2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මරණයට පුළුවන්ද ආදරය මරන්නට

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

 පවුරු බිඳින අනන්තයක ප්‍රේමණීය ආමන්ත්‍රණය 

සංසාරය අසංඛය සැතපුම් ගෙවා යන එන චාරිකාවකි. ඒ චාරිකාව නිමා නොවෙන්නට හේතු සාදන බන්ධනය ප්‍රේමයයි. ප්‍රේමයත් ඉක්මවා ගිය කල්හි ආදරයයි. ප්‍රේමයෙන් හදවත විතැන් වූ මොහොතක ආදරය ජීවිතයෙන් ගිලිහුණු මොහොතක ජීවිතය ආදරයෙන් සිප ගන්නට නොහිතෙන හිස්තැන් බොහෝ හමුවෙත්...

ඉඳින්

ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක්ද?

ආදරය යනු ආදරයම මිස අන් කවරක්ද?

සීතල මරණය තුළත් අත් නොහැරෙන උණුසුම් සෞන්දර්ය වූ කලී ආදරයයි... ඔව් සීතල මරණය තුළ අත් නොහැරෙනා උණුසුම් චමත්කාරය වූ කලී ප්‍රේමයයි... අන් කිසිත් නිර්වචන නොහේ... ප්‍රේමය යනු ප්‍රේමයමැයි... ආදරය යනු ආදරයමැයි... එහි අගය වූ කලී බින්දුවයි. මන්ද යත් බිංදුව යනු අසංඛ්‍යාත්මක වූ සංඛ්‍යාත්මක අගයයි. වටිනාකමයි... ආදරය යනු සියලු සීමා, සලකුණු, නිර්වචන ඉක්මවා ගිය දිව්‍යමය තලයක රිදීවන් ස්වර්ණවත් මුද්‍රාවයි.. එය හුදෙක් කතාන්දරයක් හෝ මනෝභාවයක් පමණක් නොවන්නේ එය ඉන් එහා මහා වේදයක් බවට පරිවර්තනය වන හෙයිනි.

මේ සියලු නිර්වචන තුළ සහ සම්මිශ්‍රණයන් තුළ 1970 Love Story යනු සොඳුරු ආත්මීය ආලවන්ත ආදරවේදයක සාංසාරික ප්‍රේමාන්විත මුද්‍රාවක් වග ඉඳුරාම හැඟුණු වග ඉතින් නොලියා කෙලෙසද? සංකල්පීය වශයෙන් සිංහල සිනමාව දුප්පත් පසුබිමක අමු අනුකාරක රසභාව විරහිත සිනමා රූපකාරකයන් වැඩි වශයෙන් ඇස ගැසෙන වත්මනක 1970 Love Story යනු අත්‍යන්තයෙන්ම ප්‍රශංසනීය සිනමාමය ඇගයුමකට පාත්‍ර විය යුතුම සිනමා චිත්‍රණයකි. 

එක් පසුතලයක් කේන්ද්‍ර කර ගනිමින් සියුම් බව විනිවිද ඉසියුම් රංගවේදයක් විෂයෙහි තම සිනමාමය දෑස සිනමාරූපී දෘෂ්ටිකෝණයක් තුළ රඳවමින් සෞන්දර්යාත්මක සම්මිශ්‍රණයන් හැසිරවීමට සහ කැමරාමය දෘෂ්ටිය තුළ පෙරා වත්කර ගන්නට 1970 Love Story හි අධ්‍යක්ෂවරයා ලෙස අරුණ ජයවර්ධනත් එහි කැමරා මෙහෙවරත් දැක්වූ 'දැනෙන' ප්‍රතිභාව සැබැවින්ම අගය කළ යුතුමය. 

