2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

පිරිමි අත් සරසන්න රන් රිදී මොකටද?

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

ඔන්න මචෝ අද අරගෙන ආවේ Fashion එකක් ගැන Y Trend එකක්. මේ දවස්වල අපේ සුදාලා දැකලා ඇති ගොඩක් දෙනෙක් අත්පළඳනා විදිහට Natural Stone Bracelet දාගෙන ඉන්නවා. ඇත්තටම මේක ලොකු Trend එකක්. ලංකාවේ ගොඩක් පිරිමි මේ සීන් එකේ ඉන්නවා. ඇත්තටම මොකක්ද ආතල් එක. මේ සීන් එක Trend වුණේ කොහොමද? අපි ටිකක් හොයලා බලන්න හිතුවා.

අපි මීට කාලෙකට කලින් අපි අත්පළඳනා විදිහට දැක්කෙ රත්තරන්වලින් රිදීවලින් හදපු කාන්තාවෝ දාන වළලු සහ පිරිමි දාන Bracelet. Fashion එකක් විදිහට වගේම තමන්ගෙ තත්ත්වය පෙන්නන්නත් මේ රත්තරන් රිදී අත්පළදනා භාවිත කළා. ලංකාවේ ඉන්දියාව වගේ පෙරදිග රටවල්වල මේ වටිනා රත්තරන් රිදී පිළිබඳ තිබුණෙ වෙනමම හැඟීමක්. ඒ නිසාම ගොඩක් ආභරණ රත්තරන්වලින් රිදීවලින් සකස් වුණා.

කොහොම හරි පහු කාලෙක තමා ලංකාවේ මේ ස්වභාවික ගල්වලින් හදන අත්පළඳනාවලට විශේෂ තැනක් ලැබුණේ. මේකට ආභාෂය ලැබුණේ ගොඩක් වෙලාවට අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව සහ ගිනිකොණදිග ආසියානු රටවල්වලින්. පස්සේ මේක ක්‍රමයෙන් ලෝකෙ පුරා ජනප්‍රිය Trend එකක් බවට පත්වුණා. ලංකාවෙ නම් මුලින් මුලින් මේවා දැම්මේ දේශපාලනඥයෝ, ලොකු ලොකු ව්‍යාපාරිකයෝ වගේ අය. පස්සේ මේක රැල්ලක් බවට පත්වුණා. සුදාලට හොඳට මතක් කරලා බැලුවොත් තේරෙයි සීන් කෝන් එක.

කොහොම වුණත් මචෝ Natural Stone Bracelet කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම දැන් දැවැන්ත රැල්ලක්. මේ එක එක ගල් ජාති පිටිපස්සේ විවිධ තේරුම්, විශ්වාසයන් තියෙනවා. හරියට අපේ ග්‍රහ අපලවලට මැණික් වර්ග භාවිත කරනවා වගේ. සුදාලා අන්තර්ජාලය පැත්තෙ කරක් ගහනවනම් අත්පළඳනාවලට භාවිත කරන ගල්වල තේරුම් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ඒත් ඉතින් ගොඩක් දෙනෙක් මේවා පළඳින්නේ ලස්සනට මිසක් තේරුම දැනගෙනම නෙවෙයි.
මේ වෙනකොට මේ සඳහා භාවිත වන ගල් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම ගිනි කඳු පුපුරා යාමෙන් ගලා ගිය ලාවාවලින් හැදෙන ගල් මේ ආභරණ සකස් කරන්න විශාල වශයෙන් භාවිත කරනවා. අපේ ගොඩක් දෙනා ලාවා ගල්වලින් සකස් කරපු අත්පළඳනා භාවිත කරන්න ආසයි. මේ වෙනකොටත් ලංකාවෙ ගොඩක් පිරිමින්ගේ අත්වල ලාවා ගල් Bracelet තියෙනවා. 

ඒ නිසාම මචෝ අපි ටිකක් මේ ගැන හොයලා බැලුවා. අපේ ග්‍රහලෝකයේ අභ්‍යන්තර  ගින්නෙන් උපත ලැබූ ලාවා පාෂාණ වසර දහස් ගණනක් තිස්සේ මානව වර්ගයා විශේෂ කොට සලකලා තියෙනවා. ලෝකෙ විවිධ තැන්වල ජන කණ්ඩායම් මේවට දීලා තියෙන්නේ විවිධ අර්ථකථන. හැඟීම් සමතුලිත කිරීම, සාමය, ශක්තිය සුව කීරීමේ හැකියාව වගේ දේවල් ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා.

Tiger’s eye කියන්නෙත් අත්පළඳනා සකස් කරන්න මේ කාලේ බොහොම ප්‍රසිද්ධ පාෂාණ වර්ගයක්. සුදාලා මේ වෙනකොටත් දැකලා ඇති කොටියෙක්ගේ ඇස් දෙක වගේ වයිරන් තියෙන මේ පාෂාණ අත්පළඳනාවලට භාවිත කරන කොටි ඇස් පාෂාණ. මේක රෝමන් සොල්දාදුවෝ පවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පැළඳුවා කියලා කියැවෙනවා. Australia, Burma, India, Namibia, South Africa වල තමා මේ පාෂාණ වැඩිපුර හම්බවෙන්නේ. Tiger’s eye ආත්ම විශ්වාසය වැඩි කරන බව තමයි පොදුවේ විශ්වාස කෙරෙන්නෙ.

