2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

සුද්දගේ බඩගින්නට දුම් දාන සැරට පොල් රොටී ලුණු මිරිස්!

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 455

ඔන්න ටිකක් ලෝකේ ජනප්‍රිය YouTube Traveler කෙනෙක් ලංකාවට ඇවිල්ලා. Lost LeBlanc තමා මෙයාගේ YouTube channel එකේ නම. මෙයා ඇමෙරිකාවේ පැත්තෙ කෙනෙක්. මිලියන දෙකක් විතර Subscribe මෙයාගේ චැනල් එකට තියෙනවා. රස්සාව සම්පූර්ණයෙන් අතහැරලා Travel කරන වැඩේට බැහැපු මේ මිත්‍රයාගේ Content ටිකක් Stories විදිහට තමා හැදෙන්නේ.

කොහොම හරි අපේ යාළුවත් එක්ක තවත් යාළුවෝ දෙන්නෙක් මේ ගමන යන්න ආවා.

“2024 කියලා කියන්නෙ අලුත් වීරයෝ බිහිවෙන කාලයක්. නිර්භීත මිනිස්සු හතර දෙනෙක් සංචාරය කියන එකට නව අර්ථකථනයක් දෙන්න යන්නේ, කවුරුත් නොකරපු අලුත් දේවල් කරන්න. සමහරු මේ අයට කියනවා "වීරයෝ" කියලා. තවත් අය "පණ්ඩිතයො" කියලත් කියනවා."

ඇත්තටම මේ කතාව පටන් ගත්තෙ ඔය වගේ ලස්සන පූර්විකාවකින්. මුලින්ම කට්ටිය ගමන සැලසුම් කරලා තිබුණේ ත්‍රීවිල් එකක යන්න. ලංකාව හරහා යන එක මෙයාලා පෙන්නුවේ, ටොලමිගේ සිතියම ආධාරයෙන්. ඇත්තටම මේ වීඩියෝ පුරාවටම අමුතු අමුතු වැඩ කෑලි ගොඩක් තිබුණා.

“අපි ගමන පටන් ගන්නයි යන්නේ"

එහෙම කිව්ව මෙයාලා තමන්ගේ බඩු බාහිරාදිය එහෙමත් ත්‍රීවිල් එකට පටවගෙන ගමන පටන් ගන්න හැදුවා. ත්‍රීවීල් එක පදින හැටි කියලා දෙන්න ලංකාවේ මාමා කෙනෙක් හිටියා.

“මේ වේගයෙන්ද ලංකාව හරහා යන්න හදන්නෙ"

පස්සේ යාළුවො ටික බර බරේ දැම්මා. ඇත්තටම අපේ මිත්‍රයට වීල් එකේ වැඩේ හරියට තේරුණේ නෑ වගේ. 

“මේක මගේ නිකෙලෙස්ගේ අදහසක් නෙවෙයි.. මෙන්න මෙයා තමා ඒ අදහස කිව්වේ"

අනිත් යාළුවා වැඩේට පවා දෙද්දිම මෙන්න ආවා කාර් එකක්. කාර් එකේ ආවේ ලංකාවේ තරුණයෙක්. 

“ඔයාලට 'ලිෆ්ට්' එකක් ඕනැද?”
“ඔව් අනිවාර්යයෙන්ම"

අපේ සුදු යාළුවෝ එහෙම කියද්දි ත්‍රීවිල් එක පුරුදු කරන්න ආපු මාමා මේගොල්ලන්ට, 'ඉඩියට් ඉඩියට් ඉඩියට්' කියලා බැන්නා.

ඇත්තටම මේගොල්ලෝ වැඩේ ආරම්භ කළේ චිත්‍රපට ජවනිකාවක් වගේ එකකින්. කොහොම හරි ඇත්තටම මේගොල්ලන්ගේ සැලසුම වෙලා තියෙන්නේ ත්‍රීවිල් එකේ ගමන යන්න. පස්සේ මේගොල්ලෝ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා හොයාගත්ත ලංකාවේ මේ තරුණයා එක්ක ගමන යන්න පිටත් වුණා. කාර් එකේ එක එක දේවල් ගැන කතා කර කර තමයි මේගොල්ලෝ ගියේ.

“ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ රටක්. දැන් අපි කොළඹින් එළියට ඇවිල්ලා ඉන්නේ. ලස්සන කොළ පාට පරිසරයක"

යාළුවෝ එන අතරමඟ බෞද්ධ කොඩි ටිකක් එහෙම දාලා තිබුණු පන්සලක් ළඟ නතරවෙලා මෙහෙම කිව්වා. ඊටපස්සේ වාහනේ නතර කළේ පොල්රොටී කන්න.

ලංකාවේ තරුණයා කඩේ අක්කගෙන් ඇහුවා පොල්රොටී තියෙනවද කියලා. රොටී තිබුණා.

“මම හොඳටම බඩගින්නේ හිටියේ"
“මේක හරියට Drive true එකකින් කෑම ගන්නවා වගේ"

යාළුවෝ අපේ මිත්‍රයට විහිළු කරද්දි වාහනේ ඉඳන්ම කන්නයි ලෑස්ති වුණේ.

