සොහොන් කොත් අතරින් ඇය මාව ඈතින් ඈතට කැටුව ගියා. රාත්‍රියේ අන්ධකාරය මකා දමන්නට අසීරු ප්‍රයත්නයක යෙදුන තාරුකාවලින් විහිදුන මද එළිය ඒ සොහොන් කොත් මතට වැටී මලානික බවක් හිතට අරගෙන ආවා. මේ සොහොන් කොත් අතර මම ඕන තරම් ඇවිදිලා ඇති. නමක් මිස කවුරුන්දැයි නොදන්න සොහොන් කොත් මත මම ඕන තරම් ඉටිපන්දම් දල්වලා ඇති. රෝස්ගේ දෑස් දෙස මම කිසිවිටෙකත් නොබැලුවත් ඒ දෑස්වලින් විහිදෙන අසාමාන්‍ය දිලිසිල්ල මට දරාගන්න බැරි තරම් දැඩිව දැනෙන්ට වුණා. ඇය ඇවිද ගියා නොව පාව ගියා. ඇගේ සීතල ඇඟිලි තුඩුවල සීතල දරාගන්නට අමාරැ තරම් කටුකයි.
මරණය කියන්නේ මොකක්ද කියලා ඔයා තාම තේරුම් අරගෙන නෑ දුල්යානා... ඒක හරිම සීතල කළුවර සුන්දර ලෝකයක්.
මම හිටියේ මුසපත්ව... මගේ මතකය අබියස නැවතී සිටියේ අංජලී විතරයි. ඇය මොහොතින් මොහොත මගේ මතකය අතීතය වෙත රැගෙන යමින් සිටියා...
දුල්යානා...
රෝස්... උඹ මගේ පස්සෙන් එන්න එපා
මම උඹ පස්සෙන් එන්නෙ නෑ... මම එන්නෙ අංජලීට වෙච්ච දේ උඹට පෙන්නන්න විතරයි.
නෑ මම දන්නවා... උඹ මගේ පස්සෙන් පන්නනවා කියලා
මම ඒ ගැන ඔයාට කිවයුතු හැමදේම කියලා තියෙනවා දුල්යානා... ආයෙත් ඒ ගැන ඇයි අපි කතා කරන්නේ...
රෝස් උඹ මේ පව්කාර ආත්මය අත්හැරලා දාලා ජීවිතයක් හොයාගෙන යන්න... මොකක්ද උඹට තියෙන සැනසීම...
ජීවත්වෙලා ඉද්දි නොදැනෙන සැනසීමක් මට දැන් දැනෙනවා දුල්යානා... ඒත් මේක හරි වේදනාකාරියි... මාව වෙලාවකට පිච්චෙනවා. දෙවියන් වහන්සේට අනුව මම අරන් තියෙන්නෙ ජීවිතේ මහ පව්කාර තීරණයක්... ජීවිතය අත්හරින්න අපට දෙවියන්ගෙන් අවසර නෑ දුල්යානා... අපි මේ ලෝකෙට එන වෙලාව වගේම මේ ලෝකෙන් යන්න ඕනෑ මොහොත තීරණය කරන්නෙත් දෙවියන් වහන්සේ... මම පිටුපෑවේ දෙවියන් වහන්සේගේ අණට... දැන් මම දඬුවම් විඳිනවා... වෙලාවකට මාව මහ ගින්දරකින් පිච්චෙනවා... දැන් දෙවියන් වහන්සේ මට කිසිම සැනසිල්ලක් දෙන්නෙ නෑ... මට ජීවිතයක් දෙන්නෙත් නෑ...
උඹ ඔය හැමදේම දැනගෙනද මට උඹේ ලෝකෙට එන්න කීවෙ... උඹ මහ ආත්මාර්ථකාමී එකියක්... උඹට ඕනෑ වුණේ මගේ ජීවිතෙත් මට නැතිකරලා දෙවියන් වහන්සේගේ ආදරය මගෙන් උදුරගන්න...
දුල්යානා... මම උඹට කතා කළේ මම උඹට ආදරේ හින්දා... මට මගේ ආත්මයට දැනෙන වේදනාව තුරන් කරගන්න ඕන නිසා... එහෙම නැතුව
ඇති නවත්වන්න... උඹ හැදුවේ මගේ ජීවිතය මට නැතිකරලා උඹේ ඉරණම මගෙත් ඉරණම කරන්න.
