2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

රැජිනට අඳින්න සැරසෙන අමන්ද්‍යා

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

  ''රැජිනට ඇන්දා'' - වේදිකාව ඉක්මවූ වේදිකා අත්දැකීමක් 

රැජිනට ඇඳගත් ගිරිරාජ් කෞෂල්‍යගේ ආදරණීය දූ කුමරිය මේ දවස්වල වේදිකාව ඉක්මවූ වේදිකා අත්දැකීමක් තිළිණ කරන්නට අමුතුම ලෑස්තියක හිඳින්නීය. වේදිකාව ඉක්මවූ වේදිකා අත්දැකීමේ චිත්‍රයේ පාට කොහොමදැයි දැන්ම අසන්නට නොසිතෙන්නේ එය ''රැජිනට ඇන්දා'' - වේදිකාව ඉක්මවූ වේදිකා අත්දැකීමක් ලෙසින් ඇය අපට විඳින්නට දෙන දවසේ දෑසින් දැක හදවතින් විඳීම වඩා යෙහෙකැයි හිතෙන නිසාමය. ගායනයට සේම රංගනයට ද ප්‍රේමයෙන් බැඳි අමන්ද්‍යා උත්පලී රැජිනට ඇන්දා නම් වූ ගී ප්‍රසංගය ඔස්සේ ලාංකික ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කරන්නේ ගීතමය අත්දැකීමක් පමණක් නොවේ. 

Q එහෙම නේද අමන්ද්‍යා?

ඔව්.. රැජිනට ඇන්දා වේදිකාව ඉක්මවූ වේදිකා අත්දැකීමක් විදිහට නම් කළේම ඇත්තටම ඒක නැටුම් ගැයුම් වැයුම් හැමදේම එකතු වෙච්ච ප්‍රසංගයක් හින්දමයි. ඒක මගේ ප්‍රසංගයක් වුණාට මම වේදිකාවට එන්නෙ නම් තනියම නෙවෙයි. ජනයි ප්‍රියයි වේදිකාව මෙහෙයවද්දි රොඩ්නි වර්ණකුල මාමා, උදේශ් ඉන්දුල අයියා ගැයුමෙන් එක්වෙනවා. ඇත්තටම නාට්‍ය ගීත වගේම ජන ගී නාද මාලාවලින් නිර්මාණය වූ නිර්මාණත් හින්දි තනු පාදක කරගෙන නිර්මාණය වූ නිර්මාණත් ඇතුළු වෙනස්ම විවිධ නිර්මාණ ශෛලීන්වල එකතුවක් මේ ප්‍රසංගයේ දකින්න පුළුවන්. ඒ වගේම අලුත්ම ගීත කිහිපයකුත් මේ ප්‍රසංගයේදි අහන්න ලැබේවි. විශේෂම දේ තමයි මගේ තාත්තා මට ලියපු දෙවැනි ගීතය මම මේ ප්‍රසංගයේදි එළිදක්වනවා. 

Q අපේ ආදරණීය ගිගිරාජ් කෞෂල්‍ය ඔයාගේ තාත්තා ඔයාට දෙවැනියට ලිව්වෙ කොහොම ගීයක්ද? 

ඒ ගීතයේ ප්‍රස්තුතය වෙන්නෙ කතරගම දෙවිඳුන්ට කරන කන්නලව්වක්. 

Q අමන්ද්‍යාගේ ප්‍රසංගය වෙනුවෙන් ඒ ආදරණීය තාත්තගේ දායකත්වය අපි කතා කරමු?

නිර්මාණාත්මක අධ්‍යක්ෂණයෙන් මේ ප්‍රසංගයේදී මගේ තාත්තා වගේම සහන් රන්වල කියන මගේ ගුරුතුමා මට සහාය දෙනවා. මගේ තාත්තා මගේ ජීවිතේ හැමදේකදීම මට දුන්න සහයෝගය ආශිර්වාදය වචනවලින් කියන්න මම කොහොමත් දන්නෙ නැහැ. මගේ අම්මත් සහෝදරියත් ජීවිතේ හැම තැනකදිම මාත් එක්ක හිටියා. ඒ වගේම මගේ ආදරණීය සැමියා සාරංගත් අද මට ජීවිතේ ලොකු හයියක්. මට හිතෙන්නෙ මෙවැනි ප්‍රසංගයක් කියන්නෙ මගේ හීනයක් විතරක් නෙවෙයි, මා තුළින් තාත්තා දකින්න බලාපොරොත්තු වෙච්ච හීනයක්. මේ වෙද්දි මට ගීත ගායනා වෙනුවෙන් වගේම රඟපෑම වෙනුවෙනුත් ආරාධනා ලැබෙනවා. ඒ වගේම මාර්ගගත ක්‍රමයට දරුවන්ට මම සංගීතය උගන්වනවා.

