2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

එළියට දාන්න සින්දු පොකුරක්ම තියෙනවා - රුවන්

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 01:59 8

ශ්‍රී ලාංකික ගායනාවකාශයේ පායා නිවී යන තරු අතර හෙමින් සීරුවේ පියවරෙන් පියවර සිය හිමිකම් සොයන ඔහු අපූරු ගායකයෙක්. ඔහු නමින් රුවන් ගුණතිලක. අපි ඔහුටම ඔහුව හඳුන්වා දෙන්න අවස්ථාවක් ලබා දුන්නා.

“මගේ උපන් ගම රත්නපුර ගොඩකවෙල. සංගීතය නිසාමයි කොළඹ ආවේ. ඉස්සෙල්ලම ප්‍රියන්ත නාවලගේ අයියා ළඟට තමයි සිංදුවක් කරන්න ආවේ. නාවලගේ අයියා එක්ක පළවෙනි ගීතය කළා. ඒ 2017 දී. අපි ඒ ගීතය නම් කළේ ‘ඔබ මට රිදවන්නද?’ කියන නමින්. ගීතය ලිව්වෙ ෂෙහාන් ගලහිටියාව."

රුවන්ව හඳුන්වා දෙන්න හොඳම විදිය ඔහුගේ ගීත. ඔහුගේ ගීත අතරින් ගීත කිහිපයක්ම පහුගිය කාලේ ජනාදරයට ලක්වුණා. "ඔබ මට රිදවන්නද?", “තනිවුණා මා", “ආදරේ කතන්දරේ", “මා සිතම දවන" නිර්මාණ විශේෂ කරලා දක්වන්න පුළුවන්.
“ක්ෂේත්‍රයට ආවම යම් හැදෑරීමක් මේ ගැන තියෙන්න ඕනෑ කියලා මට තේරුම් ගියා. ඒ නිසාම යම් කාලයක් සංගීතය ඉගෙන ගැනීම වෙනුවෙන් මම යෙදෙව්වා. කොහොම හරි 2022 දී තමා නාවලගේ අයියා නිර්මාණය කරපු තවත් සුවිශේෂී ගීතයක් ආරාධනා අක්කා එක්ක ගායනා කළේ. පස්සේ චන්දන වල්පොල, සජිත් වී. චතුර වගේ චරිත සමඟ වැඩ කරන්න අවස්ථාව හම්බවුණා."

ප්‍රියන්ත නාවලගේ ඇසුරත් සමඟ එළිමහන් වේදිකාවටද ගොඩවෙන්න රුවන් දැන් වාසනාවන්ත වෙලා. මේ වන විට බොහෝ එළිමහන් ප්‍රසංගවල රුවන්ව දැකගන්න පුළුවන්. සංගීත කණ්ඩායම් නිවේදන ශිල්පීන් බොහෝ දෙනෙක් තමන්ට අතහිත දෙන බව රුවන් ගුණතිලක සඳහන් කරනවා.

“මම අහලා තියෙනවා ක්ෂේත්‍රයට ආවම එක එක තැන්වල කැපිලි කැටිලි තියෙනවා කියලා. ඒත් ඇත්තටම මට නම් එහෙම වෙලා නෑ. ජනප්‍රිය චරිත, ජනප්‍රිය සංගීත කණ්ඩායම් හැමෝගෙන්ම මට වචනයකින් හරි උදව්වක් මිසක් කැපිල්ලක් නම් ඇවිල්ලා නෑ. මම දන්නෙ නෑ ඒක මගේ වාසනාවද කියලා. ඒත් හැමෝම මට උදව් කරනවා."

අපේ කෙටි පිළිසඳර පුරාවටම තමන්ට උදව් කරපු බොහෝ දෙනෙක්ව රුවන් ගුණතිලක විසින් සිහිපත් කරන්න යෙදුණා. ඔහු තමන්ගේ අක්මුල් සිහිපත් කරමින් තමන් ආ ගමන ගැන කතා කළේ හරිම නිහතමානීව. 

“ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ හිටපු චන්න ප්‍රභාත් අයියා YouTube එක හදලා, ඒ පැත්තෙ වැඩ ටික කරගෙන යන්න උදව් කරනවා. ඒක ලොකු හයියක්. ඇත්තටම දැන් ගොඩක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සංගීතය පැත්තෙන්ම ඉදිරියට යන්න තමා බලාපොරොත්තු වෙන්නේ."

රුවන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සංගීතයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න. සියලු බාධා බිඳගෙන එළිමහන් ප්‍රසංග කලාවත්, සයිබර්  සංගීත කරළියත් ජය ගන්න ඔහු උත්සාහ කරනවා.

“එළි දක්වන්න පුළුවන් මට්ටමින් මේ වෙනකොටත් සින්දු හයක් වගේ තියෙනවා. ඒ ඔක්කොම පටිගත කරලා ඉවරයි. මේ දවස්වල ආර්ථිකය එක්ක සින්දු එළියට දාන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි තරමක් ප්‍රමාද වෙන්නේ. ඒත් ඉදිරියේදී මේ නිර්මාණ එකින් එක එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා."

