2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

පබා මාව පිස්සෙක් කළා - සුරන් දසනායක

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 123

Q සුරන්... මේ දිනවල දායකත්වය ලබාදෙන නිර්මාණ මොනවාද?

මේ දිනවල හසුන් සමීර අධ්‍යක්ෂණය කරන ''ජානු'' ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙනවා. ඇත්තටම මම තවමත් කලාවට අලුත්. මේ කෙටි කාලසීමාව තුළදී මම දැකපු ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම හසුන් සමීරව දකිනවා. ඔහු ඉදිරියේදී ලංකාවට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දක්ෂ තරුණ අධ්‍යක්ෂකවරයෙක් වේවි. ඔහුගේ තාරුණ්‍යයේ තිබෙන ඇහැ මාරයි. ජානු ටෙලිනාට්‍යයේ ''කේසර'' කියන චරිතය මම රඟපානවා. ජානුව නිළියක් කරන්නේ මමයි. ඉතින් නිළියන්ව නිළියක් කරන්නේ මමයි. ඒ කේසරට හොඳ ප්‍රතිචාර මේ වෙද්දී මට ලැබෙනවා. ජානු ටෙලිනාට්‍යයට අමතරව ෂෙනාල් විමලවීර අධ්‍යක්ෂණය කරන ''අළුපාට දේදුනු'' ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා. ඒකෙදි කේසරට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ටෙලිනාට්‍යයේ පුංචි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්ගේ චරිතයක් රඟපානවා. ෂෙනාල් තරුණ පරපුරේ ඉන්න තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.

Q සුරන් රඟපෑ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ''මාරියා'' චිත්‍රපටය මෑතකදී තිරගත වෙන්නට නියමිතයි...?

ඔව්... මගේ ජීවිතේ හැරවුම වුණේ ''මාරියා'' චිත්‍රපටයයි. එය සම්මානනීය අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක්. ''මාරියා'' කියන්නේ දෙවියන් වහන්සේ මට ලබාදුන්න වටිනා තෑග්ගක් කියලයි මට නම් හිතෙන්නේ. අපි හත්දෙනාටම ජීවිතයත් මරණයත් අතර සටනක් තිබුණා. සමහර වෙලාවට අපිව ගිලෙන්න ගියා. ඒ වගේ කටුක අත්දැකීම් එක්ක ලබපු සුන්දර ජයග්‍රහණයක් විදිහට මම ''මාරියා'' දකිනවා.

Q ''මාරියා'' චිත්‍රපටය සුරන්ට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ රටේ ප්‍රවීණ, දක්ෂ, ශ්‍රේෂ්ඨ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් හය දෙනෙක් සමඟයි... ඒ ලැබුණ අවස්ථාව ගැන අද මොකද හිතෙන්නේ?

ඒ ලැබුණ අවස්ථාව නම් මාරයි. ඇත්තටම ඔවුන් එක්ක රඟපාන්න තරම් මම වාසනාවන්ත වෙලා තිබෙනවා. ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම සහ ජනප්‍රියම දක්ෂ අය එක්ක මට වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්, චන්න දේශප්‍රිය වැනි ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරයෙක් යටතේ මට වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඇත්තම කියනවා නම් ලංකාවේ ඉන්න අති දක්ෂ වැඩ්ඩන් එක්ක වැඩකරන්න ආධුනික මට අවස්ථාව ලැබුණා. මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අපිට ගුරුපියාණන් කෙනෙක්. ඒ වගේම ප්‍රියන්ත සිරිකුමාර, හේමාල්, දසුන්, දර්ශන් අශාන් වැනි ප්‍රවීණයන් එක්ක වැඩ කිරීම ලැබීමම වාසනාවක්.

Q චිත්‍රපටයේ රඟපෑ දර්ශන් අද ජීවතුන් අතර නැහැ. ඒ මතකය හැමදා ඔය හිතේ ඇති...?

