2024 මාර්තු 30 වන සෙනසුරාදා

මිටියාවතෙන් මිටියාවතට ලෝකයම පාට කරන්නට Art teacher

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 113

 ලාංකික සිනමාවට නුදුරේදීම අලුත්ම වර්ණයක්! 

ඇය වර්ණ ගැල්වූයේ ජීවිතයේ කැන්වසය මත පමණක් නොවේ. ඇය ඇගේ ලෝකයෙන් එහාට යායෙන් යායට ලෝකයම වර්ණ ගන්වන්නට සිත්තම්කරණයේ අකුරු උගත්තීය. කියන්න ඒ කාගෙන්දැයි... ඉතින් ඔබ මගෙන් එහෙම අහන්න. මම මෙහෙම කියන්නම්... සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද යන ආදරයකින් සොබාදහමේ වර්ණයට සහ ආදරයට ආදරයෙන් බැඳුණු ඒ ගොපලු ගැහැනිය ඇයට ජීවිතයේ සේද රිදී ස්වර්ණවත් මාවත් සේම ලෝකයේ මිටියාවත්ද වර්ණ ගන්වන්නට කියා දුන්නීය. කහට බැඳුණු දසන් විදහා ළෙන්ගතු හිතින් විදාහල සිනාවෙන් ගස් ගල් ගානේ ලැග හිඳිමින් සොබාදහමේ හැඩතල හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්න ඇය ඇයට කියා දුන්නීය... ඒ ඇගේ පළමු සිත්තම් ගුරුතුමියයි. ගොපලු ගැහැනියක වූ ඒ අපූරු ගුරුතුමිය හිටිවනම ඇය හැරදා ගියත් කිසිදා ඇගේ ගෝලයෙන් පිටමං නොවූ ගුරුතුමී ඇය හැමදාමත් සොයමින් උන් වග දන්නේත් ඈ විතරක්මය. සමුගත්තත් සමු නොගන්නා හැර ගියත් හැර නොයන්නා බැඳීම් ලොව කොතෙකුත්ද? කාලයේ මාවත් හරහා ඇවිද යනු මිසෙක ප්‍රේමයේ සමුගැනීම් නිමවන්නට කාලයට කිසිදා නොහැකිමය. එහෙයින්ම හදේ කොතැනක හෝ නිදා නොනිදා ආදරය රැඳී ඉන්නා අරුම...

ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද?
ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?

එහෙයින් එය සංසාරණ්‍යය සරසන සැරසිල්ලක්ම මිස වේදනාත්මක චිත්‍රයක ප්‍රස්තුතය නොවූ වග සේම නොවන වග Art teacher සිනමාමය අකුරු වියමනක් ඔස්සේ කියා දෙන්නීය.. නුදුරේදීම... මගේ මතකය මතක මං දිගේ ඇවිද යයි... ප්‍රාණසම ස්නේහයකින් සියඹලා ගහකට පෙම් බැන්ද පුංචි ඉස්කෝලයක් පසුබිම් කරගත් ළතෙත්මය ප්‍රස්තුතයක් ඔස්සේ තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා රෑපකාරකය නිමැවූ ප්‍රවීණ විචිත්‍රවත් සිනමාවේදී ලලිත් රෝහිත එදිරිසිංහගේ නවතම සිනමා නිර්මාණය Art teacher සිනමා වියමන සිත්තම් කරනු වස් පූර්ව සැලසුම්කරණයේ එක් පියවරක් වන්නේ රංගන සහ ගායන කුසලතා ඇති දරුවන් එක පොකුරකට කැන්දාගෙන එම සිනමා පටයෙන් ඔබ්බට ද කලාවේ මං ඔස්සේ දරුවන් කැටුව යන්නට නවාතැන්පොළක් නිර්මාණය කිරීමය

Talented Club නිර්මාණය වන්නේත් එකී අරමුණු රැසක් පෙරදැරිවය. චිත්‍රපට, ටෙලිනාට්‍ය, රංගනය, හඬකැවීම, ගුවන්විදුලි නාට්‍ය, ප්‍රසංග වේදිකාමය පුහුණුව ඇතුළු කලාවත් ඉන් ඔබ්බට කලාවේ විවිධ ශානරත් විෂයෙහි දැනුමින් මේ පුංචි රටේ අහුමුළු පුරා විසිරී හිඳින දරු දැරියන් එක් තෝතැන්නක් කරා කැඳවමින් එවන් හැකියා සමුදායකින් සහ විනයවත් මෙන්ම මනෝ උපදේශාත්මක වාතාවරණයක් තුළ දාරක ආධ්‍යාත්මය සුපෝෂණය කිරීම Talented club ඔස්සේ සිදුවන මහඟුතම වගකීමයි.

විචිත්‍රවත් සිනමාවේදී ලලිත් රෝහිත එදිරිසිංහ Talented Club ඔස්සේ  දෙවුර දරාගත් මේ වගකීම් සමුදාය සමඟ ප්‍රවීණ නිළි අවන්ති අපොන්සු, ප්‍රවීණ කලාවේදී එම්. සෆ්‍රාස්, ප්‍රවීණ මනෝ උපදේශිකා ශාන්ති කුමාරි ජයනෙත්ති සහ දරුවන්ගේ රංගන, අභින, කටහඬ පුහුණු කිරීම සඳහා ප්‍රවීණ පරිචයක් ලත් රංගන ශිල්පිනී තිළිණි වීරසිංහ සහ ඉසුරු නානායක්කාර අත්වැල් බැඳගැනීම එහි වටිනාකම තවත් ඔප්නංවයි. පුහුණුවේ පළමු අදියර කොළඹ කේන්ද්‍ර කර ගනිමින් සිදුවී නිමාවූ අතර ඒ දරුවන් වෙනුවෙන් සහතික පත් පිරිනැමීමද ඉකුත් දිනෙක කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.

නුදුරු දිනෙක ලාංකික සිනමාව වර්ණවත් කරනු වස් ආදරයේ තවත් ආදරණීයම මුහුණුවරකින් Art teacher සිනමාමය පරිච්ඡේදයක් ස්වර්ණවත් කරනු ඇත. නිසැකයෙන්ම Talented club ඔස්සේ මුණගැසුණු අලුත් මුහුණු ඒ සිනමා වියමන විචිත්‍රවත් කරනු ද ඇත. ඉන් ඔබ්බට ලලිත් රෝහිත එදිරිසිංහගේ නිර්මාණ ඒ නවාතැනෙහි දරුවන් විසින්ම විවිධ වෙසින් සරසනු ඇත.

ඉඳින් කලාවේ තවත් සොඳුරු ඉසියුම් නවාතැන් සොයා යන සිනමා ගවේෂණයක් උදෙසා එය කොතෙක් නම් සුරක්ෂිත ආයෝජනයක් දැයි විනිශ්චය කරනු උදෙසා එක් සංනිදර්ශනයක් වෙනුවෙන්  තව බොහෝ කාලයක් බලා ඉන්නට සිදු නොවන වගද කියමි. ඒ Art teacher උපදින්නට තව බොහෝ කල් ගත නොවන වගද දන්නා බැවිනි. 
I සංජීවිකා