2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

දැන් මගේ ජීවිතය හරි වෙනස් - ෂැගී වීරනායක

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:01 103

Q ෂැගී... මේ දිනවල මොකද කරන්නෙ?

මේ දවස්වල අලුත් නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන 'භාවනා' ටෙලිනාට්‍යයෙත් මම රඟපානවා. ඊට අමතරව ජනජීව වේහැල්ලගේ තවත් ටෙලිනාට්‍යයක රඟපානවා. ඒ ටෙලිනාට්‍යයේ නම තවම ස්ථිර කරගෙන නැහැ. ඉතින්.. ඒ නාට්‍ය දෙකේ චරිත වුණත් ටිකක් එකිනෙකට වෙනස්. භාවනා එකේ චරිතය ටිකක් නිවුණු චරිතයක්. අනිත් ටෙලිනාට්‍යයෙත් ගමේ තරැණයෙක්ගේ චරිතයක් රඟපානවා.

Q හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ මෑත කාලයේදී විකාශනය අවසන් කළ 'ලොක්කි' ටෙලිනාට්‍යයේ ෂැගී රඟපෑවේ දුෂ්ඨයෙකුගේ චරිතයක්?

ඔව්... අදටත් මිනිස්සු ලොක්කි එකේ 'සමුද්‍ර' කිව්වාම තමයි දන්නෙ. සමුද්‍ර කියන චරිතය දුෂ්ඨ තරැණයෙක් වුණාට ඒ චරිතයට ආදරේ කළ පිරිසක් හිටියා. ඉතින් ඒ චරිතය ලබා දුන්නට හර්ෂ අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. සමුද්‍ර කියන චරිතය කියන්නෙ මහ එපා කරපු චරිතයක්. හොඳක් කියන්න ඇත්තෙම නැහැ. ඒ නිසා මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරාවි කියලයි මම මුලින්ම හිතුවෙ. ඒත් මිනිස්සු ඇත්තටම ඒ දුෂ්ඨයාට ආදරේ කළා. අදටත් පාරෙදි දැක්කාම ''ඔයා ඒ චරිතය හොඳට කළා'' කියලා කියන පිරිස වැඩියි. ඒ නිසා දුෂ්ඨයා තුළින් මිනිසුන් අතර යම්තාක් දුරකට හෝ යන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

Q ෂැගී.. මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?

මම කලාවට සම්බන්ධ වුණෙ සුනිල් ප්‍රේමරත්න මහතා නිසා. ඔහු ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙක්. ආධුනික වුණු මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම මුලින්ම රඟපෑවේ නයෝමි තක්ෂිලා එක්කයි. ඇයගෙනුත් මගේ චරිතය රඟපාන්න ලොකු සහයෝගයක් ලැබුණා. තාම ඒ ටෙලිනාට්‍ය විකාශය වුණේ නැහැ. ඉදිරියේදී විකාශය වේවි. ඇත්තටම මම නළුවෙක් වුණේ ධනංජි නිසා. ඒ ගැන කියන්නම ඕනෑ. දවසක් මම ධනංජි රඟපාපු නිර්මාණයක් රූගත කිරීම් කරන තැනට ගියා. එයා රඟපාලා ඉවර වෙනකම් මම පැත්තකට වෙලා හිටියා. එදා මාව දැකපු සුනිල් ප්‍රේමරත්න මහතා ''අපි වැඩක් කරමුද?'' කියලා මගෙන් අහලා මට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා ඇත්තටම මම නළුවෙක් වුණේ ධනංජි නිසාමයි. ඒ නිර්මාණයට පස්සෙ 'වෙස්ගත්තෝ' ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. සුරංග සෙනෙවිරත්න මහතාගේ 'කකුළුවෝ සහ මකුළුවෝ' ටෙලිනාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා.

Q පුංචි කාලේ නළුවෙක් වෙන්න ආසා කළාද?

