2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

නැති පළතුරක් නැති වත්තක දවසක්

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 142

පිල් විහිදුවාලන හැටි බලන්නට බලා හිටියත් ඒ මොණරා පිල් නොවිදහාම කොහේදෝ සැඟවී ගියේය. මොණරුත් සරන වත්තක්... ඔව් ඒ මේ කොළඹමයි. නිලට නිලේ දිදුලමින් අක්කර විස්සකටත් වැඩි භූමියක ඈතින් ඈතට විහිද ගිය පොල්හේන්ගොඩ වත්තට අප ගියේ ලංකාවේ හැදෙන ඕනෑම පළතුරක් මේ වත්තේ තියෙනවා යැයි ආයුර්වේද වෛද්‍ය සුජීව ප්‍රසන්න විතානගේ කියූ කතාවේ සුන්දරත්වය දෑසින්ම විඳගනු රිසියෙනි. ප්‍රාණජීව ඖෂධයෙන් ලෝකයක්ම දිනූ සෙත්සුව ආයුර්වේද රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සුජීව වෛද්‍ය භූමිකාවෙන් ඔබ්බට චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොබාදහමට ආදරය කරන ඒ ආදරය ඔස්සේම කලාවටත් මනුෂ්‍යත්වයටත් ආදරය කරන සොඳුරු සංවේදී හදවතක් ඇත්තෙකි. ඒ වගට ලස්සනම නිදර්ශනය වන්නේ පොල්හේන්ගොඩ වත්තේ ඩ්‍රුගන් ෆෘට් ඵලදාවෙන් විශාල ප්‍රමාණයක් අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් නොමිලේ පරිත්‍යාග කිරීමේ කර්තව්‍යයයි. එම විසල් වතු යායේ ඵලදාවෙන් වැඩි කොටසක් සැබැවින්ම බෙදී යන්නේ ඔහු දන්නා කියනා හිතවතුන් වෙත පරිත්‍යාග කිරීමටය. මොණරුන් සේම බූරුවන් ද සරන එම වතු යායේ රඹුටන්, වරකා, නමිනං, අඹ, කාමරංගා, ඩ්‍රුගන් ෆෘට්, පේර, ජම්බෝල, දිවුල්, නාරං, දොඩම්, දූරියන්, උගුරුස්ස, මැංගුස්, චෙරි ආදී නැති පළතුරක් නැති තරම්ය.

තවද වැල් පෙනෙල, ගොටුකොළ, කොතල හිඹුටු වැනි බොහෝ ඖෂධීය ශාක මෙන්ම අහස ඉඹින තරම් උස්ව නැගුණු මී, කුඹුක් වැනි දැවැන්ත වෘක්ෂයන් ද ඒ බිමේ අයිතිකරුවෝය. තවත් අතෙකින් ඔහු හොඳ ගොවියෙකි. අක්කර ගණනක් ඈතට විහිදුණු කුඹුරු අස්වද්දන විට කෙතරම් ශ්‍රමිකයන් සිටියත් නිරායාසයෙන්ම එම ගොවියන් අතර මේ වෛද්‍යවරයා ද ගොවියෙකු බවට පත්වේ. ''සොබාදහමට ගොවිකමට මට තියෙන්නෙ සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන ආදරයක්. සොබාදහමෙන් වියුක්ත වෙච්ච ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් නෑ ඇත්තටම.'' වෛද්‍ය සුජීව පවසන්නේ වග ඥානාලෝක යතිවරයාණන් වහන්සේගෙන් දායාද ලෙස ලත් මෙම වෙදකම ඔස්සේ නිෂ්පාදනය කරන අමෙරිකානු වෙළෙඳපොළේ (FDA) ලියාපදිංචිය යටතේ බෙදාහරින්නට හිමිකම් ලද ශ්‍රී ලංකාවේ එකම ආයුර්වේද නිෂ්පාදනය වන ප්‍රාණජීව ඖෂධය තුළින් යුරෝපය, කැනඩාව, ජපානය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව වැනි බොහෝ රටවල ප්‍රාණජීව වෙනුවෙන් දැවැන්ත වෙළෙඳපොළක් නිර්මාණය කළ අභිමානවත් වෛද්‍යවරයා ලෙසින් නොව සොබාදහමටම ආදරය කරන ඉතා සරල පරිසරවේදියකු ලෙසය. ඔහු සුන්දර සංවේදී මිනිසකු වන්නේ ද ඒ සරලත්වය සහ නිරහංකාරත්වය තුළමය. 

''මේ ලෝකෙ දෙයක් ආපසු බලාපොරොත්තු නොවී යමක් දෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අරහත් හිතක් තියෙන කෙනෙක් විතරයි. ඒත් සොබාදහම සැමවිටම කිසිම දෙයක් ආපසු නොඉල්ලමින් සියල්ල දන් දෙන දේවත්වයක ඉන්න කෙනෙක්.'' කලෙක රත් හඳුන් වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබූ සමයක වෛද්‍ය සුජීව රට පුරා ඔහුගේ වියදමින් රත් හඳුන් පැළ පන්දහසක් පමණ සිටවූයේය. පොල්හේන්ගොඩ වත්තේ මේ වන විට වැඩෙමින් පවතින රත් හඳුන් ගස් දෙසීයක් පමණ තිබේ. සාර සුබාවට සාර භූමියක් සේ බිම අස්වද්දන්නට ආදරයෙන් කැපවුණු මේ වෛද්‍යවරයා සමඟ පොල්හේන්ගොඩ වත්ත පුරා ඇවිදින්නට අප ගියේ ඔහු සතු FORD රථයෙනි. 