ඇයි පවසන්නීය.

ගිරිරාජ් කෞෂල්‍ය යනු රටම ආදරය කරන කලාවේදියෙකි. පසුගිය කාලයේ ගිරිරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද කතුරු මිතුරු චිත්‍රපටය ඔස්සේ ගිරිරාජ් ලාංකික ප්‍රේක්ෂකාගාරය මෙන්ම බොහෝ විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරයක්ද අපූරු සිනමාමය අත්දැකීමක් ඔස්සේ මන්මත් කරවීය. සිකුරු හතේ, සුහද කොකා වැනි චිත්‍රපට ඔස්සේ සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් හිනැස්සූ මේ අපූරු සිනමාවේදියා පසුගිය කාලයේ මුහුණදුන් පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ලාංකික ප්‍රේක්ෂකයන්ට තිළිණ කළේ වඩාත් සංවේදී මතකයකි. දෙස් විදෙස් ප්‍රේක්ෂකයන් ගිරිරාජ්ට කොයි තරම් ප්‍රබල ආදරයක් දක්වන්නේද යන්න පැහැදිලි වූයේ ගිරිරාජ් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන වාතාවරණයක් නිර්මාණය වූ පසුවය. සමාජයකට ප්‍රේක්ෂකාගාරයකට ගිරිරාජ් හදවතින්ම තිළිණ කළ ආදරය ඔහු වෙත පෙරළා ලැබුණු අයුරු පසක් විය.  ඔහුට ඇමතුම් ලබා දෙමින් සුවදුක් විමසූ ප්‍රේක්ෂකයන්ගේ සංඛ්‍යාව මෙන්ම ආශිර්වාදය පිරිනැමූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකාගාරය ද මැනිය නොහැකි තරම් විසල් වූයේය. 

''මගේ ආදරණීය බිරිඳ, දුවලා දෙන්නා මාව බලාගත්ත හැටි, මා වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ අයගේ ආදරය සත්කාර ගැන කියන්න මම වචන දන්නෙ නෑ. ඒ වගේම මම හඳුනන සහ හඳුනන්නෙ නැති මිනිසුන්ගෙ ආදරය ගැන කියන්න වචන දන්නෙත් නෑ. විශේෂයෙන්ම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මම අඳුනන්නෙ නැති මිනිසුන් මට දුන්න ආදරයට සහ ආශිර්වාදයට. මා හැඳිනගත් මම හඳුනන්නෙ නැති කෙනෙක් මට එහෙම ආශිර්වාද කරන්න කොයි තරම් ලස්සන ආදරණීය හදවතක් තියෙන්න ඕනැද? මගේ දුවලා මට කියනවා තාත්තා මේ එක පෝස්ට් එකක් දාපුවාම තාත්තා ගැන, Comments පන්සීයක් දාහක් විතර එනවා නිදුක් වේවා නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරලම. මිනිස්සු ඔයාට මාර ආදරෙයි තාත්තෙ. අපි හිතුවෙත් නෑ මෙච්චරකටම මිනිස්සු ඔයාට ආදරෙයි කියලා.'' ගිරිරාජ් වරෙක අප සමඟ පැවසුවේය.  

ගිරිරාජ් ලෝකෙන් දිනාගත් ආදරය ඔහුගේ ආදරණීය දියණිය අමන්ද්‍යා උත්පලී ද ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන්ද දිනා ගනිමින් සිටී. ගායනය තුළ මෙන්ම රංගනය තුළ ද ඒ ආදරය සහ ආකර්ෂණය ඈ වෙත නොඅඩුවම ලැබෙමින් පවතී. ඇගේ සුන්දර සිරියාවන්ත සිනහව සේම ඇයගේ නිරහංකාර සුහදශීලීත්වය ද ඒ ආදරයට සහ ආකර්ෂණයට ප්‍රබල හේතුවක් වී තිබේ. ඒ සියල්ල මැද ඇය යන ගමන කෙතරම් අවිවේකී වුවත් ඒ තරමටම බොහෝ සෙයින් සුන්දරය. 

රැජිනට ඇන්දා වේදිකාව ඉක්මවූ වේදිකා අත්දැකීමක් ඇය ලාංකික ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කරන්නේ පෙබරවාරි 24 වැනිදා Waters Edge හි AC Marquee සවස 7.30ටය. දැනටමත් අමන්ද්‍යාට ආදරය කරන ප්‍රේක්ෂකයන් ඒ රාත්‍රිය විඳින්නට සූදානමින් ඉන්නවාට සැක නැත.

අමන්ද්‍යා.. හදවතින්ම හදසර සුබ පැතුම්!

♦ සංජීවිකා
සේයාරුව I සුමුදු හේවාපතිරණ