එෂාන්ගේ ගීතයන්ට ටික් ටොක් වීඩියෝ මිලියන ගාණක් - එෂාන්

එෂාන් උදේශ කියන්නෙ පහුගිය කාලේ අතිශය ජනාදරයට පත්වුණු නිර්මාණ කිහිපයකට හිමිකම් කියන ගායකයෙක්, සංගීතඥයෙක්. "මියනා තුරා මගෙම වේවා", “ඉතිහාසගත ප්‍රේමයක්", “ඔය හිතේ" ගීත හරහා තමා බොහෝ දෙනෙක් ඔහුව හඳුනා ගත්තෙ. 

කොහොම වුණත් මෑතක කාලීනව එෂාන්ගෙන් යම් නිහැඬියාවක් දැකගන්න පුළුවන් වුණා.

“අලුත් වැඩකට පහුගිය කාලෙ සම්පූර්ණ අවධානය ලබා දීලා හිටියේ. ගොඩක් කාලයක් තිස්සේ තිබුණු හීනයක් තමා මගේ කියලා මියුසික් ස්ටූඩියෝ එකක් පටන් ගන්න එක. පොඩි කාලේ ඉඳන් සංගීත නිර්මාණකරණය තමයි මගේ හීනය වුණේ. ඉතින් පහුගිය දවස්වල ඒ හීනෙ පොඩියට හැබෑ කරගන්න උනන්දු වුණා. "බීටා ස්ටුඩියෝ" නමින් පොඩි ස්ටූඩියෝ එකක් දැම්මා. මේ දවස්වල ඒකෙ වැඩ ටික කරගෙන යනවා" 

ගායනයට එහා ගිය සංගීතඥයෙකුගේ කුසලතාවය ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක්ට පිහිටන්නේ නෑ. අලුත් වැඩේ එක්කම ඒ කුසලතාවය පිළිබඳ අපි එෂාන්ගෙන් ඇහුවා.

“අපේ ගෙදර හැමදාම සංගීතය තිබුණා. තාත්තාගේ ආභාෂය ලොකුවට බලපෑවා. සංගීත නිර්මාණකරණයට යොමුවුණේ පන්සල සහ දහම් පාසල ඇසුරෙන්. පාසල් කාලෙම භක්ති ගීත නිර්මාණය කරමින් පටිගත කරමින් විවිධ වැඩසටහන් කරන්න අපිට නායක හාමුදුරැවෝ අවස්ථාවක් හදලා දුන්නා. පසුකාලීනව මේ හැකියාව තවත් මුවහත් කරගන්න ගොඩක් දෙනෙක් උදව් කළා."

එෂාන් මීට කාලෙකට කලින් නිර්මාණය කරපු "රහසේ ආදරය කරන්නම් - අහසේ මාලිගා තනන්නම්" වැනි ගීතවලට අදටත් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. 

“ඔව් මාත් පහුගිය දවස්වල තමා දැක්කේ ටික් ටොක් එකේ මිලියන ගාණක් වීඩියෝ මේ ගීතය වෙනුවෙන් නිර්මාණ වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. සමහර අය 'කවර්ස්' එහෙමත් කරලා තිබුණා. මම හිතන්නේ ඒ ගීතය ගොඩක් දෙනෙක්ට බොහොම තදින් දැනිලා තියෙනවා."

මේ වෙනකොට එෂාන් තමන්ගෙම ගීත විශාල ප්‍රමාණයක් එළි දක්වලා තියෙනවා. ඒ වගේම තවත් ගායක ගායිකාවන් වෙනුවෙන් ඔහු නිර්මාණය කරපු ගීත විශාල සංඛ්‍යාවක් තියෙනවා.

“විශේෂයෙන්ම මම ස්ටූඩියෝ එක පටන් ගත්තේ අලුතින් මේ ක්ෂේත්‍රයට එන්න බලාගෙන ඉන්න අයට උදව් කරන්න හිතාගෙන. මේ සම්පත් නැතුව අපි සෑහෙන්න කාලයක් කට්ට කෑවා. සමහර නිර්මාණ වෙළෙන්දන්ට අහුවුණා. තව කෙනෙක්ට එහෙම වෙන්න ඕනෑ නැහැ කියන තැන මම ඉන්නවා. ඒ නිසයි ඉතාම සාධාරණ විදිහට මේ ව්‍යාපාරය මම පටන් ගත්තෙ."

අපිට එෂාන් උදේශගේ නව නිර්මාණ ඉදිරියේදී දැකගන්න පුළුවන් වෙයිද කියලා අපි ඔහුගෙන් අවසානයේ දී ඇහුවා.

“දැනටත් ඉවර කරපු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. අලුත් සහ පැරණි ගායන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් නිර්මාණ කිහිපයකුත් කළා. ඒ වගේම ගොඩක් බලාපොරොත්තු සහගතව කරපු මගේම නිර්මාණ කිහිපයකුත් තියෙනවා. මේ වසර තුළ දී ඒ නිර්මාණ ගොඩක් එළියට ඒවි."

I නිසල්