2025 ජනවාරි 18 වන සෙනසුරාදා

ගල් බෝලත් පුදුම පිස්සුවක්

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 52

දැන් බලන බලන හැම කෙනෙක්ගෙම අතේ මොනවා හරි ගල් ජාතියකින් හදපු අත් පළඳනාවක් තියෙනවා මචෝ. මේක ඇත්තටම ලෝකය පුරා වේගයෙන් ජනප්‍රිය වුණු Y Trend එකක්. සුදාලට කියන්න ලංකාවේ මේ දවස්වල, මේ සීන් කෝන් එක හිතාගන්න බැරි තරම් ජනප්‍රියයි. ඒ නිසාම මේකේ පිටිපස්සෙ තියෙන කතාවයි වර්තමානයේ තියෙන ආතල් එකයි ගැන අද කතා කරන්න අපි හිතුවා.

ඔයාලට මතක ඇතිනම් මීට කාලෙකට ඉස්සෙල්ලා අත් පළඳනා - බේස්ලට් ගැන අමුතුම Trend එකක් ලංකාවෙ නිර්මාණය වුණා. ගොඩක් වෙලාවට රත්තරන් බේස්ලට් තමා ජනප්‍රිය වුණේ. හීනි ලස්සන ඒවා, මහත කඹ වගේ ඒවා තත්ත්වය, තරාතිරම, ආර්ථික හැකියාව වගේ දේවල් එක්ක එකට ගැටගැහිලා ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඇත්තටම මචෝ මේක කාලයක් ලංකාවේ දකින්න ලැබුණු වෙනම විදිහක පිස්සුවක්.

ඊට පස්සේ අතේ එක එක පාට නූල් ගැටගහන එක ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. පස්සේ කාලෙක ප්ලාස්ටික් පටි Trend එකක් ආවා. අත් පළඳනා ගැන නිර්මාණය වුණු එක එක ජාතියේ ආතල් Trends මෙච්චරයි කියලා කියන්න බෑ. තාමත් ඒ සීන් කෝන්වල නෂ්ටාවශේෂ ඕනෑ තරම් දැකගන්න පුළුවන්. ඒත් දැන් ඒවා Trend එකක් විදිහටම දුවන්නෙ නෑ. හැබැයි මේ සීන් එකේ ආභාෂය අරගෙන ආපු ගල් බෝල පළඳනා නම් පට්ට Trend එකක් වෙලා.

ඇත්තටම මචෝ මේ සීන් කෝන් එක ජනප්‍රිය වෙන්නෙ සංස්කෘතික විශ්වාස පදනම් කරගෙන. අපි හැමෝම දන්නවා ලංකාවේ මැණික් තමයි ආභරණවලට එකතුවෙන වටිනාම කියන දේ. මැණික් සඳහා තියෙන ඉල්ලු‍මට ලොකු හේතුවක් තමා, අපේ සංස්කෘතික විශ්වාස පද්ධතිය, ජ්‍යෙතිෂය විසින් කරන නිර්දේශ. ඉතින් මචෝ ඒ වගේම මුළු ලෝකය පුරා බොහෝ සංස්කෘතීන්වල ගල් වර්ග පිළිබඳ විශ්වාස තියෙනවා.

ගෝලීයකරණයත් එක්ක ලෝකය වෙනස් වෙද්දි, සංස්කෘතිය හෝ මාරු වෙද්දි මේ වගේ අමුතු විශ්වාස එකට එකතුවෙලා වාණිජ වටිනාකම් හැදෙන්න පටන් ගත්තා. ඉතින් මචෝ ඒකෙ ප්‍රතිඵලයක් තමයි ගල් බෝල අත් පළඳනා අපේ අත්වලට එන්නත් හේතු වුණේ. ඇත්තටම මචෝ මේක ලොකු රැල්ලක්.

මේ පළඳනා වර්ග ගැන කතා කළොත් අපේ රටේ නම් ගොඩක්ම ජනප්‍රිය ටයිගර් අයි (Tiger’s Eye) පළඳනා තමයි. ඒත් මචෝ ඇමැතිස්ට් (Amethyst), රෝස් ක්වෝට්ස් (Rose Quartz) සහ ලැප්පිස් ලැස්ලි (Lapis Lazuli) වගේ පාෂාණවලින් සකස් කරපු අත් පළඳනා වර්ගත් දැන් මුළු ලෝකය පුරාම හරිම ජනප්‍රියයි. Fashion ලෝකය ඇතුළේ ලොකු Trend එකක් මේ පළඳනා විසින් නිර්මාණය කරලා තියෙනවා.

ඇයි මේ පළඳනා මෙච්චරම ජනප්‍රිය වුණේ කියන කාරණාව පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරන්න ඕනෑ. සරලවම කිව්වොත් සුදෝ මේ පළඳනාවල දැකගන්න පුළුවන් සෞන්දර්ය, ආධ්‍යාත්මික වටිනාකම සහ සෞම්‍ය පරිසර හිතකාමී බව තමා මේ Trend එක නිර්මාණය වෙන්න හේතුව.

