2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

වෙනිසියුලාවේ සේරා හැඬවූ කොළඹ ත්‍රීවිල් මහත්තයා

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 102

පහුගිය සතිවලදී අපි කතා කරපු ලංකාවට ඇවිල්ලා ඉන්න Traveler කෙනෙක් තමා සේරා. සේරා සාත්තරයක් බලන්න ගිය හැටි අපි කතා කළා ඔබට මතක ඇති. ඔන්න මේ දවස්වල සේරගෙ වීඩියෝවක කුඩා කොටසක් ලංකාවේ සමාජ මාධ්‍යවල Viral වෙනවා. ඇය කොළඹ වයෝවෘධ ත්‍රීරෝද රථ රියැදුරු මහත්තයෙක්ට ඩොලර් සීයක් ලබා දෙන දර්ශනයක් තමයි ඒ වීඩියෝ පටයේ තියෙන්නෙ.

කොහොම වුණත් මේකෙ Original වීඩියෝ එක පැයකට වඩා දිගයි. ඒ නිසාම මෙතැන ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ කියලා හොයලා බලන්න අපි හිතුවා.

“Mr. ඩග්ලස්ව මට මුණගැහුණේ 'Petta' මාර්කට් එකේදි. ඔහු මට City tour එකක් යෝජනා කළා. ඔහු තරමක් වයසක කෙනෙක්"

අපේ රියැදුරු මහත්තයා පිළිබඳ කතා කර කර සේරා කොළඹ තමන් නවාතැන් ගෙන හිටපු හෝටල් පරිශ්‍රයෙන් එළියට බැස්සා මෙහෙම. ඊටපස්සේ ඇය ඩග්ලස් මහත්තයව හොයා ගත්තෙ දුරකථන ඇමතුමක් දීලා. තමන්ගේ තුන්‍ රෝද රථය නතර කරගෙන ඩග්ලස් මහත්තයා හිටියේ ගාලු මුවදොර පිට්ටනිය ළඟ.

මේ ගමනට ඇන්ඩෲ කියලා මිත්‍රයෙකුත් එකතු වුණා. අපි පහුගිය දවස්වල කතා කරපු ත්‍රීරෝද රථ තරගාවලියේ මේ මිත්‍රයත් හිටියා. 

“පැය දෙකක ගමනක් තමා අපි යන්නේ. කෞතුකාගාරය වගේම පන්සල් කිහිපයක්ම තියෙනවා බලන්න" 

ඩග්ලස් මහත්තයා හොඳට ඉංග්‍රීසි කතා කරනවා. චාරිකාව ගැන ඔහු පැහැදිලි කරන්න පටන් ගත්තා. යන තැන් ගැන ඔහු පැහැදිලි කළා.

“මට පැය දෙකක චාරිකාවක් යන්න අමාරුයි. අපි පැයකින් බලන්න පුළුවන් දේවල් බලමු. මට ගුවන් තොටුපොළට යන්න තියෙනවා"

සේරා තමන්ගේ ශ්‍රී ලංකා චාරිකාව නිමා කරන්න සූදානම් වෙලා තමා අවසානයේ ඩග්ලස් මහත්තයාගේ යෝජනාව බාර අරගෙන තිබුණෙ. කොහොම හරි පැයක් ඇතුළත වැඩේ කරන්න අපේ ඩග්ලස් මහත්තයා පොරොන්දු වුණා.

පරණ පාර්ලිමේන්තුව එහෙම පෙන්නගෙන මේගොල්ලෝ ගාලු මුවදොරින් චාරිකාව පටන් ගත්තා.

“අපි කොළඹ කියලා හිතුවම බලාපොරොත්තු වුණේ පරණ නගරයක්. ඒත් කොළඹ කියලා කියන්නේ Modern නගරයක්. හරිම ලස්සන ගෘහ නිර්මාණවලින් පිරුණු නගරයක්"

ගමන අතරතුරේදි අපේ විදේශීය මිත්‍රවරුන්ගෙන් කොළඹට ලැබුණේ ඔය වගේ සහතිකයක්. මේ කතාව ලංකාවට එන ගොඩක් Travelers ලා කියනවා අපි අහලා තියෙනවා.

මේ ගමනේ මුල්ම නැවතුම වුණේ කොළඹ ප්‍රදීපාගාරය. සේරට වගේම ඇන්ඩෲටත් මේක නැවුම් අත්දැකීමක් වුණා. 

“අපි කවදාවත් අපේ නගරය සම්පූර්ණයෙන් බලන්න ගිහිල්ලා නෑ" 

ඇන්ඩෲ කිව්වේ එහෙම කතාවක්.

