2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ප්‍රේක්ෂකයන් කියනවා මේ ඉතිහාසය දැනගෙන හිටියේ නෑලු

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

Q නියාස්... ''ශ්‍රී වික්‍රම'' සිනමා පටය රූගත කිරීම් කළේ කොයි කාලේදීද?

''ශ්‍රී වික්‍රම'' සිනමා පටය 2018 අවුරුද්දේදී නිර්මාණය වුණා. එය තිරගත කිරීමට සූදානම්ව ඉඳිද්දී කොවිඩ් ඇතුළු විවිධ ගැටලු ඇතිවුණ නිසා එය තිරගත වීම කල්ගත වුණා... 2018 අවුරුද්දේ නිර්මාණය වුණ ''ශ්‍රී වික්‍රම'' 2023 වසරේදී තිරගත කරන්නට අපිට හැකියාව ලැබුණා.

Q මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරද්දී මූලික සැලැස්මක් තිබෙන්න ඇති නේද...?

ඔව්. අනිවාර්යයෙන්ම. මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන බවට අපි තීරණය කළාට පසුව අපි දළ පිටපතක් සූදානම් කළා. එහිදී චිත්‍රපටයට ඇතුළත් විය යුතු කාරණා පිළිබඳව ගවේෂණයක් අපි විසින් කළා. එයට අපිට ආසන්න වශයෙන් අවුරුද්දකට වැඩි කාලයක් ගතවුණා. එහිදී මේ කතාවට අදාළ වන ස්ථානවල අපි ගියා. ලංකාවේ මෙම චරිතය සම්බන්ධව ලියවුණු පොත්පත්වල සඳහන් ස්ථානවලට අපි ගිහින් ඒ ගැන පරීක්ෂා කළා. ඒ වගේම ලංකාවේ මේ විෂය සම්බන්ධයෙන් පොතපත ලියූ විශේෂඥවරුන්, රචකයෝ වගේම ඒ සම්බන්ධ දැනුමක් තිබෙන අය සමඟ සාකච්ඡා කොට අපි මේ තිර පිටපතේ පදනම ගැන කතාබහ කළා. බොහෝදෙනා මේ සිදුවීම දන්න වුණත් මෙහි ඇතුළේ වැළලිලා තිබෙන බොහෝ දේවල් අපි සොයාබැලුවා. ඒ වළලපු දේවල් එළියට ගැනීමෙන් චිත්‍රපටය නිර්මාණය කළා. ඒ වෙනුවෙන් වසරකට වැඩි කාලයක් ගතවුණා. පොතක් ලියනවා  සහ සිනමා පිටපතකට ලිවීම අතරේ වෙනසක් තියෙනවා. ලේඛන මාධ්‍යයෙන් කරද්දී කරුණු ගොනුකරනවා. නමුත් සිනමා කෘතියකින් එය නැවත මැවීමක් කළයුතු වෙනවා. සමහර චිත්‍ර ශිල්පීන් විසින් කළ චිත්‍ර ගැන අපි අධ්‍යයනය කළා. එක්තරා චිත්‍ර ශිල්පියන් හොඳ අධ්‍යයනයකින් පසුව කළ චිත්‍ර ගණනාවක් තිබුණා. ඒ චිත්‍රත් අපි අධ්‍යයනය කළා. එහෙම හැමදේම බලල අපි ''ශ්‍රී වික්‍රම'' චිත්‍රපටයේ මතුපිට සූදානම් කළා. ඒ හැම අධ්‍යයනයකින් පසුව අපි මෙහි මතුපිට පෙනෙන චිත්‍රය මැව්වා.

Q මෙවැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට හිතුවේ ඇයි...?

මෙයට හේතු කිහිපයක්ම බලපෑවා. අපිට අවුරුදු 2500ක් අඛණ්ඩව ආ රාජ වංශය බැඳ වැටෙනවා. මෙහිදී පළමුව පටන් ගත්තේත් තීරණාත්මක දෙයකින් වගේම අවසන් වන්නේත් සුවිශේෂී තීරණාත්මක කරුණකින්. මේ යුගය අවසාන වන්නේ කොහොමද? එය සිදුවන්නේ ඇයි? කියන දේ මාව ලොකු කම්පනයක් වුණ  කරුණ වුණා. ඒ යුගයේ අවසානය කෙසේ වුවත් ඒ බිඳ වැටුණු රාමුව දිගින් දිගටම අපේ රටේ කුණාටුවක් වගේ තිබෙනවා. එය අපේ රටේ සිනමා පටයකින් කිවයුතු කාරණාවක් ලෙසින් මම දකිනවා. මෙය ජීවන කතාවක් පමණක් වුණේ නැහැ. ඒ ජීවන කතාව පිටුපස සැඟවුණ, හංගපු වළලපු, ඓතිහාසික කාරණා, දේශපාලන කාරණා මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා.