සිදුවූයේ නොසිතූ අකරතැබ්බයකි. FORD රථය මඩ වගුරක එරී ගියේය. කිතුලෙන් පෙරෑ නැවුම් රා මුට්ටි ඇති වත්තේ රා පොල්කට්ටක රස බැලීම වෙනම අත්දැකීමකි. ''FORD එකත් රා බීලද මන්දා'' සිදුවූ අකරතැබ්බය බින්දුවකටවත් මායිම් නොකරමින් වෛද්‍ය සුජීව පැවසුවේ ඊළඟට වාහනය මඩ වගුරෙන් එළියට ගැනීමේ මෙහෙයුමට සැලසුම් දියත් කරමිනි. පැයකට ආසන්න කාලයක් වාහනය ගොඩට ගැනීමට ගතවූ අතර වත්ත බලාගැනීමට සිටිනා සේවකයන් අතර මඩ නාගත් වෛද්‍යවරයා ද විය. ''ඒකත් මරු.. පළවෙනි වතාවට තමයි FORD එක වත්තෙ මෙහෙම එරුණෙ'' එතැන් සිට ටික දුරක් පයින් ඇවිද යද්දී අපට හමුවූයේ වත්ත මැද වැවකි. 

කවුද මේ වැව හැදුවෙ?

මේ වැව හදද්දි මාත් එක වැඩකාරයෙක්. මේ වැවට වතුර උනන්නෙ ස්වභාවික උල්පතකින්. වැවේ මිරිදිය මාළු ඉන්නවා. ලූලා, හුංගා, මගුරා වගේ මාළු මේ වැවේ ඉන්නවා. 

වැවට ඉස්මත්තේ ඇත්තේ හරිත පැහැයෙන් දිළිසෙන කුඹුරු යායකි. ඒ කෙත් යායට අසලින්ම දැවැන්ත මී ගස් පෙළකි. 

''ඔයා දන්නවද එක මී ගහකට පුළුවන් කුඹුරු අක්කර දෙකකට පොහොර දෙන්න. ඇත්තටම මී ගහ කියන්නෙ පුදුම ගස් ජාතියක්''

ඇයි?

මල් පිපෙන කාලෙට ගෙඩි හැදෙන කාලෙට මා වවුලො එනවා මී ගහට. මා වවුලො එන්නෙ මී මල්වල පැණි බීලා ගෙඩි කාලා යන්න. හැබැයි එයාලා කාලා බීලා ගහ යටම අසූචිත් දාලා තමයි යන්නෙ. පොටෑසියම් වැඩිම ස්වභාවික පොහොරක් තමයි වවුල් අසූචි කියන්නෙ. සුද්දා ඇවිල්ලා සිංහලයා විනාශ කරන්න කරපු එක දෙයක් තමයි අටුකොටු පුරවපු සිංහලයන්ගෙ කෘෂිකර්මය විනාශ කරපු එක. ඒ කාලෙ කුඹුරු ලියැදි අද්දර හිටවලා තිබුණු මී ගස් එයාලගෙ අණින් කපලා දැම්මා. සුද්දා ඇත්තටම කළේ මේ පොළොවෙ මේ ජාතියෙ මුදුන් මුල් වගේ තිබුණු වටිනා දේවල් සූක්ෂම විදිහට විනාශ කරපු එක. අංගම්පොර, කංසා වගේ වටිනා දේවල් සිංහලයන්ට නැතිවුණේ එහෙමයි.

වෛද්‍ය සුජීව අංගම්පොර, කංසා මෙන්ම මී ගහ පිළිබඳවද දිගු විවරණයට මුල පිරුවේ ඒ අයුරිනි. 

මිල මුදල් හරිහම්බ කළ හැකිය. වස්තුව, ධනය, බලය රුස් කළ හැකිය. එහෙත් පරිපූර්ණත්වය යනු හුදෙක් ඒ සියල්ල තුළ පමණක් ජීවිතය රාමුගත කිරීම නොවේ. ජීවිතය යනු හුස්මක් ගන්න බව දැනෙන ජීවත් වීමක අයිතියකි. ජීවත්වීම යනු ඉපදීම සහ මරණය අතර ජීවිතය, ආදරය, ප්‍රේමය, රාගය, ළෙන්ගතුකම සහ ජීවිතය වින්දනීය වග දනවන බොහෝ ඉසව් සහ වත්කම් අතර ඉවසිලිවන්ත ලෙස කළමනාකරණය කිරීමයි. ඉපයීම පමණක් ජීවිතය නොවිය යුතු බව ප්‍රායෝගිකවම කියා දෙන යථාර්ථයෙන්ම අවබෝධ කරගත් මිනිසුන් හමුවීම සැබැවින්ම සුන්දරම අත්දැකීමකි. සොබාදහම සහ හෘද සාක්ෂිය සමඟ ජීවත් වන මිනිසුන්ගේ ළෙන්ගතු ඇසුර සුවදායීම වින්දනයකි. එවන් වින්දනීය මිනිසුන් හමුවීම සුලභ අත්දැකීමක් නොවන පසුබිමක ඒ සංචාරය අප වෙත ඉතුරු කළ සොඳුරු මතක බොහෝ වග අවසන ලියා තබමි. 

♦ සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