2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ගීතයට අවසන් හුස්මතෙක් ආදරෙයි... - අර්ජුන රණදේව

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

විසල් විශ්වයේ හැම භාෂාවක්ම හැම ශබ්ද කෝෂයක්ම හැම සන්නිවේදනයක්ම කොයි තරම් නම් දුප්පත්ද ආදරය අස... ඒ නිසා නොවේද මේ අයුරින් ගැයුවේත් යැයි සිතුණි මට...

නුඹේ හැඟුම් - ලියනු හැකි
වචන නෑ මගෙ ගාව
සොඳුරිය ඇයි මගෙ හුස්ම
හදගැස්ම හැමදාම
අසන්නට කිසිත් නැත

අර්ජුන රණදේව එසේ ගැයුවේ තම ආදරවන්තියට, ආලවන්තියට පාද පරිචාරිකාවට බව ඉඳුරාම මම දනිමි. ඒ සියලු භූමිකාවන්හි අයිතිකාරිය ඇයයි. බැද්දේ කුමරිය, එතෙරින් එතෙරට, ගිමන් හරිමින්, සසරින් එතෙරට, අමුතු දීගේ, ජැෆ්නාදරය වැනි ග්‍රන්ථ කිහිපයක් ලියමින් පන්හිඳට පෙම් බැඳි ඇය එම සියලු භූමිකාවන්හි අයිතිකාරියයි. ඇය ප්‍රිසිලා ගොඩහේවාය. 

හිත හදා ළඟ ඉන්නෙ ආදරය මුමුණන්න
මගෙ කියා මට ඉන්නෙ
මා සොඳුරි පණ දෙන්න
මා කඳුළු පිසලන්න

පිරිමි පපුවක් පතන හදවතේ ගැඹුරටම දැනෙන ප්‍රේමයක් ඔහුට හමුවී තිබේ. දැවැන්ත ව්‍යාපාරික වපසරියෙන් ඔබ්බට අර්ජුන රණදේව ගායකයෙකු ලෙස යන ගමන් මඟේ ඈ පහන් තාරුකාවක්ව දිදුලන්නේ ඒ නිසාමය. අලංකාර දිවි උයන්තෙරේ ගී ඇල්බමය එළිදැක්වූ ඒ සදාදරණීය දිනය දක්වාමත් ඒ දිනයේ සිට අද දක්වාත් ඔහු ගමන් මඟේ සෙවණැල්ලක්ව ඈ සිටින්නීය. 

Q අර්ජුන ගායන ක්ෂේත්‍රයට පිවිස ඔබ ඉතාමත් ටික කාලයක් ඇතුළත අලංකාර දිවි උයන්තෙරේ නමින් ඔබේ පළමු ගීත ඇල්බමය එළිදැක්වුවා. එහි විශේෂත්වය පළමුව කතා කරමු නේද?

ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවත් මගේ මාතෘ භූමිය ශ්‍රී ලංකාවයි. ඇත්තටම මම ලංකාවට නිතර යන කෙනෙක්. පළමු ගීතයෙන් පසු ලංකාවට එන හැම වාරයකදීම වගේ මම ගීතයක් කළා. මම දන්න විදිහට මා එළිදැක්වූ ආකාරයේ ගීත ඇල්බමයක් ලංකාවේ ගායකයෙක් මෙතෙක් එළිදක්වා නොතිබීම එහි විශේෂත්වයක්. පොතක ආකාරයෙන් එළිදැක්වූ ඒ ගී ඇල්බමයේ සෑම ගීයක් සමඟම QR Code එකක් අන්තර්ගතයි. එය ස්කෑන් කර ඒ ඔස්සේ ගීතය ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ තමයි අලංකාර දිවි උයන්තෙරේ සුවිශේෂත්වය. ගී ඇල්බමය නිර්මාණය කිරීමේදි ඒ සඳහා දායකත්වය ලබාදුන් හැම කෙනෙකුටම හදවතින්ම මම ස්තූතියි කියනවා.

Q ගී ඇල්බමයේ පිටු සැරසූ ගී අතර අලංකාර දිවි උයන්තෙරේ ගීතයත් මම හිතන්නෙ සුවිශේෂී නිමිත්තක් පාදක කරගෙන ඔබ ගැයූ ගීයක්?