ඇය එක්වරම තදින් මගේ අත අල්ලා ගත්තා... ඒ සීතල ඉවසගන්න බැරුව මම යටිගිරියෙන් කෑගැහුවා...
ඇයි ඔයා කෑගහන්නේ... උඹ මාව කේන්ති ගස්සගන්න එපා දුල්යානා... කේන්ති ගියොත් මම හුඟාක් නපුරුයි...
අන්න අර අතන තියෙනවා නේද සොහොන් කොතක් නැති තැනක්... අර කහ පාට පරවෙච්ච රෝස මල් පොකුරක් තියලා තියෙන්නෙ... අන්න එතන තමා අංජලී ඉන්නේ...
නෑ... අංජලී ඉන්නේ මගේ ලේකේ
දුල්යානා අංජලී ඉන්නේ කොහෙද කියන එක උඹම හොයාගනින්... උඹ උඹට ඕන දෙයක් විශ්වාස කරපන්... ඒත් මම කියන්නෙ ඇත්ත... උඹට කැමතිනම් උඹ අංජලිත් එක්ක කතා කරලා වරෙන්...
නෑ... මට ඕන නෑ... මට දැන් යන්න ඕනෑ...
ඇයි උඹ මේ පාළු සොහොන් බිමේ මාව අත්හැරලා යන්නේ... මේ රූ ගෙවෙනකම් උඹ හිටපන් මාත් එක්ක මගේ තනියට
නෑ... මම ආය කවදාවත් එන්නෙ නෑ මේ සොහොන් පිට්ටනියට
මට එන්න බැරි තැනකට ඔයා යන්න එපා දුල්යානා... මේ පල්ලිය අත්හැරලා යන්න එපා... අඩුම තරමේ හැම ඉරිදාම උඹ එන්න ඕනෑ මාව බලලා යන්න...
මම සදහටම මේ පල්ලිය අත්හැරලා යනවා... සදහටම යනවා... මගේ ජීවිතයෙන් ලොකු කාලයක් ගෙවුණේ මේ පල්ලියේ. ඒත් මම මගේ මුළු අතීතයම අමතක කරලා දානවා... මට කිසිදෙයක් කිසිකෙනෙක් ඕන නෑ... මට දැන් මාවවත් ඕන නෑ... මට ඕනෑ දෙවියන් වහන්සේ ළඟ අප්‍රමාණ සැනසීමක් විතරයි...
මම විදුලි වේගයෙන් දුවගෙන ආවේ පල්ලිය ඇතුළට. හති හලමින් මම මගේ පුංචි කාමරයට ඇතුළු වුණා... ඒ කාමරයේ තිබුණු මද උණුසුම සීතලයෙන් ගැහෙමින් තිබුණ මගේ සිරුරට එක් කළේ පුදුමාකාර සනීපයක්. මම නාන කාමරයට වැදී සියලු ඇඳුම් උනා දමා උණුවතුර දියමල යට හිටගත්තා. සිතේත් ගතේත් සියලු වේදනාවන් සේදී ඉවතට යන්නාක් මෙන් මට දැනුණා. ඒත් මට හයියෙන් ඉකිගසා හැඬුණේ ඊළඟ තත්ත්පරයේ... මට මහා කාන්සියක් දැනෙමින් තිබුණා. මහා පාළුවක් මගේ ජීවිතයම වෙලාගෙන ඇති සැටියක් මට දැනුණා...
මට වුවමනා වුණේ උණුසුම් වෙන්න. කාමරය උණුසුම් කළ ගිනි උඳුනේ උණුසුමෙන් පිච්චෙන ආදරණීය පිරිමියකුගේ උණුසුමින් උණුසුම් වෙන්න. පුළුල් උරහිසක හිස හොවාගෙන උණුසුමට ගුලිවෙන්න... ඒත් ඒ වගේ ආදරයක්... මම නාන කාමරයෙන් එළියට ඇවිත් තුවාය ඇතුළේ දැනුණ සනීපයට මොහොතක් තුරුල් වී සිටියා... ඊළඟ මොහොතේ මට ඇඳට වැටුණේ උණුසුම් පොරෝණය ඇතුළට ගුලිවෙන්න. ඒ උණුසුම ඇතුළෙ මම අතීත ආදරයක් සොයමින් සිටියා...