත්මක අතින් පොහොසත් සිනමාවක් ගැන හීනය තවදුරටත් දුර හීනයක් කියන එක මගේ හැඟීමයි. මහාචාර්යතුමනි මට දෙන්න උත්තරයක්?
වසර 78 ක් පුරා ලාංකික සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපිත කරන මෙන් අරගල කළා නම් අදටත් එය ප්‍රතිඵලවලින් වියුක්ත අරගලයක් විතරයි. එය කර්මාන්තයක් ලෙස ස්ථාපිත කර තිබුණානම් විදුලි බිල අඩුකර ලබාදුන් සහනය ඒ කර්මාන්තයට ලැබෙන්න තිබුණා. බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනගන බවට පොරොන්දු වුණත් කිසිම ආණ්ඩුවක් ඒ පොරොන්දුව ඉටු කළේ නෑ. නව රජය හෝ අලුතින් පත් වූ චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා හෝ ඒ පොරොන්දුව ඉටු කරනවානම් එය විශාල සතුටක්. 

මට හිතෙන්නෙ ලංකාවේ නිෂ්පාදනය වෙන චිත්‍රපට සංඛ්‍යාව වැඩියි කියලා. එකවර චිත්‍රපට බෙදා හරිනවා. ඒ බෙදාහැරීමේ කිසිම විධිමත් ක්‍රමවේදයක් නෑ. විනිවිද ස්වභාවයක් නෑ. ප්‍රතිපත්තිමය ස්වභාවයක් නැහැ. චිත්‍රපට මණ්ඩල හරහා බෙදාහැරීම වෙනුවට චිත්‍රපට සංස්ථාව මණ්ඩලයක් බවට පත්කර ඒ හරහා චිත්‍රපට බෙදාහැරීම සිදු කළ යුතුයි. මණ්ඩල හරහා චිත්‍රපට බෙදාහැරීම තුළ නිර්මාණය වූ ගැටලු රැසක් තියෙනවා. එය අප වෙනමම විවාදාත්මකව කතා කළ යුතු මාතෘකාවක් සහ ප්‍රවේශයක්.

එක් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයෙක් තව චිත්‍රපටයක් යළිත් තම ජීවිත කාලය තුළ සිදු නොකිරීමට තීරණය කිරීමට තරම් බහුතරයක් නිෂ්පාදකවරුන් මුහුණ දෙන ගැටලු සහ අර්බුදය ප්‍රබලයි. ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ?
ඒක නම් ඇත්තටම සම්පූර්ණ ඛේදවාචකයක්. එක් චිත්‍රපටයක් නිෂ්පාදනය කළාම තව චිත්‍රපටයක් කරනවා කියන එක හීනෙන්වත් නොහිතන තරමට බහුතරයක් චිත්‍රපට නිෂ්පාදකවරුන්ට මේ ක්ෂේත්‍රය එපා වෙලා තියෙන්නෙ. 
චිත්‍රපට නිෂ්පාදකවරයකුට මුදල් ලබාදෙන ක්‍රමවේදය බලන්න. ඉතා සුළු ප්‍රතිශතයක් ඇත්තටම බැලුවොත් නිෂ්පාදකවරයකුට ලැබෙන්නෙ. මාෆියාවන් හුඟාක් ක්‍රියාත්මකයි. සමහර විට චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා අවුරුදු හත අටක්. චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න ඉඩක් නැතුව බලාගෙන ඉන්නවා. සමහරවිට එහෙම බලාගෙන ඉඳලත් ප්‍රදර්ශනයට ලැබෙන සිනමා ශාලා ගණන සීමිතයි. අද නිෂ්පාදකවරු ඉන්නෙ අර්බුදයක. චිත්‍රපටය පිළිබඳව ප්‍රචාරණයේදී ඇතැම් විට නළු නිළියන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ සහය ලැබෙන්නෙ නෑ. අත්ත බිඳෙයි පය බුරුලෙන් වගේ හුඟක් පරිස්සම් වෙන්න වෙනවා.

ලාංකික සිනමාව තුළ තිර රචනා කලාව පිළිබඳව අවබෝධයක් ඇති නිර්මාණශීලී තිර රචකයන් ඉන්නවද ඇත්තටම අපට සෑහීමකට පත්විය හැකි පරිදි?
අධ්‍යක්ෂවරුන්ට හොඳ තිර පිටපතක් හිඟා කන්න වෙන තරමට හොඳ නිර්මාණශීලී තිර පිටපත්වල හිඟයක් ලාංකික සිනමාවේ තියෙනවා. ඇත්තටම හොඳ තිර පිටපත් රචකයන්ගේ ලොකු අඩුවක් තියෙනවා. ඒ අඩුවේ තරමටම අවශ්‍යතාවක් තියෙනවා. සිංහල සිනමාවට නිර්මාණශීලී නව චින්තනයන් සහිත ලියන්න දන්න තිර පිටපත් රචකයන් අවශ්‍යව තිබේ කියන එක තමයි කියන්න තියෙන්නෙ.