ඇත්තටම එහෙම ආසාවක් තිබුණෙ නැහැ. ධනංජි නිසා තමයි මම කලාවට ආවේ. ඒ හැර මට නළුවෙක් වෙන ආසාවක් තිබුණෙ නැහැ. පුංචි කාලේ ඉඳන් මගේ තිබුණු ලොකුම හීනය වුණේ හැම මොහොතකම සතුටින් ඉන්නයි. මම පුංචි කාලෙදිත් හැමවෙලේම සතුටින් කාලය ගෙව්වා. ඒ නිසාම පුංචි කාලෙදි කවදා හරි වෙන රටකට ගිහින් ජීවත් වෙන්න ආසා කළා. හැබැයි අපි හිතන හැමදේම වෙන්නෙ නැහැ. අද මේ පෙරළුණු පිට හොඳයි කියලයි මට හිතෙන්නෙ. මගේ පවුලේ අම්මා තාත්තා සහ සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා.

Q ඔබ ව්‍යායාම් කරන්න වැඩි කාලයක් දෙනවා වගෙයි?

ඔව්.. පුංචි කාලේ ඉඳන් නිරෝගීව ඉන්න ආසා කළා. ව්‍යායාම් එක්ක අපි නිරෝගී වෙනවා. කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව හැමෝම ව්‍යායාම්වලට යොමුවෙන්න ඕනෑ කියලයි මම විශ්වාස කරන්නෙ. කාය වර්ධනය කියන්නෙත් වෙනම ක්‍රීඩාවක්. නිරෝගීව ඉන්න ව්‍යායාම් ඕනෑ. විදෙස් රටවල මිනිසුන් තමන්ගෙ කාලයෙන් පොඩි කොටසක් හරි ඒ වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් මම ඉඩ ලැබෙන හැම දවසකම ජිම් එකට යනවා.

Q ෂැගී කරපු මුල්ම රැකියාව මොකක්ද?

මම මුලින්ම පෞද්ගලික ආයතනයක සේවය කළා. ඊටපස්සෙ මම ව්‍යාපාර කිහිපයක්ම කළා. දැනට මගේ ව්‍යාපාරය තාවකාලිකව නතර කළා. මගේ දෙමව්පියන් ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඉතින් මාත් මේ දවස්වල ඒ අයගේ ව්‍යාපාරයට සහයෝගය ලබා දෙමින් මගේ කලා කටයුතුත් කරගෙන ඉන්නවා.

Q ජීවිතේ නොහිතපු තීරණවලට යන්නත් ඔබට සිදුවුණා. එහෙම නේද?

ඔව්.. මේ දවස්වල මට කවදාවත් බලාපොරොත්තු නොවුණු ජීවිතයක් ගත කරන්න සිදුවෙලා තියෙනවා. ඒකට දැන් අපි දෙන්නම මුහුණ දෙනවා. මම දැන් තනිකඩයි. මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා තියෙනවා.

Q ෂැගී විලාසිතා කරන්න හරි කැමතියි වගේ?

ඔව්.. විලාසිතාවලට මම කැමතියි. මම හිතන විදිහට විලාසිතා කියන්නෙ එක එක්කෙනාගෙන් වෙනස් වුණු දෙයක්. මට නොගැලපෙන විලාසිතා තවත් කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්. සමහරවිට වෙනත් කෙනෙකුට නොගැලපෙන විලාසිතාවක් මට ලස්සක වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපට ගැලපෙන විලාසිතා අපිම තෝරාගත යුතු වෙනවා. සමහරවිට විලාසිතාවලට අනවශ්‍ය විදිහට යොමුවීමෙන් තම ප්‍රතිරූපයට හානි වෙන්නත් ඉඩ තියෙනවා.

Q ඇත්ත නම කියන්න?

මගේ ඇත්තම නම දෙව්නක වීරනායක. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මගේ යාළුවෝ ෂැංගා, ෂැගී කියලයි කතා කළේ. මම මුහුණුපොතේ පවා ෂැගී කියලයි හිටියෙ. කලාවට සම්බන්ධ වුණාට පස්සෙ ෂැගී නමම භාවිත කරන්න හිතා ගත්තා. දැන් මම ෂැගී.

♦ දිශානි
සේයාරූ I සුමුදු හේවාපතිරණ