2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

පරවි දූපතේ කෙල්ලයි - සුද්දයි

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

මතකද මේ අපේ යාළුවා. කොළඹ, නුවරඑළිය පැත්තෙ ගිහින් කරපු කියපු දේවල් පහුගිය සති දෙක තුනේ අපි බෙදා ගත්තා. කොහොම හරි පහුගිය දවසක යාළුවගේ වීඩියෝ එකක කෑල්ලක් viral වෙලා. ඒ නිසාම අද කතාව viral වුණු වීඩියෝ එක ගැන.

මේ පාර මෙයා දකුණු පළාතෙ තංගල්ල, මාතර පැත්තේ වෙරළේ කරක් ගහන්න හිතාගෙන. ඔන්න මාතර පැත්තට ගිහිල්ලා මාතර බත් කඩයකින් යාළුවා බත් ටිකක් කෑවේ අතින්මයි. ඊටපස්සේ යාළුවා ගියා මාතර වෙරළ තීරයට. 

ඔහොම යද්දී යාළුවට මුලින්ම හම්බවුණේ පුංචි දුවෙක් එක්ක ඉන්න තරුණ තාත්තා කෙනෙක්ව. ඊටපස්සේ දෙන්නා අතර අපූරු කතාබහක් ඇතිවුණා. පුංචි දුවලා දෙන්නෙක් හිටපු හින්දා ඊළඟට පුංචි පුතෙක් ලැබෙන්න කියලත් විහිළු කළා. Photo එකකුත් ගහලා යන්න හදනකොට තමයි, අපේ මිත්‍රයා ටිකක් පුදුම හිතන දෙයක් දැක්කේ.

“ඔයාගේ පුංචි දුවට නිල් පාට ඇස් තියෙනවා" 
“ඔව් එයාට නිල් පාට ඇස් තියෙන්නේ"
“කොහොමද ඒ ඇස් ආවේ. ඔයාට නිල් පාට ඇස් නෑනේ"
“මගේ බිරිඳගෙ අක්කට නිල් පාට ඇස් තියෙනවා"
“වාව්.. ලස්සනයි.. යුනික්" 

මාතර වෙරළේ වැඩිපුරම ඉන්නේ දේශීය සංචාරකයෝනේ. වැඩිපුර සුදු හම තියෙන අය නැහැ කිය කියා තමා අපේ යාළුවා වටේ ඇවිද්දේ. ඊටපස්සෙ ගියේ පරවි දූපත ළඟට. 

“මේ තියෙන්නේ අලුත් පාලම. පරණ පාලම ලොකු කුණාටුවක් ඇවිල්ල කැඩිලා"

දූපතට ඇතුළුවෙන ගමන් දකින දේවල් ගැන මෙයා පැහැදිලි කරන්න පටන් ගත්තා. දූපතේ පන්සල බලන්න ටිකට් එකකුත් අරගෙන තමා මෙයට ඇතුළට ගියේ. 

“ඇත්තටම මෙතැනට අපූරු දර්ශනයක් තියෙනවා. මාරම ලස්සනයි"

පරවි දූපතේ වටේම ඇවිදපු අපේ යාළුවා අලුතින් උඩහ ඉදිවෙන දාගැබ තියෙන ස්ථානයටත් ගියා. මෙයාට මේ අතර කැඩිච්ච පාලම ගැන ලොකු කුතුහලයක් තිබුණා.

කැඩිච්ච පාලම දූපතට සම්බන්ධ වෙන තැනින් තමා දැන් මෙයා මතුවුණේ. මෙතැන ඉඳන් කොටස තමා ලංකාවේ මුහුණුපොතේ viral වෙලා තිබුණේ.

“ඕගොල්ලෝ දන්නවද මේ පාලම කවද්ද කැඩුණෙ කියලා"

පාලම ළඟට ඇවිල්ලා එතැන හිටපු ගෑනු ළමයි තුන්දෙනෙක්ගෙන් තමා අපේ යාළුවා මෙහෙම ඇහුවේ. මෙතැන හිටපු ගෑනු ළමයි කිව්වා..

“දන්නේ නැහැ" කියලා.

කොහොම හරි මේ අතර හිටපු කටකාර ගෑනු ළමයෙක් තමා වීඩියෝ එක viral වෙන්න හේතුව වුණේ.

“අපිට ඔයත් එක්ක photo එකක් ගන්න පුළුවන්"

මේ ගෑනු ළමයා අපේ යාළුවත් එක්ක photo එකක් ගන්න ලෑස්ති වුණා. අපේ සුදු ජාතික මිත්‍රයාගේ අතේ එල්ලිලා එක එක force වලින් photo ගත්තා.

“මට ඔයාව සිප ගන්න පුළුවන්ද?”