සංසාර වීදියෙන් වීදියට ඇවිදින ගමනේදී ජීවිතය සොඳුරු නවාතැන්පොළක් බවට පරිවර්තනය කරන කේන්ද්‍රීය සාධකයක් වන ප්‍රේමය භවයෙන් භවය සංසාරය සරා මුණ නොගැසෙන සහ අත් නොවිඳින කෙනෙක් ලෝකයේ කොතැනකවත් සිටියේ ද නැත. සිටින්නට හැටියක්ද නැත. මානව ප්‍රේමයේ පටන් ප්‍රේමයේත් ආදරයේත් ස්නේහයේත් විවිධ දිශානතීන් ස්පර්ශ කිරීමේ සහජ වුවමනාව ලෝකයට සපැමිණි මොහොතේ පටන් මානව හදවතට දැනෙන මානවීය වුවමනාවකි. ඒ වුවමනාවෙන් වියුක්ත වූ කිසිවක් හෝ කිසිවෙක් ලෝකයේ නොපවතින අතර ළදරුවකු තම අත්ලට කෙනෙකුගේ ඇඟිල්ලක් තදින් ස්පර්ශ කර අල්ලා ගැනීමේ සිට හැඬීම, සිනාසීම දක්වා සියලු සන්නිවේදනයන්හි සම්මිශ්‍රණය වී ඇත්තේ ආදරය උදෙසා පවතින ඉල්ලීම සහ අවශ්‍යතාවයයි. 

ගැහැනියකගේ ළය ලෙය කිරි බවට පත්වන්නේ තම කුසහොත් දරුවකු වෙනුවෙන් පමණක් වුවත් ඇගේ රුහිරය පිරිමියෙකු වෙනුවෙන් උපදින ආදරය අස මැනිය නොහැකි පමණකට උණුසුම් වන්නේත් ඝනකම් වන්නේත් ආදරයේ මහිමය එතරම්ම බලවත් වන හෙයිනි. 

1970 Love Story හි එවන් ගැහැනියක හමුවේ. චිත්‍රපටයක් තුළ තවත් චිත්‍රපටයක් ලෙස දිගහැරෙන 1970 Love Story හි ප්‍රබල සිනමාමය ආධිපත්‍යයක් විහිදුවාලන්නට එකම වචනයක්වත් දෙබසක්වත් කතා නොකරන සොඳුරු හොල්මනක් ලෙස අප අභිමුවට එන එම ගැහැනිය සමත් වේ. මරණය තුළ මිය ඇදෙන ශරීරයෙන් වියුක්ත වූ විඥානය ප්‍රකෘති මානව ඇසට හසු නොවන මානයන් තුළ සැරිසැරිය හැකිද නැද්ද යන තර්කයට විද්‍යාත්මක පිළිතුරු සහේතුක ලෙස ලැබී ඇති ලෝකයකදී එම චරිතය කිසිදු විටෙක අභව්‍ය අනන්‍යයන්ගෙන් යුක්ත නොවේ. මානවයා වචන සහ දෙබස් ප්‍රකාශනයන් තුළින් සිදු කරන සන්නිවේදනයට වඩා ඇස් පිහාටුවකින් දෑසින් බැල්මෙන් කොපුලෙන් සහ දෙතොලින් මෙන්ම දෑතින්ද කරන සන්නිවේදනය වරෙක වඩාත් ප්‍රබල සහ තියුණු වෙයි. 1970 Love Story හි තමන්ට අහිමි වූ තම ප්‍රේමවන්තයා ආලවන්තයා සහ සැමියා වෙනුවෙන් ප්‍රාණසම ප්‍රේම පාරමිතාවක් පිරූ එම ගැහැනිය මරණයෙන් ඉනික්බිතිත් ඒ ප්‍රේමය සහ ප්‍රේමය අහිමි කළ දුෂ්ටයා වෙනුවෙන් සිතුවිලි සරනයේ යෙදෙමින් දක්වන ප්‍රතික්‍රියාවන් මා දකින්නේද ප්‍රේමය වෙනුවෙන්ම සොඳුරු සංනිදර්ශනයක් ලෙසමය. සඳනි ප්‍රනාන්දුගේ භාව ප්‍රකාශනය සහ ඉවසිලිවන්ත රංග රිද්මය තුළ එම චරිතය වඩාත් ප්‍රබල වී තිබේ. 

1970 Love Story යන අපූරු සිනමා ආඛ්‍යානය ප්‍රේමය යනු අනුරාගයෙන් ඔබ්බට මානවීය දිශානතීන් තුළ විහිද ගිය විශ්වීය ආමන්ත්‍රණයක් බව මැනවින් කියයි. සැබැවින්ම සාංසාරික හුස්මක් ලෙස ප්‍රේමය ගම්‍ය වූ කල්හි එවන් ප්‍රේමයකට නොබිඳිය හැකි පවුරක් නොවේ. 