බුද්ධ මාතා චිත්‍රපටයට ජනවාරි 29 වැනිදාට දින 50 ක් සම්පූර්ණයි. ඉතින් ඔබ තෘප්තිමත්ද? බුද්ධ මාතා යනු සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නට විශාල අභියෝගයක්ද?
ඔව්.. බුද්ධ මාතා කියන්නෙ මට විශාල අභියෝගයක්. සමහර දර්ශන තලවල අතිරේක නළු නිළියන් තුන් හාරසීයක් විතර හිටියා. ක්‍රි.පූ. 6 වැනි සියවස තරම් ඈත යුගයක් ප්‍රතිනිර්මාණය කිරීම සැබැවින්ම විශාල අභියෝගයක්. ඒ අභියෝගය වෙනුවෙන් මා සමඟ තිරයෙන් එහා සහ මෙහා හැම කෙනෙක්ම තම උපරිම දායකත්වය ලබා දුන්නා. ඒ වගේම විශාල පිරිවැයක් දරමින් නිර්ලෝභීව මේ චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය දැරූ තිලංග සුමතිපාල මහතාට මගේ ගෞරව පූර්ව ස්තූතිය මම පිරිනමනවා. තිර රචනයේදිත් මම විශාල වෙහෙසක් දැරුවා. ඇත්තටම සිනමාවේදියෙක් ලෙස මම ජය ගත්තේ විශාල අභියෝගයක්. 
අනිත් එක නළු නිළියන් තෝරා ගැනීම පවා මට විශාල අභියෝගයක් වුණා. සිංහල බෞද්ධ ජනතාවගේ ඇදහිල්ලට විශ්වාසයට අල්පමාත්‍රයක්වත් වචනයකින් හෝ හානි නොකිරීමේ වගකීම මට තිබුණා. ඒ ජනතාවගේ හිත් රිදීමක් මේ නිර්මාණය ඔස්සේ නොකිරීමේ යුතුකම හා වගකීම මට තිබුණා.

බුද්ධ චරිතය සහ බුදු දහම ගැන බුද්ධ මාතාහි රඟපෑ ඉන්දීය නළු නිළියන් දැන සිටියාද?
නැහැ. අද වෙද්දි ඉන්දියාව කියන්නෙ බුදු දහම නැත්තටම නැති වී ගිය රටක්. යශෝධරාවට රඟපෑ නිළිය ජෛන යුවතියක්. මහාමායා දේවියට, ප්‍රජාපතියට සහ සිදුහත් කුමරුට රඟපෑ නළු නිළියන් හින්දු ආගමේ ඔවුන් කිසිම කෙනෙක් බුද්ධ ධර්මය හෝ මේ චරිත ගැන කිසිවක්ම දැන සිටියේ නෑ. ඒ නිසා මුල සිටම ඔවුන්ට ඒ චරිත ගැන හැමදේම කියා දුන්නා. අංගුලිමාල චිත්‍රපටයේ ඉන්දියාවේ හැදුවෙත් තායිලන්ත බෞද්ධ සමාගමක් විසින්. ඒ නිසා එය ඉන්දියානු නිෂ්පාදනයක් නෙවෙයි. ඇත්තටම ඉන්දියාව කවදාවත් බෞද්ධ තේමාත්මක චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා නැහැ. ඇත්තටම ජවනිකාවෙන් ජවනිකාවට බුද්ධ චරිතය සහ අවශ්‍ය දේවල් මහාචාර්ය උපුල් රංජිත් ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දී භාෂා අධ්‍යනාංශයේ කිහිප දෙනෙක්ගේ දායකත්වයෙන් හින්දී භාෂාවෙන් ඔවුන්ට තේරුම් කර දුන්නා. දෙබස් ලීවේ හින්දී අකුරුවලින් සිංහල කියවන්න. ඔවුන් ඉතා හොඳින් ඒ භාෂා හැසිරවීම කළ නිසා හඬකැවීම හරිම තාත්වික වුණා.

ඇයි ඔබ ඉන්දීය නළු නිළියන්ගේ අවශ්‍යතාවය ලාංකික සිනමාවට ඇති කරන්නෙ?
අවස්ථා තුනකදි විතරයි මම ඉන්දීය නළු නිළියන් මගේ සිනමා නිර්මාණවලට යොදා ගත්තෙ. ඒ යශෝධරා, කදිර දිව්‍යරාජ සහ බුද්ධ මාතා චිත්‍රපට සඳහා. මොකද අපේ රටේ දන්න නළු නිළියන් මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච චරිත සඳහා යොදා ගනිද්දි ප්‍රේක්ෂකයන්ට මේ අහවල් නළුවනෙ නිළියනෙ කියලා මතක් වෙද්දි ඒ චරිතය ගැන ශ්‍රද්ධාව භක්තිය ප්‍රේක්ෂක මනසින් ගිලිහී යනවා. ඒ තමයි හේතු අංක එක. දෙවැනි එක පූජනීය චරිතයක් රඟපාලා ඔවුන් ඊළඟම කවර චරිතයක් රඟපායිද කොහොම හැසිරීම්හි නිරත වෙයිද දන්නෙ නෑ. එය ප්‍රේක්ෂක රසවින්දනයට සහ ඒ චරිතයේ ගෞරවයටත් හානියක්, අසාධාරණයක්, බාධාවක්. නමුත් ඉන්දීය නළු නිළියන් මින්පසු කරන කියන දේවල් හෝ රඟපාන චරිත අපි දකින්නෙ නෑ. ඒ තමයි හේතු.

• සංජීවිකා සමරතුංග