මේ ගෑනු ළමයා එහෙමත් ඇහුවා. අපේ සුදු යාළුවා බාධාවක් කළේ නෑ.

“මේක මරු" 

අපේ මිත්‍රයත් ආතභූත වෙලා වගේ හිටියා. එක එක විදිහට photo ගත්තා. අපේ ගෑනු ළමයා මෙන්න අපේ සුදු යාළුවගෙන් තවත් ඉල්ලීමක් කළා.

“මට ඔයාව මතක් වෙන්න සමරුවක් දෙන්න පුළුවන්ද?”

අපේ මිත්‍රයාගේ අතේ බැඳලා තියෙන එක එක ජාතියේ බේස්ලට්වලින් එකක් තමා මෙයා ඉල්ලුවේ.

“මේ ඔක්කොම එකට සම්බන්ධවෙලා තියෙන්නේ"

ඇත්තටම මේ පටි ඔක්කොම එකිනෙක ගැටගැහිලා තමයි තිබුණේ. 

“මොකක්ද එතකොට මට දෙන්නේ" 

අපේ යාළුවා එහෙම අහනකොට ගෑනු ළමයා තමන්ගේ බෑග් එකෙන් පැන්සල් පෙට්ටිය අරගෙන ඒකේ තිබුණු 'ඩේ කාඩ්' එකක් යාළුවට දුන්නා. 

ඒක බෞද්ධ ශිෂ්ටාචාරය පන්ති කාඩ් එකක්. පෙනුණු විදියට මේ ළමයි උසස් පෙළ පන්ති යන අය. 

මේ සංවාදය පස්සේ ටිකක් දුර ගියා. අපේ මිත්‍රයාව අගය කරලා ගෑනු ළමයා එක එක දේවල් කිව්වා.

“ඔයා බැඳලද?”
“නැහැ"

මේ වගේ කතා ඇදුණා. මේ ඔක්කොම ඔයා මාව අද රූට බඳිනවා නම් දෙන්නම් වගේ කතාවකුත් අපේ සුදු මිත්‍රයා කිව්වා. ගෑනු ළමයින්ට නම් මේක එච්චරම තේරුණේ නෑ

“ඔයා මාව අමතක කරනවද?"

“නෑ මම අමතක කරන්නේ නෑ. මට ඔයාගේ 'කිස්' එක මතක තියෙයි"

ඔය වගේ කතා කිහිපයක් අතරේ සංවාදය ඉවර වුණා. ඇත්තටම ලංකාවේ ගෑනු ළමයි කරපු වැඩේ හරිද වැරදිද කියන සංවාදය මේ වෙනකොට සමාජ මාධ්‍යයේ ඇතිවෙලා තියෙනවා. ඒත් ඒකෙ හරි වැරුද්ද ගැන අපේ සුදු මිත්‍රයා නම් ලොකුවට තැකුවේ නැහැ කියන එක පැහැදිලියි.

කොහොම වුණත් මේ ගෑනු ළමයි ටික සුදු යාළුවාව විහිළුවට ගත්තේ මෙයා මෙච්චර ලොකු capacity එකක් තියෙන YouTuber කෙනෙක් කියලනම් දැනගෙන නෙවෙයි. හැබැයි ඉතින් මේ සිදුවීමට පස්සේ සිද්ධ වුණේ මොනවද කියලා නම් අපි හරියටම දන්නේ නෑ. 

මේ වෙනකොට මේ වීඩියෝ එක viral වුණු එක මේ අයට කොහොම බලපාලද කියන එකත් දන්නේ නෑ. හැබැයි ඉතින් මේ වගේ දේවල් සමාජ මාධ්‍ය ඇතුළේ සිද්ධ වෙනවා. සදාචාර සංස්කෘතික සීමාවලින් කැමති අයට මේවා මැනලා බලන්න පුළුවන්. ඒ වගේම නූතන විවෘත ආකල්පවලිනුත් මේ දිහා බලන්න පුළුවන්. 

කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ අපේ යාළුවා මාතර තව පුංචි කඩේකට ගිහිල්ලා ගම්මිරිස් එහෙම දාපු දොඩම් වීදුරුවක් බිව්වා.

“ගම්මිරිස් දොඩම් බීම පොඩ්ඩක් සැරයි වගේම strong"
“කොහොම වුණත් මට ඒක නිර්දේශ කරන්න පුළුවන්" 

පළවෙනි වතාවට ගම්මිරිස් එක්ක බීම බීලා අපේ යාළුවා දුන්නේ එහෙම විචාරයක්. අපි කලිනුත් කියලා තියෙනවා අපේ මිත්‍රයා කන බොන දේවල්වලට loss නැහැ කියලා. ඒ නිසා වැඩේ ඉවර කළේ මෙයා තවත් තැඹිලි ගෙඩියක් බීලා.

I නිසල්