ඊටපස්සේ මේගොල්ලෝ අතර ශ්‍රී ලංකාවෙ තත්ත්වය පිළිබඳ ටිකක් බරපතළ සංවාදයක් ඇතිවුණා. ඩග්ලස් මහත්තයා වර්තමාන රටේ තත්ත්වය පැහැදිලි කළා. විදුලි බිල, වතුර බිල ඉහළ යෑම, IMF ණය ගැනීම, භාණ්ඩ මිල ඉහළ යාම, ජනතාව පීඩාවට පත්වීම වගේ දේවල් ගැන හොඳට පැහැදිලි කළා.

මීළඟට සේරා ගියේ කොළඹ නාවික කෞතුකාගාරය නරඹන්න. ඒකෙ තිබුණු චිත්‍ර සහ කෞතුක වස්තු මෙයාලගෙ සිත් ඇද බැඳගන්න සමත් වුණා. ඩග්ලස් මහත්තයත් පුළුවන් විදියට ඒ දේවල් පැහැදිලි කළා.

“මම කැමතියි කෞතුකාගාරවලට. මොකද කෞතුකාගාරවලදී අපිට ඉතිහාසය දැනගන්න පුළුවන්. ඉතිහාසය කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්"

ඊටපස්සේ මේගොල්ලො පිටත් වුණේ නෙළුම් කුලුන පැත්තට යන්න. මේ අතරවාරයේදී ඩග්ලස් මහත්තයා සහ සේරා අතර ඉංග්‍රීසි භාෂාව සහ සංචාරක කර්මාන්තය පිළිබඳ සංවාදයක් ඇතිවුණා. තමන්ගේ අම්මා තාත්තා හොඳ රුකියා කළ බවත්, තමන් ඉංග්‍රීසි ඉගෙන ගත් ආකාරය ගැනත් ඩග්ලස් මහත්තයා පැහැදිලි කළා. ඊටපස්සේ සේරා සහ ඇන්ඩෲ කතා කළේ භාෂාවල තියෙන වැදගත්කම ගැන.

“සංචාරකයන්ට පීඩා කරන්න බාධා කරන්න හොඳ නෑ. සංචාරකයන්ට රට ඇතුළේ නිදහස ලබා දෙන්න ඕනෑ"

මේ වගේ අදහසකුත් ඩග්ලස් මහත්තයා කිව්වා.

“මගේ රට වෙනස්. වෙනිසියුලාව දුප්පත් රටක්. ඒත් හරි ලස්සනයි. අපේ රටට සංචාරකයෝ එන්නේ නෑ. ඒත් ලංකාවට සංචාරකයෝ එනවා. ලෝකේ හැම ලස්සන තැනකටම සංචාරකයන් යන්නෙ නෑ. ඒ නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය ආරක්ෂා කරගන්න ඕනෑ" 

මේ ගමනෙදී පිළිවෙළින් නෙළුම් කුලුන බලන්න, හින්දු කෝවිලක් බලන්න වගේම පන්සලක් ළඟත් ඔවුන් නතර වුණා.

පැයකුත් මිනිත්තු දාහතක් පමණ මේ ගමන ඇතුළේ සිදුවුණු සංවාද බොහොම ආකර්ෂණීයයි. ඇත්තටම මේ සංවාදවල ආකර්ෂණීය බව සහ ප්‍රබලත්වය කොච්චරද කියන එක වීඩියෝවෙ අවසන් තත්ත්පර කිහිපය තුළ පේන්න තිබුණා. ඩග්ලස් මහත්තයා තමන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරුත් බෙදා ගත්තා. සාමාන්‍ය සංචාරක රියැදුරෙක් කරන ව්‍යාපාර කටයුත්තත් ඔහු සිදු නොකළාම නෙවෙයි. එහෙත් ඔහු තුළ සුවිශේෂී යහපත්කමක් තිබුණා.

රුපියල් 5000ක් හරි විදිහට දීලා ඊළඟට සේරා ඇමෙරිකානු ඩොලර් සීයක් දුන්නේ සංතෝෂයට කෘතවේදීත්වයට. සේරා සහ ඩග්ලස් මහත්තයා අවසන් මොහොතේ සංවේදී වුණා. සති තුනක ලංකාවේ සංචාරය නිමාවේ අවසානයේ සේරාගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටුණා. ඇය හඬමින් මෙහෙම කිව්වා.

“Mr. ඩග්ලස්ව දැක්කම මට මගේ තාත්තා මතක් වෙනවා. ඔහු තමා  හොඳම ත්‍රීරෝද රථ රියැදුරා. ශ්‍රී ලංකාවේ පුදුම සහගත මිනිසුන් ඉන්නවා." 

I නිසල්