2017 ජුනි 24 වන සෙනසුරාදා

දෙවියන් එක්ක නෙවෙයි මාත් එක්ක කතා කරපන්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

පල්ලියේ ගතකළ රාත්‍රිය නොසිතූ විරූ භයංකාර අත්දැකීම්වලින් පිරී යමින් තිබුණා. ඇය මළවුන්ගේ ලෝකයේ සිට යළිත් මා වෙත ඇවිත්. ඇගේ දිගු සීතල දෑත මගේ ඇඟිලි තුඩු කෙළවර ඇය අනවසරයෙන් පටලා ගත්තා.

දුල්යානා... ඔයාට කවදාවත් මගෙන් ගැලවීමක් නෑ....
මොන ඉලව්වක්ද දෙවියනේ මේ... ඇයි රෝස් ඔයා තේරැම් ගන්නෙ නැත්තෙ මගේ ජීවිතය ඇතුළෙ ඔයාට ඉඩක් නෑ කියලා.

ඒත් මගේ ජීවිතේ ඇතුළෙ ඉන්නෙ ඔයා විතරයි දුල්යානා.

ඒක මට වැඩක් නෑ රෝස්... මම ඉන්නෙ දෙවියන් එක්ක... උඹ ඉන්නෙ යක්ෂයත් එක්ක.
යක්ෂයත් දෙවියනුත් ඉන්නෙ මේ අහස පොළොව අතරමයි... ඔයයි මායි ඉන්නෙත් මේ අහස පොළොව අතරමයි.
අනේ දෙවියනේ ඒත් අපි වෙනස්... ඇයි ඔයාට තේරෙන්නේ නැත්තෙ අපි වෙනස් කියලා.
නෑ... දුල්යානා උඹ වගේම මාත් හුස්ම ගන්නවා... උඹ වගේම මාත් ජීවිතය හොයනවා... මොකක්ද වෙනස...?
ඇයි දෙවියනේ...!

උඹ දෙවියන් එක්ක නෙවෙයි මාත් එක්ක කතා කරපන්.
මට මැරිච්ච රෝස් එක්ක කතා කරන්න කිසිම දෙයක් ඉතුරැවෙලා නෑ.
දුල්යානා ඔයා කවුරු හොයාගෙනද මේ මහ රෑ පල්ලියේ සොහොන් බිමට ආවේ.
ඒ කවුරු වුණත් ඒ උඹ නෙවෙයි.

දුල්යානා මම මේ ලෝකෙ කොහේ හිටියත් උඹ දිහා බලාගෙනමයි ඉන්නෙ... මම දන්නවා උඹ අද මේ පල්ලියේ නැවතුණේ ඇයි කියලා... උඹ හොයාගෙන ආවෙ කවුද කියලත් මම දන්නවා.
උඹ හැමදාමත් මට කීවෙ බොරු රෝස්...

නෑ දුල්යානා උඹට මම ජීවත්ව ඉද්දී සමහර දේවල් හැංගුවා... මම මේ ආවෙ ඒ හංගපු දේවල් ආයෙත් කියන්න... මේ හැමදේම කියලා මට මගේ හිත නිදහස් කරගන්න ඕනෑ... නැත්තම් මට කවදාවත් සැනසිල්ලක් නෑ.
මගේ ජීවිතේ දැන් ඉන්නෙ එකම එක්කෙනයි රෝස්... මම ආදරේ කරපු හැම කෙනෙක්ම දැන් මගේ ජීවිතයෙන් යන්න ගිහින්... දැන් මට ඒ කවුරුත් අයිති නෑ දැන් මට අයිති මම විතරයි.
කවුද ඔයාගේ ලෝකෙ ඉන්න එක්කෙනා.
අංජලී... මගෙ පුංචි කෙල්ල.

අංජලී දැන් ඉන්නෙ උඹගෙ ලෝකෙ නෙවෙයි මගේ ලෝකෙ.
මම එක්වරම රෝස් දෙස නෙත් විදා බැලුවා... ඇගේ නෙත්හි අසමාන දිලිසීමෙන් මම යළිත් තිගැස්සුණා...
රෝස් උඹ මට බොරු කියන්න එපා... අංජලී කියන්නෙ මගේ සතුට...
ඒ සතුට තවදුරටත් උඹේ ජීවිතයට අයිති නෑ දුල්යානා.

රෝස් උඹ මොනවද මේ කියවන්නෙ?
මම කියවනවා නෙවෙයි කතා කරනවා... ඔයා එන්න දුල්යානා මගෙත් එක්ක... මම ඔයාට අංජලී නිදාගෙන ඉන්න තැන පෙන්වන්නම්... උඹත් වරෙන් ඔය ජීවිතය අත්හැරලා දාලා...  එතකොට අපිට පුළුවන් එකම ලෝකෙක ජීවත් වෙන්න... දෙවියන් වහන්සේගේ ලෝකයට වඩා මේ සීතල කළුපාට ලෝකය හුඟාක් සුන්දරයි දුල්යානා.
මට ඇගේ හඬ ඇසුණේ කෙඳිරිල්ලක් වගේ.