තවත් මේ ජාතියේ පාෂාණ වර්ග ගොඩක් තියෙනවා. Agate, White Jade, Obsidian කියන්නේ ඒ අතරින් කිහිපයක් විතරයි. මේ හැම පාෂාණ වර්ගයක් පිටිපස්සෙම විශ්වාස පද්ධතියක් තියෙන බව කියන්න ඕනෑ. ලංකාවෙත් මූන්ස්ටෝන් වගේ පාෂාණවලින් මේ ජාතියේ අත්පළඳනා සකස් කරනවා. විදේශිකයන් අතර ඒවා බොහොම ජනප්‍රියයි. ඇත්තටම උත්සාහ කළොත් මැණික්වලට සමාන වටිනාකමින් අඩු පාෂාණ භාවිත කරලා මේ Trend එක ඇතුළට යන්න රටක් විදිහට අපිටත් පුළුවන්.

මේ සීන් එකේ වැඩිපුරම ඉන්නෙ පිරිමි අය කියලා අපි මුලින්ම කිව්වා. ඒකට හේතු ගොඩක් අන්තර්ජාලය දක්වලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි, ඓතිහාසික ආත්මීය විශ්වාස පද්ධතියක් එක්ක මේ ගල්වලින් සකස් කරන අත්පළඳනා බැඳිලා තිබීම. මේවා පිළිබඳ හරියට දැනගෙන පළඳිනවා නම් තමන්ගේ ප්‍රතිරෑපය, ආත්ම අභිමානය ලෝකෙට පෙන්වන්න මේ ආභරණ හේතු වෙනවා.

අනිත් කාරණාව තමයි මේ ගොඩක් ගල් වර්ගවලින් සුවවීම සහ ශක්තිය නිරෑපණය කිරීම. ඒක පිරිමින්ට ගොඩක් වැදගත්. ඒ වගේම කාන්තාවන් බහුතරයක් භාවිත කරන රන් රිදී ආභරණවලින් මිදීමට ලැබෙන අවස්ථාව වගේම, අනන්‍යතාවයක් සහිතව මේ ආභරණ භාවිත කරන්න හැකිවීම ගොඩක් පිරිමි මේ කෙරේ පෙළඹෙන්න හේතුවක්. ඒ වගේම මිතුරු හවුලකදී මෙම ආභරණ ගැන ටිකක් කතාබහ කරන්න ලැබීමත්, ඒක ටිකක් ගැඹුරු සංවාදයක් බවට පරිවර්තනය වීමත් මේ වගේ දේවල් පළඳින්න හේතුවෙලා තියෙනවා කියලා අන්තර්ජාල සමීක්ෂණ වාර්තා උපුටා දක්වනවා.

වැදගත්ම දේ තමයි Fashionable විදිහට ගල්වලින් සකස් කරපු අත්පළඳනා භාවිත කරන්න හැකිවීම. එකක් දෙකක් තුන හතරක් එකපාර පළඳින්න පුළුවන්. ඇඳුමට ගැලපෙන විදියට භාවිත කරන්න එක එක වර්ණ තියෙනවා. සාමාන්‍ය ගමනක් බිමනක් යනකොට වගේම, 'ෆුල් කිට්' එකක් ඇඳලා වුණත් මේ ආභරණ භාවිත කරන්න පුළුවන් වීම ගොඩක් වැදගත්. හැබැයි ඉතින් මචෝ මෙහෙම දේකුත් තියෙනවා, මේක දැන් රැල්ලක් වෙලා තියෙන හින්දා සමහරුන්ට මේකේ පොඩි රස්තියාදු ගතියකුත් පේනවා.

අවසානයේ කියන්න ඕනෑ මේක සිරාවටම පට්ට Y Trend එකක්. හරිම වේගයෙන් ව්‍යාප්ත වේගෙන යනවා. පහුගිය අවුරුදු හතර පහක කාලය තුළ තමා මේ සීන් එක මෙච්චරම Hit වුණේ. එක එක විශ්වාස පද්ධතිත් එක්ක ගොඩාක් ගනුදෙනු කරන, ඉන්දියාව ලංකාව වගේ පෙරදිග රටවල් මේ සීන් එක තදින් අල්ලගත්ත බව නම් පේනවා. හැබැයි යුරෝපේ පැත්තෙත් මේවායේ අඩුවක් පාඩුවක් නෑ. කොහොම වුණත් සීන් එක ආතල්, Meaning Full and Fashionable. හැබැයි සුදෝ කරන දෙයක් තේරුම දැනගෙන කරන්න. එච්චරයි.

I චමිඳු නිසල්