Q ''ශ්‍රී වික්‍රම'' රූගත කෙරුණේ කොහේද...?

මෙහි සියලුම ස්ථාන අපි අලුතින් ගොඩනැගුවා. වරකාපොළ ප්‍රදේශයේදී අපි දළදා මාලිගාවේ සම්පූර්ණ ආකෘතියක් නිර්මාණය කළා. ඒ වගේම මහනුවර, කොළඹ, දඹුල්ල, අනුරාධපුරය වැනි ප්‍රදේශ ගණනාවක අපි රූගත කිරීම් කළා. මෙම චිත්‍රපටය රූගත කිරීම් ස්ථීර සැලැස්මකට අනුව අපි කළා. කෙසේ වුවත් මාස තුනකට අඩු කාලයකින් අපි මෙහි සියලුම රූගත කිරීම් සිදුකොට අවසන් කළා. ඒ නියම සැලැස්මකට අනුව වැඩකළ නිසා නියමිත කාලයකදී මේ රූගත කිරීම් සිදුකොට අවසන් කරන්නට අපිට පුළුවන්කම ලැබුණා.

Q චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් තෝරා ගනිද්දී නියාස් මොනවගේ කාරණා ගැන හිතුවාද...?

එහිදී අපිට ප්‍රධාන චරිතය සඳහා තෝරා ගනිද්දී නිශ්චිත අදහසක් තිබුණා. එහිදී ශ්‍රී වික්‍රමගේ මුහුණ සම්බන්ධයෙන් තිබුණ චිත්‍රය ගැන විශේෂයෙන් අපේ අවධානය යොමුවුණා. ශ්‍රී වික්‍රමගේ ලංකාවේ ඇඳපු චිත්‍රයේ ආසන්න වශයෙන් ඔහුට වයස අවුරුදු තිස් අට වගේ කාලයක් වියයුතු වෙනවා. ඒ අනුව ''ශ්‍රී වික්‍රම''ට තරබාරු කෙනෙක් නිරූපණය කරන්නට බැහැ කියලා අපි තීරණය කළා. ඒ වගේම වර්ණය තදපාට විය යුතු බව නිර්දේශ වුණා. කේරල ප්‍රාන්තයේ එන අයගේ පෙනුම තද වර්ණයි. ඒ නිසා අග බිසවගේ පින්තූරයක් තිබුණ නිසා ඒ චරිතයත් අපි නිර්මාණය කළා. අනිත් අයගේ චරිත වුණත් තෝරද්දී ඔවුන්ගේ වයස, පෙනුම ආදී පොතපතේ ලියවිලා තිබෙන විදිහට අපි නළු නිළියන් තෝරාගන්නට උත්සාහ කළා. විශේෂයෙන් පෞර්ෂත්වය ගැන වුණත් අපි සිතුවා. ඒ තෝරාගන්න චරිතවලට ඔවුන් සෑම නිසි සාධාරණයක් ලබාදුන්නා යැයි මම විශ්වාස කරනවා.

Q චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙනවා. මේ කාලය තුළදී ලැබුණ ප්‍රතිචාර කොහොමද...?

තවම ඉතාම කෙටි කාලයක් මෙය ප්‍රදර්ශනය කරල තිබෙනවා. වෙනත් ඉතිහාස කතාවලට දැඩි විවේචන ආවත් ''ශ්‍රී වික්‍රම'' චිත්‍රපටයට එවැනි දැඩි විවේචනයක් තවම ලැබිලා නැහැ. ඒ වගේම මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයින්ගෙන් බහුතරයක් ''මේ ඉතිහාසය දැනගෙන හිටියේ නැහැ'' කියලයි කියන්නේ. ඔය සියලු වයස්වල අය අද වෙද්දී නරඹනවා. ඒ නිසා හොඳ ප්‍රතිචාර මේ කෙටි කාලයක් තුළදී ලැබිල තියෙනවා. ඉදිරි කාලයේදී පාසැල් දර්ශන සඳහා බොහෝ සිනමා ශාලා වෙන්කරල තිබෙනවා.

♦ දිශානි ජයමාලි කරුණාරත්න