මේ සීන් එකේ ආධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක වටිනාකම ගැන කතා කළොත් ඒක වෙනම ආතල් එකක්. උදාහරණයක් විදිහට ටයිගර් අයි පළඳනා ගැන තියෙන විශ්වාසය සලකා බලමුකෝ. අපේ මනස චිත්තවේගවල ගුණාත්මක බව වැඩි කරනවා, මනසට විවේකයක් සලසනවා, මනස ශක්තිමත් කරනවා වගේ විශ්වාස ටිකක් මේ පළඳනා ගැන තියෙනවා. ඇමැතිස්ට් සුව පහසු නින්දකට මඟ සලසනවා කියලත්, රෝස් ක්වෝට්ස් ආදරය සහ සංවේදීත්වය අගය කරන අයගේ කැමැත්ත අපිට අරගෙන එනවා කියලත් විශ්වාස කරනවා.

ඊළඟට මචෝ මේ පළඳනා අතේ පැළඳුවාම පරිසර හිතකාමී බවක් මේක ඇතුළේ නිරූපණය වෙනවා. ස්වභාවිකත්වයට ආදරය කරන කෙනෙක් බව පේනවා. ඒකත් මේ Trend එක ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක්. ඒ වගේම මේ නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කිරීමත්, ඒ ඔස්සේ නිෂ්පාදන පිළිබඳ යහපත් හැඟීම් ඇති කිරීමත් මේ සීන් කෝන් එක ජනප්‍රිය වෙන්න හේතුවක්.

ඒ කොහොම වුණත් මචෝ Fashion එකට ලස්සනට සෞන්දර්යට තමා වැඩි දෙනෙක් මේ කියන ජාතියේ අත් පළඳනා පළඳින්නෙ. ගැඹුරු ආධ්‍යාත්මික පාරිසරික හේතු තිබුණත් ලස්සනක් සෞන්දර්යක් නැත්නම් කවුරුත් මේවා භාවිත කරයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මචෝ බොරු කතා ඕනෑ නෑ, ඇත්තටම මේක පට්ට ලස්සන ආතල් වැඩක්.

ඊළඟට අපිට පුළුවන් මේ සම්බන්ධව තියෙන ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳ චුට්ටක් හොයලා බලන්න. ඇත්තටම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලු‍මක් මේ සීන් එකට තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජනපදය, යුරෝපය සහ ආසියානු රටවල කාන්තාවන් සහ යෝග ඇතුළු ආධ්‍යාත්මිකව කටයුතු කරන පුද්ගලයන් මේ පාෂාණ පළඳනාවල වටිනාකම ලෝකයට අරගෙන යන්න ලොකු දායකත්වයක් සපයලා තියෙනවා. ඔවුන් ඔස්සේ තමා මේ වෙළෙඳපොළ නිර්මාණය වෙන්න පටන් ගත්තෙ.

ඇත්තටම ඩොලර් බිලියන ගණනක වෙළෙඳපොළක් මේ පාෂාණ සම්බන්ධයෙනුත් තියෙනවා. මේ බොහෝ පාෂාණ අර්ධ මැණික් විදියට තමයි හඳුන්වන්නෙ. යුරෝපය, ඇමෙරිකාව ඇතුළු රටවල්වල මේ සඳහා ඉල්ලු‍ම වැඩිවීමත් එක්ක, ආසියාවේ මේ හා සම්බන්ධ තියෙන ඉල්ලු‍මත් පහුගිය කාලය පුරාවට වැඩි වෙන්න පටන් ගත්තා. කොහොමත් ආසියාවේ අය විශ්වාස පද්ධතීන්වලට දක්වන කැමැත්ත, ඒකට හේතුවක් වුණු බව පේනවා. කොහොම වුණත් පෙරදිග සහ අප්‍රිකානු සංස්කෘතික විශ්වාස මත තමා මේ වගේ දේවල් කරළියට එන්නෙ. හැබැයි දැන් දැන් මචෝ මේ වගේ දේවල් කරළියට ආවම Trend වෙන්නෙ යුරෝපයේ සහ ඇමෙරිකානු මහද්වීපය ඇතුළේ.

ලංකාවෙත් මේ සීන් එක දැන් හොඳටම නැගලා යන බව අපි දන්නවා. කොහොම වුණත් මචෝ ව්‍යාජ ඒවා මේ වෙනකොට වැහි වැහැලා තියෙන්නෙ. ඒ නිසා දෙයක් ගන්නවනම් හොඳට බලලා තේරුම් අරගෙන හරිම තැනකින් අරගන්න එක හොඳයි. විශ්වාස කෙසේ වෙතත් ලස්සන සම්බන්ධයෙන් නම් මේ සීන් කෝන් එකේ අමුතු ගතියක් තියෙනවා කියන එක අපිට සිරාවටම කියන්න පුළුවන්. කතාව එච්චරයි.

• චමිඳු නිසල්