අනිවාර්යයෙන්ම. හැම මොහොතකම දර්ශන් ධර්මරාජ් සහෝදරයා අපේ හිතේ ඉන්නවා. මේ රූගත කිරීම් කරද්දී අපි එක පවුලක්. දර්ශන් කියන්නේ පුදුමාකාර හොඳ චරිතයක්. සම්මානනීය නළුවෙක් කියලා ඔහු කිසිම මොහොතක අපිට පෙන්නන්න ගියෙත් නැහැ. අපිට දැනුනෙත් නැහැ. ඔහු හරිම සාමාන්‍ය මනුස්සයෙක්. දර්ශන් අයියගේ මරණය මට දරාගන්න බැරිවුණා. ඒක මගේ ජීවිතේ එක්තරා ඛේදනීය ආරංචියක් වුණා. චිත්‍රපටය ඇතුළේ මට දුන්නු සහයෝගය වගේම ''රුල්ල වෙරළට ආදරෙයි'' ටෙලිනාට්‍යය ඇතුළේ මට දුන්නු සහයෝගය මාරයි. මම ජීවිතේ පසුතැවීමෙන් ඉන්න අවස්ථාවලදී දර්ශන් අයියා මාව දිරිගැන්නුවා. මගේ හිත හැදුවා.

Q මාරියා... වැඩි වශයෙන් රූගත කළේ මුහුද මැදයි. දවසේ රූගත කිරීම් අවසානයේදී බෝට්ටුවේ ගතකරපු කාලය හරි විනෝදජනකයි නේද...?

ඔව්... ඒක ඇත්තටම සුන්දරම සුන්දර කාලයක්. ලංකාවේ කිසිම නවක නළුවෙක්ට ඒ මම වින්ද සුන්දරත්වය අත් විඳින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ගැන කියන්න මට වචන නැහැ. අපි රූගත කිරීම් නැති වෙලාවල්වල සින්දු කිව්වා. මාළු ඇල්ලුවා. රසකතා කිව්වා. ඇතිතරම් විනෝද වුණා. ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මම ලබපු මාර අත්දැකීමක්. හැම කෙනාගේම අදහස එක තැනකට එද්දි ඒක මාරයි. ඒක මට ලැබුණ අපූරු අවස්ථාවක්.

Q සුරන්... වෘත්තියෙන් කලාකරුවෙක් නෙමෙයි...? එහෙම නේද...?

ඔව්. මම වෘත්තියෙන් පාපන්දු පුහුණුකරුවෙක්. හැබැයි කලාව මගේ ජීවිතයට දැන් ගොඩාක් සමීපයි. මම කලාවට ආදරේ කරනවා. විකාශනය වෙලා අවසන් වුණ චලෝ ටෙලිනාට්‍යයෙත් මම පාපන්දු පුහුණුකරුවෙක් විදිහට රඟපෑවා.

Q පාපන්දු ක්‍රීඩාවට ආසාව ඇතිවුණේ පාසල් යන කාලයේදීමද?

ඔව්. චූටි කාලේ ඉඳන් ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීම මගේ හීනයක් වෙලා තිබුණා. මම මීගමුවේ ජීවත්වෙන කෙනෙක්. අපි හැමවෙලේම වෙරළේ පාපන්දු ක්‍රීඩාකරන හැටි දැක්කා. ඉස්සර අපේ පල්ලිය වත්තේ තිබුණ පොඩි ඉඩම් කෑල්ලක තමයි අපි පාපන්දු ක්‍රීඩා කළේ. මම මුලින්ම ගමේ තිබුණ ශාන්ත අන්තෝනි විදිහලට ඇතුළත් වෙලා ඉගෙන ගත්තා. ඒ පාසැලේ ඒ කාලේ පාපන්දු තිබුණේ නැහැ. පල්ලිය වත්තේ තිබුණ පුංචි ඉඩම් කෑල්ලක පාපන්දු ක්‍රීඩා කරල ලබපු ආභාෂයත් එක්ක ගමේ හිටපු ලලිත් අයියා මාව OVO නම් ක්‍රීඩා සමාජයට එක්කරගෙන ගියා. එතන මම ලොකු අයියල එක්ක පාපන්දු ක්‍රීඩා කළා. එතැනින් මට මීගමුව මාරිස්ටෙලා විදුහලට යාමට අවස්ථාව ලැබුණා. එතැනින් මගේ පාපන්දු ක්‍රීඩාව වැඩි දියුණු කරගන්න අවස්ථාව ලැබුණා.