ඔව්.. අලංකාර දිවි උයන්තෙරේ සුරංගනාවියන් අපේ ලොවේ අම්මටයි මටයි නිරන්තරේ අරන් ආපු සතුට සැනසුම සීත දුරු රටේ අපි සෙවූ ජීවිතේ එක්වෙලා බැඳි ආදරේ දිදී අපි රජ වුණේ අපේම ලෝකේ කියන ගීතය ඇත්තටම මම ගැයුවෙ මගේ දුවලා දෙන්නා වෙනුවෙන්. මගේ දුවක් මනමාලියක් වෙලා යන්න පෙරුම් පුරපු දවසේ මම ඒ ගීතය ගැයුවෙ හුඟක් හැඟුම්බර හදවතකින්. එදා ඇත්තටම ඒ ගැයුම වෙනුවෙන් හුඟක් සංවේදී ප්‍රතිචාර දැනුණා. මගේ දුවලා දෙන්නා බිරිඳ වගේම එදා පැමිණ සිටි හැමෝම ගී ගීයට ගොඩක් සංවේදී වුණා. යමුනා මාලිනී පෙරේරා ලියූ ඒ ගීතය සංගීතවත් කළේ නවරත්න ගමගේ. 

Q අලංකාර දිවි උයන්තෙරේ ගී ඇල්බමය සැරසූ අනෙක් ගී ගැනත් අපි සැකෙවින් කතා කරමු?

සරා සඳ ඔබයි ගීතය ලියුවෙ කදනාරච්චි තිලකරත්න. එය සංගීතවත් කළේ නවරත්න ගමගේ. දුකක් දැනුණම හිතට ගීතය ලියුවෙත් සංගීතවත් කළෙත් සමන්ත ගීකියනගේ. හිත හදා ළඟ ඉන්න ගීතය ලියුවෙ ෂෙහාන් ගලහිටියාව. එය සංගීතවත් කළේ නවරත්න ගමගේ. රළපනාව ගීතය ලියුවෙ පුලස්ති එදිරිවීර. එය සංගීතවත් කළේ නවරත්න ගමගේ. ක්‍රිෂ්ණා මාගේ ගීතය ලියුවෙ වසන්ත කුමාර කොබවක. එය මා ගැයුවෙ උරේෂා රවීහාරිත් සමඟයි. එය සංගීතවත් කළේ නවරත්න ගමගේ විසින්. සුළං රුලක් හෙමින් ඇදී ගීතය ලියුවෙත් සංගීතවත් කළෙත් සමන්ත ගීකියනගේ. නිල් දෑස පාන ගීතය ලියුවෙ ආරාධනා ඒකනායක. සංගීතවත් කළේ නවරත්න ගමගේ. හිරිපොද සීතල ගීතය ලියුවෙ මගේ ආදරණීය බිරිඳ ප්‍රිසිලා ගොඩහේවා. එහි සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ. මරියසෙල් ගුණතිලක සමඟ මා ගැයූ රහසින් රහසින් ගීතය ලියුවෙ පූජිත උඩුවන. එය සංගීතවත් කළේ නවරත්න ගමගේ. 

Q ගීතයට සහ සංගීතයට මෙතරම් ආදරයක් ඇයි?

ගීතය සහ සංගීතය මම දකින්නෙ කලාවේ විවිධ ශානරයන් අතර හරි උත්තරීතර කලා ශානරයක් විදිහට. ඇත්තටම එය දිව්‍යමය දෙයක්. මම ගීතයක් ගයන්නෙ හරිම ආදරණීය හැඟීමකින්. හරි භක්තියකින්. ජීවිතයේ මම ආදරය කරන දේවල් තියෙනවා. සංචාරයට සංගීතයට ගීතයට සහ ආදරයට මම හරි ආදරය කරන කෙනෙක්. මගේ සියලු රුචිකත්වයන්ට ඒ විදිහටම සරිලන ආදරණීය බිරිඳක් සහ දුවලා දෙන්නෙක් මගේ ජීවිතේ මට ඉන්නවා. ඇත්තටම ගීතය සහ සංගීතය තුළින් මම ලබන්නෙ වචනයෙන් විස්තර කළ නොහැකි වින්දනයක්, මානසික නිදහසක් සහ සුවයක්. ඉතින් ජීවිතේ අවසන් මොහොත දක්වා මා අත්නොහරින දෙයක් වෙත්නම් සංගීතයත් ඉන් එකක්. 

♦ සංජීවිකා