පිටපත් රචනය තුළ මෙන්ම සැලසුම් සහගත සමබර රූපරාමු පෙළක් සංසිද්ධියෙන් සංසිද්ධියට අමුණමින් දක්වා ඇති ප්‍රතිභාව ද 1970 Love Story තුළ අගය කළ යුතු සේම වර්ණ සංයෝජනය තුළ ද එහි සුසංයෝගය කදිමය. රිද්මීය ගලා යාමක් මෙන්ම අති ඉසියුම් ලෙස රංගවේදීන්ගේ රංග ප්‍රතිභාව සිනමාමය පෙරහන්කඩින් පෙරා වත්කර විසුරුවන්නට එහි අධ්‍යක්ෂවරයා දක්වා ඇති සමත්භාවය ලාංකික සිනමා අධ්‍යක්ෂවරුන් තුළින් අප දකින්නේ ඉතාමත් කලාතුරකින් වන පසුබිමක සැබැවින්ම අරුණ ජයවර්ධනගේ ප්‍රයත්නය සම්මානනීය වේ.

සැබැවින්ම මෙවැනි සොඳුරු වර්ණිත සිනමාවේදයක් වෙනුවෙන් නිෂ්පාදන දායකත්වය ලබාදුන් ආචාර්ය සමන් එදිරිසිංහට ද ලාංකික සිනමාව වෙනුවෙන් අපගේ ප්‍රසංශනීය ස්තූතිය හිමිවිය යුතුමය. සඳහන් කළම යුතු නාමාවලියක් ඇතත් ඒ සියලු නම් සඳහන් කිරීමේ ඉඩහසර නැති වුවත් සැකෙවින්ම 1970 Love Story හි තේ කෝප්පය සෑදූ සේවකයාගේ සිට සියල්ලන් වෙනුවෙන් ස්තූතියත් ප්‍රශංසාවත් පුද කළ යුතුමය. බොහෝ කලකට පසු සිංහල චිත්‍රපටයක් තුළින් සිනමාරූපී නර්තනයන් සහ ගී කිහිපයක් විඳින්න අවකාශය අපට හිමි වී ඇත. හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා, සඳනි ප්‍රනාන්දු, සරත් කොතලාවල ඇතුළු රංගවේදීන් රුසක් මෙම සිනමාමය සිත්තම රංගනය ඔස්සේ සෞන්දර්යාත්මකව වර්ණ ගන්වා ඇති අතර දිනෙත් ද සිල්වාගේ සුවිශිෂ්ටම රංගනය ලාංකික ප්‍රේක්ෂකයාට මුණගැස්වූ සිනමා සිත්තම ලෙස ද 1970 Love Story මගේ ප්‍රශංසනීය ඇගයුමට ලක් වේ. නෙතට ප්‍රිය දුඹුරු වන් සමක් සහ තියුණු හැඩතල සහ ප්‍රකාශනයක් සහිත මුහුණක් හිමි නළුවකු ලෙස දිනෙත් මෙම සිනමා සිත්තම තුළ ඉතා ප්‍රබල ලෙස චරිතය හා ආත්මීය ආලයකින් හුස්ම ගන්නා ස්වරූපයත්, ස්වරයත් ප්‍රේක්ෂකයා වෙත දනවන සහකම්පනය තුළ වින්දනයේ උපරිම හදගැස්මකට ප්‍රේක්ෂකයා කැටුව යයි. 

සැබැවින්ම 1970 Love Story සිනමා වියමන පිළිබඳ ලියා තබන්නට සිත්වෙන බොහෝ දෑ තවත් මා සන්තකයේය. එහෙත් නැරඹීම තුළ මින් එහා සියල්ල ප්‍රේක්ෂක ඔබ විඳිය යුතුමය. ලාංකික සිනමාවට තිළිණ වූ ප්‍රශංසනීය සොඳුරු සිනමාමය ත්‍යාගය ලාංකික සිනමා ප්‍රේක්ෂකාගාරය සාදර ආදරයෙන් මලක් සේ පපුවට තුරුළු කරගෙන හදවතින් සිඹිය යුතුමය. 

I සංජීවිකා