Q කාලයක් සුරන් පාපන්දු ක්‍රීඩාව නතර කළා නේද?

ඔව්. සිදුවුණ අනතුරක් නිසා මම ක්‍රීඩාව නතර කළා. මම කාලයක් පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසින් කනිෂ්ඨ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. නමුත් මගේ ආබාධ තත්ත්වයක් නිසා විදේශ තරගවලට යන්න මට ලැබුණේ නැහැ. එතැන් සිට මම පාපන්දු ක්‍රිඩා සමාජ කිහිපයක්ම නියෝජනය කළා. ඒ අතරේ මම වෙනත් රුකියාවකට විදෙස් ගතවුණා. ඒ විදිහට දකුණු කොරියාවේ මම අවුරුදු පහක් හිටියා.

Q විදෙස් ගතවෙලා ලංකාවට ආපු සුරන්ට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?

ඇත්තම කිව්වොත් මම පාසැල් කාලයේදී කිසිම නාට්‍යයකට සම්බන්ධ වුණේ නැහැ. මම ළදරු පාසලේදි මාළු කොක්කක් කරේ තියාගෙන වේදිකාවේ මෙහා කොනේ ඉඳන් එහා කොනට ඇවිදගෙන ගියපු දවස මට තාම මතකයි. ඒකට විතරමයි මම රංගනයෙන් දායක වෙලා තිබුණේ. කොරියාවේදී අපි හරි ආසාවෙන් මහේෂ් රත්සර මද්දුමආරච්චි ලියපු ''පබා'' ටෙලිනාට්‍යය බැලුවා. ''පබා'' ටෙලිනාට්‍යය මාව ටෙලිනාට්‍ය පිස්සෙක් කළා. කොරියාවේ ඉඳලා ආපු මට මහේෂ් අයියාව මුණගැහුණා. කොහොමටත් මහේෂ් අයියා එක්ක හිතවත්කමක් මට මුල ඉඳන්ම තිබුණා. මහේෂ් අයියා මාර්ගයෙන් ශාන්ත සොයිසා අයියා හඳුනාගත්තා. ඔවුන් නිසා මට පබා ටෙලිනාට්‍යයේ සමගිපුර වසන්තගේ ගෝලයෙක් විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක ගොඩක් පොඩි චරිතයක්. හැබැයි ඒකෙන් තමයි මට කලාවට එන්න අවස්ථාව ලැබුණේ.

Q තමන් ඉගෙනගත්ත පාසැලේම අද සුරන් පාපන්දු පුහුණුකරුවෙක්...?

ඔව්. මම මුලින්ම මීගමුව ශාන්ත අන්තෝනි විදුහලටත් පසුව මීගමුව මාරිස්ටෙලා විදුහලටත් ඇතුළත් වී ඉගෙනම ලැබුවා. අද මීගමුව තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලේ පාපන්දු ගුරුවරයෙක් ලෙසත් සේවය කරනවා. මම පාසැල් යද්දී හිටපු විදුහල්පතිතුමන්ම මම පුහුණුකරුවෙක් විදිහට මුලින්ම යද්දීත් ඒ තනතුර දැරුවා. ඒක මට තදින්ම දැනුණා.

Q සුරන් පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කියමු...?

මම විවාහකයි. මගේ බිරිඳ රජයේ රුකියාවක් කරනවා. අපිට දුවලා දෙදෙනෙක් ඉන්නවා. දෙන්නම පාසල් අධ්‍යාපනය ලබනවා. මගේ ලොකු අක්කයි මල්ලියි විදෙස්ගතවෙලයි ඉන්නේ. ඒ දෙන්නාගෙන් වගේම පොඩි අක්කගෙනුත් ලොකු සහයෝගයක් අපිට ලැබෙනවා. මගේ අම්මයි තාත්තයි දෙන්නම අද නැහැ. මගේ බිරිඳගේ අම්මගෙන් සහ තාත්තගෙනුත් අපේ ජීවිතවලට ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා.

I දි්ශානි ජයමාලි
සේයාරූ I සුමුදු හේවාපතිරණ