“නෑ මේක ශ්‍රී ලංකන් මැක්ඩොනල් එක වගේ"

ඔහොම කිව්ව කට්ටිය වාහනෙන් බැස්සා. සුදු යාළුවෝ තුන්දෙනයි අපේ ලංකාවේ තරුණයයි.

“මේකෙ ගොඩක් සැර කුළුබඩු ජාති තියෙනවා. ඕ.. මගේ ඇස් දෙකෙන් කඳුළුත් එනවා"

ලුණුමිරිස් ගොඩක් එක්ක පොඩි රොටි කෑල්ලක් කාපු යාළුවගේ ඇස් දෙකෙනුත් දුම් දැම්මා. කොහොම හරි මේගොල්ලෝ මෙතැන ඉඳන් හොඳට කාලා, කඩේ කට්ටිය එක්කත් විහිළු තහළු කරලා තමා පිටත් වුණේ.
මෙන්න මෙයාලව පොලිසියෙන් නතර කළා. ලංකාවේ යාළුවා බැහැලා පොලිසිය හම්බවෙන්න ගියා. මෙයාලා හොරෙන් පොලිස් මාමලාව වීඩියෝ කරන්න පටන් ගත්තා.

“මේ අය ඔය ගහ පිටිපස්සේ හැංගිලා හිටියේ. මම හිතන්නේ වේගයෙන් එන කට්ටියව අල්ලන්න ඉන්නේ"

හැංගිලා ඉඳන් එළියට පැනලා වාහන නවත්තලා දඩ ලියන පොලිසියක් දැකලා නැති නිසා ඇමෙරිකන්කාරයෝ පුදුම වුණා. 

කොහොම හරි ලංකාවේ යාළුවා දඩයකුත් කෑවා.

“ඔය දඩය ගාණ කීයද?”
“ඩොලර් දහයයි"

ඊටපස්සේ මේගොල්ලෝ දඩය ගෙවන්න තැපැල් කාර්යාලයක් හොයාගෙන ගියා. 

“අපි තැපැල් කාර්යාලයට ආවා.. දඩය ගෙව්වා. ඊටපස්සේ 'ලයිෂන්' එක ගන්න පොලිසිය අය හොයාගෙන ගියා. අයියෝ අපි එතැනට යද්දි ඒගොල්ලෝ නෑ. මම හිතන්නේ දවල් කෑමට ගිහිල්ලද කොහෙද?"

මෙහෙම රසබර කතා ගොඩක් එක්ක මෙයාලා සේන්දු වුණේ දඹුල්ල පැත්තට.

“wow මම මේ ජාතියේ ගොඩනැගිල්ලක් කලින් දැකලා නෑ. මට මේ ගොඩනැගිල්ල දැක්කට පස්සේ මතක් වෙන්නේ 'ඇලිසන් ද වොන්ඩ ලෑන්ඩ්"

මෙයාලා එහෙම කිව්වේ දඹුල්ල රජමහා විහාරයේ පල්ලෙහා ඉදිවුණු රත්තරන් පාට විහාර මන්දිරය දැකලා. ඔන්න ඊටපස්සේ කට්ටිය දඹුලු ගල තරණය කරන්න පටන් ගත්තා. ඇත්තටම ඒක ලේසි වැඩක් වුණේ නෑ.
ඔන්න හාමුදුරුවො ටිකක් උඩ ඉඳන් පල්ලෙහාට බැහැගෙන එනවා. අපේ යාළුවෝ උඩට නගිනවා.

“ඔයා YouTube කෙනෙක් නේද?”

මෙහෙම ඇහුවේ හාමුදුරු නමක්. ඒ හාමුදුරුවෝ තායිලන්තයේ.

“මම තායිලන්තේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තා"

ඔන්න අපේ මිත්‍රයයි තායිලන්ත හාමුදුරුවොයි පුංචි කදේකට වැටුණා. හාමුදුරුවෝ හනිහනිකට දුරකථනය අරගෙන YouTube එකට ගිහිල්ලා මෙයාගේ Channel එක Subscribe කළා. ඊටපස්සේ තායිලන්ත හාමුදුරුවෝ සමු දීලා පිටත් වුණා.

“මේක මට ගොඩක් Exciting moment එකක්. මම හිතන්නේ මේ තමයි මගේ පළමු Subscribe හාමුදුරුවෝ. ඊට කලින් අය ඉන්නවනම් පහළින් Comment කරලා කියන්න"

මෙහෙම කතා ගොඩක් මැද්දෙ මෙයාලා කොහොම හරි ගියා දඹුල්ලෙ විහාරයට. ගල්ලෙන් විහාරය ඇතුළට ගියාම ඇත්තටම මේගොල්ලො පුදුම විදිහට සතුටු වුණා. 

“ඇත්තටම මට දැනෙන්නේ මම වෙනම ලෝකෙකට ආවා වගේ"

I චමිඳු නිසල්